ලොව අලුත්ම සංචාරක ආකර්ෂණය යුක්රේනයේ චෙර්නොබිල්


හොල්මන් නගරය

 

 

මීට වසර තිස්හතරකට පෙර, එනම් 1986 අප්‍රේල් මස විසිහය වැනිදා එවකට සෝවියට් දේශයේ චෙර්නොබිල් හි වී.අයි. ලෙනින් පරමානු බලාගාරය තුළ පරමානු කාන්දු වීමකින් ඇතිවූ පිපිරීමකින් පසුව ඒ අවට වර්ග කිලෝ මීටර හතළිහක වපසරියක ජීවත් වූ එක්ලක්ෂ දහසයදහසක ජනතාව වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කර, එම කලාපය තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කළේය. මෙම පරමානු අනතුරෙන් මුල් දිනවල හැටපස්දෙනෙකු ඍජුවම මියගිය බව ද පසුකාලීනව එම අනතුරෙන් විසිර ගිය පරමානු විකිරණ හේතුවෙන් අතුරු ආබාධවලට ගොදුරුවී තවත් දහස් ගණනක් මියගිය බව ප්‍රකාශ වුව ද මෙම සංඛ්‍යාවන් පිළිබඳව තවමත් එකඟතාවක් නැත. 

 
විසිරගිය පරමානු විකිරණ හේතුවෙන් ජනාවාසයෙන් තොරවූ චෙර්නොබිල් කලාපය පසුකාලීනව හොල්මන් නගරයක් ලෙස හැඳින්විණි. එහෙත් අද වෙන විට මෙම හොල්මන් නගරය සංචාරකයා ඇද ගන්නා ආකර්ෂණයක් බවට පත්ව ඇත. පසුගිය වසරේ පමණක් චෙර්නොබිල් දැකගැනීම සඳහා සංචාරකයෝ එක්ලක්ෂ දසදහසක් පැමිණ ඇති බව චෙර්නොබිල් දැනට අයත්වෙන යුක්රේනයේ සංචාරක බියුරෝව ප්‍රකාශ කරයි.   


දැනට චෙර්නොබිල් කලාපය පරමානු විකිරණයෙන් තොර බව සහතික කෙරී මුහුණු ආවරණයෙන් තොරව එහි සැරිසැරීමට හැකි වුව ද එහි පිවිසීමට අවසර ඇත්තේ සංචාරක මගපෙන්වන්නෙකු සමග පමණි. මෙම සංචාරයේ දී කිසිවක් ස්පර්ෂ කිරීමට මෙන්ම එළිමහනේ දී ආහාර අනුභව කිරීමට ද අවසරයක් නැත. සිහිවටන මිලට ගැනීම ද අනුමත ස්ථානවලින් පමණකි.   

 


චාපි කෝසලා   
මියුනිච්, 
ජර්මනිය.