රෝම ශාක්‍යමුණි විහාරයේ වෙසක් උළෙලට තෙසැත්තෑ ඥාන පූජාවක්


සම්බුදු බුදු තෙමඟුල සිහිපත් කරමින් රෝම ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ වෙරෝනා මහා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රුක්මලේ අනුරුද්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් අලංකාර වූ වෙසක් පිංකමක් VIA DON CARLO GNOCCI - BOCCEA දේවස්ථාන ශාලාවේදී විසිවැනි ඉරු දින දවස පුරා පැවැත්වූහ.  
පෙරවරු 10ට ඉතාමත් සුමධුර දහම් දෙසුමක් වෙරෝනා විහාරාධිකාරී රුක්මලේ අනුරුද්ද ස්වාමීන් වහන්සේ පැවැත්වූ අතර, සම්බුදු පියාණන්වහන්සේ වෙත දහවල් බුද්ධ පූජාව පූජා කළහ. ඉන්පසු මහා සංඝරත්නයට දානය පිරිනැමීමෙන් පසු කවදත් සිදුකරන වෙසක් මහා බත් දන්සල මෙවර ද පැවැත්විය. සිදුහත් දහම් පාසලේ දරු දැරියන්ගේ සහ දෙමාපියන්ගේ සැදැහැ ගී ගායනයක් ද, ගායනා කරමින් බුදුරජාණන්වහන්සේට කෘතගුණ දැක්වූහ.  


මෙවර විශේෂත්වයක් ලෙස ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද අලංකාර තොරණක් වෙසක් පිංකම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට දැක බලාගන්නට පුළුවන් විය. ජාතක කතා අතුරින් ගත් ‘‘සීලවහාගරාජ’’ ජාතකය පෙන්වූ අතර, එම කතා පුවත ඉතාමත් පැහැදිලිව විස්තර කර දුන්හ.  


සවස් භාගයේ සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑඤාන බුද්ධ ඤාන වන්දනාව සිදුකළහ. එක පේලියට හැත්තෑ තුන් නමක් බුදු රජුන් වැඩ හිඳුවා සිටි අයුරු දැකීම කෙතරම් භාග්‍යයක් ද. සැදැහැවතුන්ගේ සාදු හඬ මැද මහත් භක්තියකින් චතුමධුර ගිලන්පස, මල්, ගිතෙල්, පහන්, සිවුරු, පිරිකර පූජා කළහ.  


අප අන් ආගමක් මුල්කර ගත් රටක සිටියද මෙවන් දුර්ලභ පූජාවක් වන්දනාමාන කර ගන්නට ලැබීම මහත් පුණ්‍යකර්මයකි.  

 

 

 

 


ප්‍රේමා කංකානන්ගේ,  
රෝමය.   
ඡායාරූප: අනුරුද්ධි සහ අනීතා