රෝමයේ පැවැති ITALY STAR SEASON 2 තරගයෙන් එරන්දි සහ චන්දිමා මුල් තැනට


ඉහත ඡායාරූපයේ වම් පස සිට IT News Lanka මාධ්‍ය ආයතනයේ අජිත් කුමාරතන්ත්‍රි, දෙවැනි ස්ථානය හිමි වූ චන්දිමා රස්නායක, සංගීතවේදී ලක්ෂ්මන් හේවාවිතාරණ, පළමු ස්ථානය හිමි වූ එරන්දි විදර්ශනා, සංවිධායක සුදත් රෝහණ මහත්ම මහත්මීන්. 

 

 

වෘත්තීමය හෝ වෙනත් කිසියම් හේතූන් මත දීර්ඝ කාලීනව නේවාසිකව සිටීම සඳහා විදේශයකට සංක්‍රමණය වෙන්නකුට එහිදී තම ස්ථාවරය යහපත්ව තහවුරු කර ගැනීම සඳහා දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදු වේ. එහිදී තම නිසඳ හැකියාවන් ක්‍රියාකාරකම් පමණක් නොව ඇතැම් විටක තම අනන්‍යතාව පවා උකසට තබා සින්න වීමට හැරීමට සිදු වෙන අවස්ථාවන් ද නැතුවාම නොවේ. එහෙත් එම රටවලදී ඔවුන්ගෙන් පැවතෙන දෙවැනි පරම්පරාවට තම දෙමාපියන්ට විදේශයක් වූ එම දේශය තමන්ගේ මව්බිමය. එහිදී ඔවුන් තමන්ගේ හැකියාවන් දක්ෂතා නිදහසේ මුද‌ා හරිති. වැඩි දියුණු කර ගනිති. ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කර ගත්තෝ ද වෙති. 


ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයින්ගේ දෙවැනි පරම්පරාවේ සහජ ගායන දක්ෂතා කරළියට ගෙනවිත් ඇගයීමේ දීර්ඝ වැඩපිළිවෙළකට එක් පියවරක් ලෙස පසුගිය ජනවාරි මස (2019) 13 වැනි ඉරු දින රෝමයේ Santa Chiara දේවස්ථාන ශ්‍රවණාගාරයේදී (රතු පල්ලිය) ප්‍රධාන අමුත්තා සහ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වූ ප්‍රංශ නගරයේ සිට මෙහි පැමිණි ලක්ෂ්මන් හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සුදත් රෝහණ මහතාගේ සංවිධානයෙන් ITALY Star Season 2 රෝම නගරයේ තරග වටය විශාල නරඹන්නන් පිරිසකගෙන් සමන්විත උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලදී. ඉතාලියේ ෆිරෙන්සි රෝමය මිලානෝ පාර්මා නාපෝලි මෙස්සිතා යන ප්‍රධාන නගර හයකින් ITALY Star Season 2 සඳහා තරගකරුවන් තරග වදිති. මෙහි පළමු තරග වටය ෆිරෙන්සි නගරයනේ ආරම්භ වූ අතර දෙවැනි තරග වටය සඳහා තෝරා ගන්නා ලද්දේ රෝම නගරයයි. 


​ෙමදින රෝමයේ තරග වැදුණු අය අතරින් විනිශ්චයේ අවසාන තීරණය කාන්තාවන් දෙදෙනකුට හිමි විය. එහිදී පළමු ස්ථානයට එරන්දි විදර්ශනා ද දෙවැනි ස්ථානයට චන්දිමා රස්නායක මහත්මීන් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලද්දෝය. තවද මෙදින මේ වේදිකාවේ විශේෂත්වය වූයේ එරන්දි තම පියා අභිබවා තමන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කරමින් පළමු ස්ථානය හිමි කර ගත් අතර, ඇය තුන් වැනි පරම්පරාවකට නොබෝ දිනකින් හිමිකම් කියන්නීය. 


මෙම සෑම නගරයකින්ම එනම් නගර හයේම තරගකරුවන් අතරින් එක් නගරයකින් විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද තරගකරුවන් දෙදෙනකු බැගින් නගර හයෙන් තරගකරුවන් දොළෙස් දෙනකු පමණක් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. මෙහිදී තේරී පත් වෙන තරගකරුවන් දොළොස් දෙනා අතරින් අවසාන මහා තරගයේදී පළමු දෙවැනි තෙවැනි වශයෙන් තිදෙනකු තෝරා ගන්නා අතර ITALY Star Season 2 කුසලානය මින් කුමන නගරයකට හිමිවේද යන්න තවම ප්‍රශ්නාර්ථයකි. 


ITALY Star Season 2 අවසාන මහා තරගය ලබන පෙබරවාරි මස 10 ඉරු දින Salacine - Teatrc E. Vigano Piazza A. Fradelitto 01 රෝම නගරයේ මෙම දේවස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූද‌ානම් කරමින් සිටී. මෙය රෝමයේ ජීවත් වෙන අපට මහඟු ආඩම්බරයකි. මෙහි Season 1 අවසාන මහා තරගය පසුගිය වසරේ පවත්වන ලද්දේ මිලානෝ නගරයේදීය. 
ජනවාරි 13 දින රෝමයේ තරග වටය සඳහා රෝමයේ මුල් පෙළේ නමක් දිනා ඇති CITY BOYS සංගීත කණ්ඩායමේ නායක බේස් ගිටාර් වාදක දිනේෂ් අල්මේද‌ා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය ද‌ායකත්වය දැක් වූවේය. මහින්ද පතිරණගේ කථනයෙන් ද අනුර වැලිකන්ද මහතාගේ නිර්මාණශීලී වේදිකාව ඉතාමත්ම වර්ණවත් ආකාරයෙන් සකසා තිබීම කාගේත් සිත් ගත් අතර, උත්සවය අවසන් භාගයේ ලක්ෂ්මන් හේවාවිතාරණ සංගීතවේදියාගේ අපූරුතම ගායනයෙන් රසිකයින් කුල්මත් විය. 

 

 


අනෝමා ගමලත්. 
රෝමය, 
ඉතාලිය.