රෝම අධිරාජ්‍යයේ සුන්බුන්වලින් අලංකෘත වතිකානයේ සිස්තිනා පල්ලියේ විසිතුරු බිම


 

 

වතිකානයේ සිස්තිනා පල්ලිය කිවූ පමණින් දන්නා අයට සිහියට නැගෙන වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න පාප්තුමකුගේ අභාවයෙන් පසුව නව පාප්වරයකු පත්කරගැනීම සඳහා රහස් ඡන්දය පැවැත්වීමට කර්දිනල්වරුන් එක්රැස්වෙන්නේ මෙම පල්ලිය තුළ වීමය. දෙවැන්න මෙම දේවස්ථානයේ සිවිලිම සහ අල්තාරය පිටුපස දැවැන්ත බිත්තිය සරසා ඇති මයිකල් ආන්ජෙලෝ විසින් ඇඳ ඇති දැවැන්ත චිත්‍රයයි.   


දිනකට විසිදහසක පමණ සංචාරකයෝ පිරිසක් සිස්තිනා පල්ලිය දැකබලා ගනිති. මේ පිරිසේ එකම ප්‍රාර්ථනය වෙන්නේ මයිකල් ආන්ජෙලෝ විසින් පල්ලිය තුළ සිතුවම් කර ඇති ලෝ පසිඳු චිත්‍රයන් දැකගැනීමය. එබැවින් සංචාරකයා පල්ලියට ඇතුළු වෙන්නේම එහි සිවිලිම දෙස බලාගෙනය. පසුව පල්ලියේ අල්තාරය වෙත පැමිණෙන සංචාරකයා, එහි පිටුපස බිත්තියේ මයිකල් ආන්ජෙලෝ විසින් සිතුවම් කර ඇති “අවසන් විනිශ්චය” දැවැන්ත චිත්‍රය දෙස විශ්මයෙන් බලාසිට පිටව යයි.   


වතිකානයේ සිස්තිනා පල්ලිය තුළ ගතකරනු ලබන කාලය තුළ තමන් පයගසා සිටින බිම ද මහා කලා නිර්මාණයක් බව දන්නෝ ටික දෙනෙකි. එහෙත් දිනකට සිස්තිනා පල්ලිය නැරඹීමට අවසර ඇති කාලය තුළ ඒ තුළ විසිදහසක පමණ සංචාරකයන් පිරිසක් ගැවසෙන බැවින්, මෙහි බිම බැලීමට තරම් අවස්ථාවක් සංචාරකයාට ලැබෙන්නේ ද නැත.   
ගරා වැටෙමින් තිබුණු පැරණි පල්ලියක් පිළිසකර කරමින් සිස්තිනා පල්ලිය නිර්මාණය කෙරුණු වසර එක්දහස් හාරසිය අවසන් කාර්තුව වෙනවිට, පැරණි රෝම අධිරාජ්‍ය බිඳවැටී වසර එක්දහස් පන්සීයක් පමණ ගතවී ගොසින් ය. අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය වූ රෝමයේ තිබුණු අධිරාජ්‍යයාගේ මාලිග, සුවිසල් දෙවොල්, පරිපාලන ගොඩනැගිලි මෙන්ම ප්‍රභූවරුන්ගේ නිවාස ද, කාලයත් සමගම මෙන්ම භූමිකම්පා වැනි ස්වභාවික විපත්වලින් ද ඒ වෙනවිට සුන්බුන් බවට පත්වී තිබුණි. සිස්තිනා පල්ලියේ බිම සැරසීම සඳහා මේ ගරාවැටුණු නටඹුන්වල තිබුණු සුන්බුන්වලින් සොයාගන්නා ලද කිරිගරුඬ කැබලි මුළුමනින්ම යොදාගෙන ඇති බව හෙළිවී ඇත.   

 

 


රෝම අධිරාජ්‍යයේ මාලිගාවල මෙන්ම දෙවොල්වල ගරාවැටී තිබුණු දැවැන්ත කිරිගරුඬ කුළුණු පෙතිගසා සිස්තිනා පල්ලියේ බිම රවුම් හැඩතල සඳහා යොදාගෙන ඇති අතර, කිරිගරුඬ කුඩා කැබලි එක්තැන් කර නිර්මාණය කර ඇති විශාල මෝස්තරවල පිරිවැද්දුම් පියවි ඇසට නොපෙනෙන තරම් ය. කොටින්ම සිස්තිනා පල්ලියේ බිම විවිධ රටාවෙන් හැඩවුණු කලාලයක් වැනිය. මෙම විවිධ වර්ණ මෝස්තර ලොව වෙනත් තැනකදී දැකගැනීමට නොලැබෙන අන්දමේ නිර්මාණයන්ය. එහෙත් මෙම දැවැන්ත කලා නිර්මාණයේ පූර්ණ දර්ශනයක් දැකබලා ගැනීමට සංචාරකයාට අවස්ථාවක් ලැබෙන්නේ නැත.   


ජනශුන්‍ය අවස්ථාවක හැරුණු විට සිස්තිනා පල්ලියේ බිම අසිරිය නැරඹීමට අවස්ථාවක් කෙනෙකුන්ට ලැබෙන්නේ නැත. පල්ලිය වසා දැමූ අවස්ථාවක මිස එවන් අවස්ථාවක් උදා නොවේ. කිසියම් ඉහළ කෝණයකින් මෙම කලා නිර්මාණය දෙස බැලීමේ වරම ලදොත් මිස, මෙහි මහේශාක්‍ය බව දැකගැනීම අපහසු ය. එහෙත් එවන් පහසුකමක් සැලසීමට තරම් සිස්තිනා පල්ලිය තැන නොවේ.   


දිනකට විසිදහසකට අධික සංචාරකයන් පිරිසක් විසින් පාගා දමනු ලබන මෙම මහා කලා නිර්මාණය, සිස්තිනා පල්ලිය සංචාරකයාට වසා දැමූ විගසින් දිනපතා පිරිසිදු කරති. මෙහි සෑම බිම් අඟලක්ම වාරිකව දැඩි පරීක්ෂාවකට ලක්කෙරේ. කැබලි ගැලවී ගිය බවක් හෝ ගලවාගෙන ගොස් ඇති බවක් මෙතෙක් වාර්තා වී නැත. පල්ලියේ බිම පිරිසුදු කරන අයුරු සහ එහි විසිතුරු රටා දෙකක් ඡායාරූපවලින් දැක්වේ.  

 

 

 


රංජිත් කොස්තා  
රෝමය, ඉතාලිය.