ලෝක කම්කරු දිනයේ පැරීස් නගරයට ‘කළු කුට්ටි’ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක්


මෙවර ලෝක කම්කරු දිනය වූ 2018 මැයි 01 වැනිදාා ප්‍රංශයේ ඉතිහාසයට අමතක නොවන සිදුවීමකින් පැරීසියේ ජනයා තැතිගැන්වීමට සමත් වූ බිහිසුණු ක්‍රියාදාම මාලාවක් එක් කළේය.


ප්‍රංශයේ විවිධ ප්‍රධාන නගර ආශ්‍රිතව මැයි පෙළපාළි පැවැත්වීම ඈත අතීතයේ සිට පැවැත එන ප්‍රංශ වැසියන්ට සුපුරුදු කම්කරු අයිතීන් දිනා ගැනීමේ දිනයක් ලෙස ප්‍රසිද්ධය. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ප්‍රංශයේ වෙසෙන විදේශ සම්භවයක් සහිත ජන කොටස් නියෝජනය වෙන වෘත්තීය හා දේශපාලන සංවිධාන ආදී ලෙස මැයි 01 වෙනිදා වීදි බැස විවිධ සටන් පාඨ රැගත් පෙළපාළි පැවැත්වේ. ඉන් පැරීසියේ පැවැත්වෙන පෙළපාළි ප්‍රධානවේ.


පැරීසියට එක්වෙන විවිධ පෙළපාළිකරුවන්ට විවිධ ප්‍රධාන මාර්ග හා රැස්වීම් පවත්වන ස්ථාන වෙන් කරදී ඇත්තේය. සටන් පාඨ රැගත් පෙළපාළිකරුවන් අවසානයේ එම එක් එක් ස්ථාන වලට පැමිණීමෙන් අනතුරුව තම අයිතීන් ඉල්ලා හඬ නගන රැස්වීම් අවසන් වීමෙන් පසු සන්සුන්ව විසිර යෑම මෙතෙක් පැරීසිය තුළ පැවැති සාමාන්‍ය ක්‍රමය වුයේය.


එසේ නමුදු පසුගිය මැයි දින පැරීසිය නම් සුන්දර නගරයේ එක් ස්ථානයකට රැස්වූ පිරිසක් ඊට හාත්පසින්ම වෙනස් එමෙන්ම කිසිවෙකු නොසිතූ අයුරට මැයි දිනය සැමරීමට යොදාගත් ක්‍රියාදාමය එම ප්‍රදේශවාසීන්ට තම ඇස් අදහා ගැනීමට නොහැකි සිද්ධියක් වූයේය. එම ප්‍රදේශය ගිනි ගත් ප්‍රදේශයක් වීම ඊට හේතුවූ බවට සැකයක් තිබිය නොහැක. එදින වාමාංශික පක්ෂයක පෙළපාළිකරුවන් හා එක්වූ වෙනත් අන්තවාදී පිරිසක් ඔවුන් සමග සුළු වේලාවක් නිසොල්මනේ පෙළපාළියේ ගමන් කොට එක් වරම වෙනම කණ්ඩායමක් ලෙස සංවිධාන ගතව එම පිරිස ඔවුන් අතවූ අත් බෑගයන් තුළින් මතු කර ගත් කළු පාට ජැකට් හැඳ මුහුණු ආවරණ පැළඳ එම බෑගයන් තුළ සඟවා ගෙන පැමිණි යකඩ පොලු, මුගුරු, ප්‍රෙට්ට්‍රල් අත් බෝම්බ ආදියෙන් සන්නද්ධවී පැරිස් කළාප අංක 05ට අයත් ප්‍රධාන රෝහල් මාවතේ පිහිටි කඩ සාප්පු, කුඩු කර වාහන හා ගොඩනැගිලි ගිනි තබමින් කළහකාරී ලෙස හැසිරීම සියැසින් දුටු අය මවිතයට පත් කළෝය.


එම කළහකාරී හැසිරීම හේතුවෙන් බැංකු ශාඛා, ආපන ශාලා, මෝටර් රථ ප්‍රදර්ශන ශාලා හා අලෙවි සැල් හා විවිධ සමාගම් සතු කාර්යාල ඇතුළත් ගොඩනැගිලි 31 කට පමණ අලාභ හානි සිදුකර තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලකට ගිනි අවුළුවා වාහන 16 කට ගිනි තබා අවට ඇති ඉලෙක්ට්‍රොනික දැන්වීම් පුවරු, බස් නැවතුම් ආදිය කුඩු පට්ටම් කොට ප්ලාස්ටික් කුණු බක්කි මහා මාර්ගයේ එක් තැන් කොට ගිනි තබමින් එම ප්‍රදේශය මහා ගිනි ජාලයකින් භීතියට පත් කළ ප්‍රදේශයක් බවට පත් කිරීමට එතරම් කාලයක් ගත නොවීය.


මෙවර මැයි දිනය සඳහා පැරීසිය තුළ පමණක් 1500ක පොලිස් භට පිරිසක් ආරක්ෂාවට යොදවා තිබුණේය. එනමුදු ඉහත අනපේක්ෂිත තත්ත්වය අවබෝධ කොට ප්‍රතික්‍රියා දැක්වීමට ප්‍රංශ පොලිසියට විනාඩි 30ක් පමණ ගත වූයේය. කෙසේ වුවද පොලිසියේ කැරළි මර්දන ඒකකය දැඩි පීඩන සහිත ජලය විදින බවුසර සහිත විශේෂ පොලිස් කණඩායම් පැමිණ තත්ත්වය සමනය කිරීමට උත්සහා දැරූ අතර කැරලිකරුවන් හා පොලීසිය අතර යුද්ධයක් නොවූ සටනක් ඇවිලී ගියේය. කෙසේ නමුත් දැඩි පරිශ්‍රමයකින් පසු තත්ත්වය මැඩ පැවැත්වීමට පොලීසියට හැකි වුවද ඒ වෙන විට එම ප්‍රදේශය ගිනි දැල් වලින් පිරුණු ප්‍රදේශයක් බවට පත්වී තිබුණේය. මඳ වේලාවකින් ගිනි නිවන රථ පැමිණ එම ස්ථාන බේරා ගැනීමට කටයුතු කළේය.

 


මෙම සිදුවීම හේතුවෙන් කළහකාරීන් 209ක් අත් අඩංගුවට ගැනීමට සමත්වූ අතර එයින් 106 දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිස් රිමාන්ඩ් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී. අත් අඩංගුවට පත් වූවන් අතර කාන්තා හා පිරිමි සම සමව සිටින්නේය. මේ වෙන විට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව කළහකාරී ලෙස සංවිධාන ගතවූ පිරිස 1200කි. මොවුන් අන්ත වාමාංශික රැඩිකල් දැඩි අධිරාජ්‍ය විරෝධීන් වෙන අතර සමහරක් දැඩි අන්තවාදී දක්ශිණාංෂිකයෝද සිටින බව පොලිස් වාර්තා හෙළි කරන්නේය. බ්ලැක් බ්ලොක්ස් හෙවත් කළු කුට්ටි කණ්ඩායම ලෙස මොවුන් හඳුනා ගෙන ඇති අතර උසස් පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන වයස 30ට අඩු සිසු සිසුවියන් සිටින බවත් ඔවුන්ගේ සහයට එවැනිම අන්තවාදී කණ්ඩායම් ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕලන්දය ආදී රට වලින් පැමිණ සිටින බවත් පොලීස් පරීක්ෂණ වලින් හෙළිකර ගෙන ඇත්තේය.
මොවුන්ගේ ප්‍රහාරයට ලක්වූ ආයතන අතරට එක් මැක්ඩොනල්ඞ් ආපන ශාලාවක්, ප්‍රංශයේ නිෂ්පාදිත රෙනෝල්ට් වාහන අලෙවි සැලක්, ජර්මනියේ නිෂ්පාදිත බෙන්ස් වාහන අලෙවි සැලක්ද අයත් වෙන්නේය. මෙම රැඩිකල්වාදී “බ්ලැක් බ්ලොක්ස්” කණ්ඩායමට අයත් පිරිස් යුරෝපයේ ජර්මනිය, ඉතාලිය, ඕලන්දය, ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය, පෝලන්තය ආදී රටවල ක්‍රියාත්මකවේ. රාජ්‍ය දේපල හා ධනවත් ආයතන වලට අලාභහානි කිරීම ඔවුන්ගේ එකම ඉලක්කයවේ.


මෙම තත්ත්වය ඇතිවෙන මෙම වකවානුවේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නිල චාරිකාවකට එක්වී සිටී. වැඩ කරන ජනතාවගේ දිනය කඩාකප්පල් කළ මෙවැනි අයට කිසිම සමාවක් නොමැති බවත් වැරදිකරුවන් සඳහා ප්‍රංශ නීතිය ක්‍රියාත්මක වෙන බවත් ඇතිවූ තත්ත්වය ගැන තමා බලවත් ලෙස කණගාටු වෙන බවද ප්‍රංශ ජනාධිපති ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැවසීය.


ප්‍රංශ දේශපාලන නායකයන්, වෘත්තීය සමිති ප්‍රධානීන්, විද්වතුන්, මාධ්‍යවේදීන් ඉහත සිදුවීම් දැඩි ලෙස හෙළාදකිමින් ප්‍රකාශ සිදුකර ඇත. ප්‍රංශ ජනතාවද වැඩි පිරිසක් මෙවැනි ක්‍රියා අනුමත නොකරති. ප්‍රංශ මැයි දිනයකදී මෙවැනි තත්ත්වයක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මින්පසු මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්නා බව ප්‍රකාශ කළ අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයා, අලාභහානී සිදුවූ ප්‍රදේශයේ සංචාරය කරමින් එම පිරිස් මුණ ගැසෙමින් තම කණගාටුව ප්‍රකාශ කළේය.


එබැවින් මැයි දිනයකදී පැරීසියේ ප්‍රථම වතාවට සිදුවු මෙම කළු කුට්ටි ප්‍රහාරය ප්‍රංශ මැයි දින ඉතිහාසයේ නොමැකෙන හා අමතක නොවන සිදුවීමක් වීමද නොවැළැක්විය හැකි වන්නේය.

 

 

 


සුනිල් ආනන්ද