ලෝක ආහාර හිඟයට විසඳුම සපයන බැබිලෝනියාවේ එල්ලුණු උද්‍යාන


 

 

එදා ලොව පුදුම හත අතර ඊජිප්තුවේ පිරමීඩ ද බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන ද විය. එල්ලෙන උද්‍යාන කී පමණින් ඇතැමෙකු සිතුවේ අහසේ එල්ලා තැබූ මල්වතු කියා ය. එහෙත් ඉන් කියැවුණේ පොළොවෙන් ඉහළ මට්ටමක කරන ලද වගාවන් ය. ඉතාම සරලව නිර්වචන කෙරෙන්නේ නම් මෙය එක පිට එක සිටින සේ තට්ටු ක්‍රමයට කෙරුණු වගාවකි. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන තිබුණෙ ක්‍රි.පූ. හයසීයේ දී ය.   


ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් නිසරුවෙන පස සහ පැතිර යන කාන්තාර ප්‍රදේශ හේතුකොටගෙන හීනවී යන වගාබිම් ප්‍රමාණය, දිනෙන් දින වැඩිවෙන ජනගහණයට ප්‍රමාණවත් ආහාර සැපයීම වහාම විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්කරයි. මෙම ආහාර හිඟය පියවීමට තිරසාර විසඳුමක් ලෙස ඇතැම් රටවල් දකින්නේ පොළොව මට්ටමට ඉහළින් කෙරෙන තට්ටු වගා ක්‍රමයයි. ඇමෙරිකාව, එංගලන්තය සහ ජර්මනිය දැනට තට්ටු වගා ක්‍රමය අත්හදා බලමින් සිටින රටවල්ය.   


තට්ටු වගා ක්‍රමය අත්හදා බලමින් සිටින රටවල් මෙම වගාව කරන්නේ ආවරණය කළ දැවැන්ත කූඩාරම් තුළ ය. මේ නිසාම මෙය ගෘහස්ථ වගාව (Indoor Farming) ලෙස ද හැඳින්වේ. දැවැන්ත කූඩාරම් තුළ තට්ටු ක්‍රමයට සකසාගත් රාක්ක මත මෙම එළවලු වගාව කෙරෙන අතර, පැළෑටියේ වර්ධනය සඳහා අවශ්‍ය තෙතමනය සේම උෂ්ණත්වය ද කෘතිමව සැපයේ. පැළෑටියේ වර්ධනය පරිගණක මගින් සැලකිල්ලට ගෙන සියල්ල ස්වයංක්‍රීයව පාලනය කෙරේ.   


දැනට තට්ටු වගා ක්‍රමය යටතේ පර්යේෂණ තත්ත්වයෙන් වගා කෙරෙන්නේ සලාද සහ පළා වර්ග මෙන්ම ජාන නවීකරණය යටතේ නිපදවාගත් උසින් අඩු තක්කාලි, වම්බටු හා මිරිස් වැනි එළවලු වර්ගය.   


ඇමෙරිකාවේ බෝවෙරි සමාගම මහා පරිමාණයෙන් මෙම තට්ටු වගාව කිරීම සඳහා දැනට ඩොලර් මිලියන විස්සක මුදලක් වෙන් කර ඇත. ඇමෙරිකාවේ මෑන්හැටන් හි පිහිටි ෆාර්ම් වන් නම් තට්ටු ක්‍රමයට එළවලු වගා කෙරෙන ගොවිපොළේ නිෂ්පාදන, නිව්යෝක් හි ඉහළ පෙළේ බොජුන්හල් වෙත විකිණේ.   


යුරෝපයේ විශාලතම තට්ටු ගොවිපොළ පවත්වාගෙන යන්නේ එංගලන්තයේ උතුරු ලින්කන්ෂයර් හිය. ජෙනරල් ඉලෙක්ට්‍රික්ස් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මෙම ගොවිපොළට ජෝන්ස් ෆුඩ් සමාගමේ අනුග්‍රහය ද ලැබේ. මෙම එළවලු වගා කූඩාරම මීටර් එකොළහක් උසය. මෙම ගෘහස්ථ ගොවිපොළේ වගා වපසරිය ටෙනිස් ක්‍රීඩා පිටි විසිහයකට සමානය. මෙම කූඩාරම තුළ තට්ටු රාක්ක ක්‍රමයට වර්ග මීටර් 5120 වපසරියක් වගා කෙරේ. වසරකට එළවලු නිෂ්පාදන ධාරිතාව ටොන් හාරසිය විස්සකි. අඩු දහන විදුලි බුබුළුවලින් ආලෝකය සපයන මෙම වගාව සඳහා කි.මී. දොළහක මාර්ගයක් ආලෝකමත් කළ හැකි ආලෝක පද්ධතියක් යොදාගැනේ.   


කෘෂි භෝග තට්ටු වගා ක්‍රමයට යොමුව සිටින යුරෝපයේ අනෙක් රට වෙන්නේ ජර්මනියයි. ජර්මනිය තට්ටු වගා ක්‍රමය අත්හදා බැලීම සඳහා දැනට යුරෝ මිලියන විසිපහක මුදලක් වෙන් කර ඇත. මෙයින් යුරෝ මිලියන විස්සක්ම යුරෝපා හවුලේ හොරයිසන් ව්‍යාපෘතිය යටතේ ආධාර ලෙස ලැබෙන මුදල් ය.   


දැනට ජර්මනියේ බර්ලින් ප්‍රදේශයේ පර්යේෂණ තත්ත්වයෙන් ගෘහස්ථ වගාබිම් පනහක් පිහිටුවා ඇත. එක් තට්ටු වගා බිමක එළවලු පැළෑටි දහසත් එක්දහස් දෙසීයත් අතර ප්‍රමාණයක් මසකට නිෂ්පාදනය කෙරේ. නිෂ්පාදන තත්ත්වය උසස් කර නිෂ්පාදන වියදම අවම තත්ත්වයකට ගෙන ඒම සඳහා මෙම ගෘහස්ථ වගාබිම් පනහ අතර තම තාක්ෂණික දැනුම හුවමාරු කරගැනේ. මෙම වගාබිම්වල නිෂ්පාදන මිලට ගැනීමට ජර්මනියේ එඩේකා සුපිරි වෙළෙඳසැල් සමූහය දැනමත් ඉදිරිපත් වී සිටී.   


තට්ටු වගා ක්‍රමය යටතේ ගෘහස්ථව නිෂ්පාදනය කෙරෙන එළවලුවල තත්ත්වය පොළොව මතුපිට එළිමහනේ කෙරෙන කෘෂි වගා නිෂ්පාදන තත්ත්වයට වඩා ඉහළ බව හෙළිවී ඇත. මෙම වගාව සඳහා කෘමිනාෂක අවශ්‍ය වෙන්නේ නැත. පොළොව මතුපිට කෙරෙන වගාවට වඩා ජල යෙදුම සියයට අනූවකින් අඩු ය. පොහොර යෙදීම ද සියයට පනහකින් අඩු ය. පැළෑටියේ වර්ධන වේගය දෙගුණයකි. ආලෝකය, උෂ්ණත්වය සහ තෙතමනය කෘතිමව පාලනය කෙරෙන බැවින් වගාව ස්වභාවික ඍතු බලපෑමෙන් තොරය.   

 

 

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.