රෝම හමුදා මසාඩා බළකොටුව වටලෑමේදී යුද පරාජයට වඩා මරණය අගය කළ හමුදාවක් දිවිනසා ගත් ඛේදවාචකය


 

අභිමානය රැකගැනීම සඳහා මිනිසා විසින් ගනු ලබන ඇතැම් තීරණයක් විශ්මිතය. පරාජය හමුවේ හිස එසවූ අභිමානය පිළිබඳ කතා බොහෝ විට ඛේදනීය ය. එවන් කතා මානව ඉතිහාසය තුළ හිඟ නැත. පීතෘ ඝාතක කාශ්‍යප තම සොහොයුරු මුගලන් ඉදිරියේ පරාජය හමුවේ සියදිවි නසාගත්තේ ද පරාජයට වඩා මරණය අගය කළ බැවිණි. ඉශ්‍රායලයේ මසාඩා සමූහ සිය දිවි නසා ගැනීම ජයග්‍රාහී සතුරා පවා සසල කරවූ ඉතිහාසගත ඛේදවාචකයකි. මේ ඒ ඛේදවාචකය පිළිබඳ කතාවයි. 


හෙරෝද් රජුගේ මරණයත් සමගම ජුදා රාජ්‍යයේ සෞභාග්‍යය මැකී ගොස් පරිහානිය කරා ගමන් කරන්නට විය. හෙරෝද්ගෙන් පසුව බලයට පත් ඔහුගේ පුතු පියා මෙන් පාලනයෙහි දක්ෂයකු නොවීය. ඒ වනවිට රෝම අධිරාජ්‍යය නීරෝ යටතේ පාලනය වෙමින් තිබුණි. රෝම අධිරාජ්‍යය යටතේ පාලනය වීම නොරිස්සූ ජුදයෝ අධිරාජ්‍යයට එරෙහිව කැරැලි ගසන්නට වූහ. ජුදයින්ගේ පළමු කැරැල්ල නමින් හැඳින්වෙන මෙම කැරැල්ල ආරම්භ වූයේ ක්‍රි.ව. 76 දී ය. 


මෙම කැරැල්ලේ උච්චතම අවස්ථාව වූයේ වසර තුනකට පසුව කැරැලිකරුවන් විසින් ජෙරුසලෙම අල්ලා ගැනීම ය. ඉන් කුපිත වූ නීරෝ අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ කරැලිකරුවන් සමූල ඝාතනය කර දැමීමට ය. රෝමයෙන් එවන ලද බලඇණි කිහිපයක් එක්ව කැරැල්ල මැඩපැවැත්වීමේදී, පසුබසින කැරැලිකරුවන් විසින් ජෙරුසලෙමේ මහා දෙවොල ගිනි තබා විනාශ කර දමන ලදී. අද වැළැපෙන පවුර ලෙස නම් කෙරෙන්නේ දැවී ගිය ඒ දෙවොලේ ඉතිරිව ගිය මහා ප්‍රාකාරයේ කොටසකි. 


රෝම සේනා හමුවේ අඩපණව ගිය කැරැලිකාර හමුදාවෝ පසුබසින්නට වූහ. ඔවුන්ගේ අවසන් ආරක්ෂිත ස්ථානය බවට පත්වූවේ හෙරෝද් විසින් මළ මුහුද ආසන්නයේ තනවන ලද මසාඩා බළකොටුවයි. 


මසාඩා මළ මුහුද මායිම් කරගත් මුහුදු මට්ටමින් අඩි හාරසියයක් ඍජුව ඉහළට එසවීගත් බිම්කඩකි. තුරු සෙවණක් යට පවා අංශක හතළිස්පහක උෂ්ණත්වයක් සටහන් කරනු ලබන එම බිම කෙතරම් නිසරු වී ද යත්, එහි තෘණයක් පවා වැවුණේ නැත. උස්බිම මස්ථකයේ ගොඩනගන ලද බලකොටුවට පිවිසීම සඳහා තිබුණේ වරකට එක් පයක් පමණක් තැබිය හැකි අයුරින් කඳු පල්ලම ඔස්සේ කපන ලද පියගැටපෙළකි. දෙපයම එකවර තැබීමට තරම් ප්‍රමාණවත් පියගැටයක් එහි නොවීය. කාන්තාරය වුව ද එහි පානීය ජල හිඟයක් නොවීය. බලකොටුව නිර්මාණයේදී ම හෙරෝද්ගේ සැලැසුමකට අනුව වැසි ජලය ගබඩා කර තබාගැනීම සඳහා කඳු අභ්‍යන්තරයේ දැවැන්ත පොකුණු පහක් කපා තිබුණි. එදා මසාඩාව ආක්‍රමණය කළ නොහැකි බවට දී තිබුණු සහතිකය, පසුකාලීනව ටයිටැනික් නෞකාව නොගිලෙන බවට දී තිබුණු සහතිකයට සමානය. 


රෝම හමුදා ප්‍රහාර මැද පසුබසිමින් සිටි කැරැලිකරුවන්ට මසාඩාව කදිම ආරක්ෂිත ස්ථානයක් විය. ජෙරුසලෙමෙන් පසුබැස ගිය කැරැලිකරුවෝ ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද දහසක් පමණ මසාඩාවේ රැකවරණ ලද බව කියැවේ. රෝම අධිරාජ්‍යයා වූ නීරෝට අවශ්‍ය වූයේ කැරැලිකරුවන් සමූල ඝාතනය කිරීම ය. අවසන් සටන භාර වූයේ ලූෂෝ ෆ්ලාවියෝ සිල්වා නම් වූ අතිදක්ෂ රෝම සෙන්පතියාට ය. එහෙත් මසාඩාව ආක්‍රමණය පහසු කටයුත්තක් නොවීය. මසාඩාව වටා කඳවුරු බැඳගත් ලූෂෝ ෆ්ලාවියෝට අවශ්‍ය වූයේ කැරැලිකරුවන් සමූල ඝාතනයට වඩා රෝම අධිරාජ්‍යයේ තේජස රැකගැනීිමට ය. 


මසාඩා බලකොටුව ආසන්නයේ ඇති තවත් කඳුගැටයකට නැගුණු රෝම හේවායෝ මසාඩාව තුළ සිදුවෙමින් ඇති දේ පිළිබඳව ඔත්තු බලන්නට වූහ. ඒ අතරම ලූෂෝ ෆ්ලාවියෝගේ අධීක්ෂණය යටතේ දැවයෙන් දැවැන්ත කුලුනක් නිර්මාණය කෙරුණි. ඒ සඳහා මාස තුනක් ගතවී යයි කියැවේ. කුලුනු මස්ථකයේ ඉදිරියට සහ පසුපසට පැද්දිය හැකි අයුරින් දැවැන්ත කොටයක් සවි විය. ඒ අතරම, අඩි තුන්සියයක් පමණ දිග හිණිමගක් ද සූදානම් වෙමින් පැවැතුණි. මසාඩාවට අවසන් ප්‍රහාරය සැලසුම් කළේ එසේ ය. 
කැරැලිකරුවන්ගේ ප්‍රතිප්‍රහාර මැද ලූෂෝ ෆ්ලාවියෝ තම අවසන් සටන දියත් කළේය. දැවයෙන් කළ දැවැන්ත කුලුන මත සවිකර තිබුණු කොටය ඉදිරියට සහ පසුපසට පැද්දීමෙන් මිටි පහර දෙමින් මසාඩා බලකොටුවේ ආරක්ෂක පවුරක් බිඳ දැමීමට රෝමයෝ සමත් වූහ. ඒ වනවිට රාත්‍රී කළුවර ගලාඑමින් තිබුණි. කඳු මස්ථකයක පිහිටි සතුරු බලකොටුවකට සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් එය සුදුසු වේලාව නොවීය. අවසන් ප්‍රහාරය පසු දින අළුයමට කල් දැමුණි. 


පරාජය දෙ‌ාරකොඩට පැමිණ ඇත. රෝමයන් සමග සටනේදී කැරැලිකරුවන්ගේ මරණය මෙන්ම, බාලයන්ගේ සහ කාන්තාවන්ගේ ඉදිරි වහල්භාවය ද ජුදා කැරැලිකරුවෝ තේරුම් ගත්හ. ඔවුන් විසින් සමූහ තීරණයක් ගත යුතුව තිබුණි. අළුයමට තිබුණේ තව හෝරා කිහිපයක් පමණි. කැරැලිකරුවන් අතරින් තෝරාගත් පිරිසකගේ නම් ගල්පතුරුවල ලියා එය භාජනයකට දමා කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ ඉන් දසදෙනකු තෝරාගත්හ. ඔවුන් දසදෙනාට අතිසුවිශේෂී කාර්යයක් භාරවිය. ඉන් එකෙකුගේ කාර්යය වඩාත් සුවිශේෂී විය. (මෙම නම් ලියූ ගල් පතුරු කිහිපයක් ජෙරුසලෙමේ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා අදටත් සුරැකිව තබා ඇත.) 


දැන් අළුයමට වඩාත් ආසන්නය. මසාඩාව තුළ ජුදයෝ කොටස් ලෙස වෙන්ව සිටගත්හ. සෑම කැරැලිකරුවකු පිටුපසම තම පවුලේ සාමාජිකයෝ පෙළ ගැසී සිටියහ. ගිවිසුම් ප්‍රකාර තම පවුලේ සාමාජිකයන් සියල්ලන්ගේ ම ගෙල සිඳ මරණයට පත්කළ කැරැලිකරුවෝ ඒ මළසිරුරු ආසන්නයේ වැතිර ගත්හ. ලොතරැයි ක්‍රමයට තේරුණු කැරැලිකරුවන් දසදෙනාගේ කාර්යය ආරම්භ වූයේ එවිට ය. ඔවුන් දසදෙනා විසින් මියගිය නෑයන් අසල වැතිර සිටි තම සහෝදර කැරැලිකරුවන්ගේ ගෙල සිඳ දමන ලදී. ඉන්පසුව විශේෂිතම කාර්යය පැවැරුණු කැරැලිකරුවා විසින් තම සගයින් නවදෙනාගේ ගෙල සිඳ මරා දමා, ඔහු ද තම කඩුවෙන් ම ගෙල සිඳගත්තේ ය. 


අළුයම රෝම හමුදාවෝ මසාඩා බලකොටුවට කඩාවදින විට එහි වූයේ දැඩි නිහඬතාවකි. ගෙල සිඳී මියගිය සිරුරු බලකොටුව පුරාම විය. සිදුව ඇති දෙය රෝමයෝ තේරුම් ගත්හ. ඛේදනීය ආත්ම පරිත්‍යාගයට ගරු කිරීමක් ලෙස රෝමයෝ තම අවි බිම තැබූහ. ආරක්ෂක හිස්වැසුම් ද ගලවා දැමූහ. 


ආරක්ෂිත ස්ථානයක සැඟව සිටි බාලයන් කිහිපදෙනකු සමග කාන්තාවන් කිහිපදෙනකු ද පසුව රෝමයන්ට හමුවිය. ඇත්තෙන්ම ඔවුන් බියෙන් සැඟවී සිටියා ද නැත්නම් සිදුවූ දෙය ලොවට සවිස්තරාත්මකව පැවැසීම සඳහා කැරැලිකරුවන් විසින් ඔවුන් එසේ තබායන්නට ඇද්දැයි තවමත් හෙළිවී නැත. කෙසේ වුව ද ඔවුන් නොවෙන්නට මේ ඛේදවාචකයේ සුලමුල තවමත් රහසක් වෙන්නට ඉඩ තිබුණි. 

 


යටියන

ක්ලැරන්ස් කොස්තා 

ෂෙසානෝ, රෝමය, ඉතාලිය.