ලොව වටා යන ටූටන්කාමන් පාරාවෝගේ අවමංගල පෙරහැර


ක්‍රි.පූ. 1341 දී උපත ලබා වයස අවුරුදු නවයේ දී මිසරයේ පාරාවෝ රජ තනතුරට පත්ව, වයස අවුරුදු දහඅටේ දී හදිසියේ මියගිය ටූටන්කාමන්, ක්ලියෝපැට්‍රාට නොදෙවැනි ජනප්‍රියත්වයක් හිමිකරගත් මිසර පාරාවෝ ය. ඊජිප්තුවේ රජවරුන්ගේ මිටියාවතේ දී 1922 දී අහම්බෙන් සොයාගන්නා ලද ටූටන්කාමන්ගේ සොහොන් කුටිය තුළ තිබුණු ධනස්කන්දය තරම් විශාල නිධානයක් මෙතෙක් මිසර පිරමිඩයක් තුළින් සොයාගෙන නැත. ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ KV 62 සංඛේත අංකය යටතේ ලයිස්තුගතව ඇති ටූටන්කාමන්ගේ නිධානය අයිතමයන් දහස් ගණනකින් සමන්විත ය. මමී බවට පත්කරනු ලබන මියගිය පාරාවෝවරුන්ගේ මෘතදේහ සොහොන්ගත කිරීමේ දී ඔවුන්ගේ පරලොව ගමන සඳහා අවැසි රථවාහන, දැසිදසුන් මෙන්ම එලොව සුඛවිහරණය සඳහා ද අවැසි සියලුම සම්පත් ද සොහොන් ගැබ තුළ ගබඩා කිරීම එම සභ්‍යත්වයේ සම්ප්‍රදාය විය.   
ටූටන්කාමන්ගේ සොහොන් ගැබ තුළ තිබී සොයා ගන්නා ලද විවිධ ප්‍රමාණයේ පුරාවස්තු 150ක් මාර්තු මස 23 වැනිදා සිට ප්‍රංශයේ පැරිස් නුවර GRAND HALL DE LA VILLETTE හිදී මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මෙම ප්‍රදර්ශනය මාස අටක කාලයක් මහජනයා සඳහා විවෘතව තැබෙනු ඇත.   


ටූටන්කාමන්ගේ සොහොන් කුටිය තුළ තිබී සොයාගන්නා ලද භාණ්ඩ ප්‍රංශයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙන ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1967 දී ද ටූටන්කාමන්ගේ නිධානයේ ඇතැම් අයිතමයන් ප්‍රංශයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබුණි. ඒ අතර ටූටන්කාමන්ගේ මමියට පළඳා තිබුණු සුප්‍රසිද්ධ රන්මුවා වෙස්මුහුණ ද විය. එවකට මෙම ප්‍රදර්ශනය ලක්ෂ දොළහක පිරිසක් නැරඹූ බව වාර්තාවේ. මෙවර ප්‍රදර්ශන අයිතමයන් අතර මෙම රන්මුවා වෙස්මුහුණ නැත.   


ප්‍රංශයෙන් පසුව ටූටන්කාමන්ගේ නිධානයේ මෙම අයිතමයන් එංගලන්තයේ ලංඩන් නුවර ද ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ප්‍රදර්ශනය සඳහා තැබීමට නියමිතය. මෙම මහජන ප්‍රදර්ශන තුනෙන් පසුව මෙම කෞතුක වස්තූන් නැවත ඊජිප්තුවට ළඟාවෙන්නේ තව වසර තුනකින් ය. ඒ වෙනවිට ටූටන්කාමන් වෙනුවෙන් ම ඊජිප්තුවේ කයිරෝ නගරයේ ඉදිවෙමින් පවතින නව කෞතුකාගාරයේ වැඩ කටයුතු නිමා වී තිබෙනු ඇත.   


පාඨකයාගේ වැඩි දැන ගැනීම පිණිස ටූටන්කාමන්ගේ අප්‍රකට තොරතුරු කීපයක්.   


“ටූටන්කාමන්ගේ සොහොන් කුටිය අනෙකුත් පාරාවෝවරුන්ගේ සොහොන් කුටිවලට සාපේක්ෂව ඉතා කුඩා ය. ඒ තුළ අවමංගල භාණ්ඩ තැන්පත් කිරීමේ දී ද පිළිවෙළකට ඒවා තැන්පත් කිරීමක් සිදු වී තිබුණේ නැත. ටූටන්කාමන් මියගියේ හදිසියේ ය. පාරාවෝගේ අවමංගල්‍යය සඳහා මාලිගය සූදානම්ව සිටියේ නැත. මෘතදේහයක් මමියක් බවට පත්කිරීම සඳහා දින හැටක කාලයක් අවශ්‍ය විය. ටූටන්කාමන්ගේ සොහොන්කුටිය පිළියෙළ කිරීම සඳහා තිබුණේ මේ දින හැටක කාලය පමණි. මෙම සොහොන්කුටිය කුඩා එකක් වීමට හා අපිළිවෙළ වීමටත් මෙය හේතු විය.   


ටූටන්කාමන්ගේ මමියේ මුහුණ වසා තිබුණු කිලෝ එකොළහක් බරැති රනින් කළ වෙස්මුහුණ ඔහුගේ මුහුණට වඩා විශාල ය. එම වෙස්මුහුණ ටූටන්කාමන් සඳහා සකස් කළ වෙස්මුහුණක් වීමට බැරිය. එය වෙනත් පාරාවෝ කෙනෙකුන් සඳහා කල් ඇතිව සූදානම් කළ වෙස්මුහුණකි.   


ටූටන්කාමන්ගේ අවසාන දිනවල ඔහුගේ කකුලේ වූ තුවාලයක් කුණු වී කළු වී තිබෙන්නට ඇති බවක් මමියේ කරන ලද පරීක්‍ෂණ මගින් හෙළි වී ඇත. මාතෘ ශරීරයක් වසර දහස් ගණනක් පවතින ලෙස මමිකරණය කිරීමේ වෛද්‍යමය තාක්ෂණයක් හිමිව සිටි සභ්‍යත්වයක් දේවත්වයෙන් සැලකූ තම රජුගේ කකුලේ තුවාලයක් කුණුවීමට ඉඩ හරිතැයි සිතීම උගහටය.”   


ටූටන්කාමන්ගේ සොහොන්කුටිය විවෘත කළවුන් හඹා පැමිණි ටූටන්කාමන්ගේ ශාපය පිළිබඳව කතාකරන්නෝ ඔහුගේ බිරිඳ වූ අන්කිසෙනමුන්ට ඔහු දැක්වූ ප්‍රේමය පිළිබඳව දක්වන්නේ අඩු තක්සේරුවකි. මේ පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතුව ඇත.   


ගැස්කොන් ලාසරස් - රෝමය ඉතාලිය