ලංකාවේදී සුනාමියෙන් දිවි ගලවාගත් ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් අවසන් ගමන් යයි


ජූලි මස පළමුවැනි සෙනසුරාදා වසන්තයේ දවසක් වුවද, නැගෙනහිර ප්‍රංශයේ ජර්මානු දේශසීමාවේ රයින් ගඟේ වම් ඉවුරේ පිහිටි ස්ට්‍රස්බර්ග් නගරය ශෝකාකූල පෙනුමක් දැරීය. පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට අඩ කුඹකර තිබුණු ජර්මන් ධජයට පසුබිම්ව තිබුණේ ඒ අඳුරැ පැහැති අහසය. පාර්ලිමේන්තු සභා ගැබ අතුරුසිදුරු නැතිව පිරී තිබුණි. එහෙත් ඒ වෙනදා ඝෝෂාකාරීව හැසිරුණු පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් නොවේ.  


ස්ට්‍රස්බර්ග් පාර්ලිමේන්තු සභාවේ එදා අසුන්ගෙන සිටියේ විවිධ රටවල වත්මන් හා හිටපු රාජ්‍ය නායකයෝ සහ වෙනත් ප්‍රභූවරුය. හිටපු හා වත්මන් රාජ්‍ය නායකයෝ දහහත්දෙනෙකු එතැන වූහ. රුසියාවේ අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්වෙෆ් මෙන්ම ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිද, ප්‍රංශයේ නව ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන් මෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ද, ඊශ්‍රායලයේ අගමැති බෙනජමින් ​ෙනතන්යාහු මෙන්ම ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝසිද, ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය වන ඇන්ජලා මෙර්කෙල්ද එතැන වූහ.  


පාලෙිමේන්තුවේ සභානායකගේ අසුන වෙනුවට එතැන වූවේ යුරෝපා ධජයෙන් වසන ලද මිනී පෙට්ටියකි. එය ස්ට්‍රස්බර්ග් පාර්ලිමේන්තුව තුළ හුරුපුරුදු දසුනක් නොවීය. මිනීපෙට්ටිය අසල විශාල ඡායාරූපයක්ද විය. ඒ ඔහුය. 1982 සිට 1998 දක්වා ජර්මනියේ චාන්සලර් ධුරය දැරූ හෙල්මුට් කෝල්ය. මිනීපෙට්ටිය තුළ සතපා තිබුණේ ඔහුගේ නිසල දේහයයි. ශ්‍රී ලංකාවේදී සුනාමියෙන් දිවි බේරාගෙන පැමිණ සිටි ඔහු මෙවර අවසන් ගමන් ගොස් තිබුණී. පැරණි දේශපාලන සිත්තැවුල් හේතුවෙන් තම අවසන් කටයුතු ජර්මන් රාජ්‍ය ගෞරව සහිතව සිදුනොකරන ලෙස ඔහු තම අවසන් කැමති පත්‍රයේ ලියා තිබුණි. හෙල්මුට් කෝල්ගේ නිසල දේහය ස්ට්‍රස්බර්ග් පාර්ලිමේන්තුව තුළට ආවේ එලෙසය.  


මිනීපෙට්ටිය අද්දර මල්වඩම් තුනක් පමණක්විය. ඉන් එකක් ජර්මනියේ නිල වර්ණය සහිත විය. දෙවැන්න යුරෝපා හවුලේ පැහැය ගෙන තිබුණි. තෙවැන්න මත ‘‘ආදරයත් සමග මයික්​ෙගන්’’ යන වැකිය ලියා තිබුණී. එය කෝල්ගේ දෙවැනි බිරිඳගෙන්ය. රාජ්‍ය නායකයෝ කෝල්ගේ ගුණකථන කළහ. රජ්‍ය නායකයන් අතර ලාබාලයා වූ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවල් මැක්​ෙරාන් කීවේ ඉතිහාසයේ කෝල් විසින් තබාගිය සළකුණට ආචාර කිරීම පිණිස පැමිණි බවය. වඩාත්ම සංවේදී වූ​ෙව් අැමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ කතාවය. බිඳුණු හඬින් ඔහු කතාව අවසන් කරමින් මදහසක් පෑමට දැරූ අසාර්ථක උත්සාහය වේදනාව සැඟවීමට තරම් ප්‍රමාණවත් නොවීය.  


නැගෙනහිර බටහිර ලෙස බෙදී තිබුණු ජර්මනිය එක්සත් කළේ‍ ඔහුය. ඔහු ලෝක ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයෙකි. යුරෝපා හවුලේ බළකණුවක් වූවේ ඔහුය. ඔහු බොහෝදේ වෙනස් කළේය. යුරෝපා හවුලේ රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් ගිය පළමුවැන්නා ද ඔහුය. ‘‘අවුෆිඩසෙන්’’ කෝල්.   


(‘‘අවුෆිඩසන්’’ යනු ජර්මානු භාෂාවෙන් ඔබට සුබගමන්’’ යන්නට සමාන වචනයකි.)  
චාපි කෝසලා  
මියුනිච්, ජර්මනිය.