රොහින්ග්‍යා සරණාගතයාට සත්කාර කිරීමේදී මේ ටික අමතක නොකරමු


 

විදේශික සරණාගතයින් සම්බන්ධව යුරෝපය, ඇතැම් ආසියාතික මෙන්ම අප‍්‍රිකානු රටවල් ද උණුසුම්වී ඇති කලෙක, අප රට තුළ ද එවැනිම වාතාවරණයක් බිහිවීමේ පෙර නිමිති පහළ කරමින්, රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිළිබඳව වාර්තා වේ. ගල්කිස්සේදී රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් සොයාගැනීමත් සමගම උද්ගතවී ඇති අර්බුදය පිළිබඳව, විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පළ කරති. විදේශික සරණාගතයා ශ‍්‍රී ලංකාවට බරපතළ ප‍්‍රශ්නයක් වීමට පෙර, යුරෝපය හා ඇතැම් අප‍්‍රිකානු හා ආසියාතික රටවල් කීපයක විදේශික සරණාගතයා විසින් නිර්මාණය කර ඇති ව්‍යාකූල දේශපාලන වාතාවරණය පිළිබඳව අධ්‍යනය කිරීම ප‍්‍රඥාඝෝචර ය.   


රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිළිබඳ අර්බුදයේදී ඇතැමුන් ප‍්‍රකාශ කරන්නේ, ආගන්තුක සත්කාරයට පුරාණයේ සිටම නම් දරා ඇති අප විසින් මෙම සරණාගතයන් සම්බන්ධව ද මානුෂීය ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ය. අද ආගන්තුකයා එද‌‌ා අප විසින් දැනහඳුනාගෙන සිටි ආගන්තුකයා නොවෙන බව මෙ පාර්ශ්ව දැනගත යුතු ය. අද සරණාගතයා සම්බන්ධයෙන් නම් ආවෝ මිස ආපසු ගියෝ නම් නැති බව ද අමතක නොකළ යුතුය. ආගන්තුකයා විපර්යාසයකට භාජනවී ඇති යුගයක, සත්කාරක ප‍්‍රතිපත්තිය ද සංශෝධනයට භාජන විය යුතු ය. එය බුුද්ධිමත් බව නොව නොමිනිස් බව ලෙස කවුරුන් හෝ නිර්වචන කරන්නේ නම්, එය පූර්ණ මුග්ධභාවයයි.   


ආවා නං ඔහේ හිටපන් සංකල්පය යටතේ විදේශික සරණාගතයකු පිළිගැනීමේ හැකියාවක් අද කිසිම රටකට නැත. සරණාගතයන් සඳහා ම වූ ජාත්‍යන්තර  ප‍්‍රඥප්තියකට අනුව යමින් එය කටයුතු ය. විදේශික පමණක් නොව දේශීය සරණාගතයාට ද පහසුකම් සැලසිීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙල මෙම සරණාගතයන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ පැහැදිළිව සඳහන්ව ඇත. සරණාගතයා සම්බන්ධව මෙම සත්කාරක නීතිය ක‍්‍රියාත්මක වෙන පිිළිවෙළ නිරීක්ෂණය සඳහා, මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සංවිධාන උකුසු ඇස අයාගෙන සිටිති. තිස් වසරක් පුරා උතුරේ සිදුවූ ව්‍යාකූලතාවලදී අවතැන් පාර්ශ්වයන් සඳහා සරණාගත කඳවුරු තුළ සපයා තිබුණු පහසුකම් පිළිබඳව, මානව හිමිකම් ආයතන ඒ දිනවල අපට කරන ලද බලපෑම් අමතක වීමට තරම් කාලයක් තවම නැත.   


අද සරණාගතයා මුවාවෙන් විවිධ පිරිස් විදේශික රටවලට සංක‍්‍රමණය වීම හේතුවෙන්, ව්‍යාජ සරණාගතයාගෙන් සැබෑ සරණාගතයා කවුරුන් දැයි වෙන්ව හඳුනාගැනීම දුෂ්කර ය. ජීවිතය පතා පලා ආවා යයි කියනු ලබන කෙනෙකුගෙන් පුද්ගල හැඳුනුම්පත, උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය ඉල්ලා සිටීමේ හැකියාවක් නැත. මෙම හඳුනාගැනීම සාර්ථකව කරගත නොහැකිව අද අපට වඩා දියුණු රටවල් පවා දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති. සිරියාවේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් යුරෝපයට ජීවිතය පතා මේ දක්වා පලා ආවායැයි කියනු ලබන පිරිස, සිරියාවේ මුළු ජනග‍්‍රහණයට වඩා වැඩි බව දැන් හෙළිවී ඇත. මෙය සැබෑ සරණාගතයා කවුරුන්දැයි හඳුනාගැනීිමට ඇති අපහසුව තේරුම් ගැනීිමට ප‍්‍රමාණවත් ය.   


ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුව සරණාගතයා නඩත්තුව පහසු කටයුත්තක් නොවේ. ඉඳුම්-හිටුම්, ආහාරපාන පමණක් නොව සෞඛ්‍යමය මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන හා වෙනත් පහසුකම් සරණාගතයාට සැලසීමේදී, සරණාගතයන්ගේ සංඛ්‍යාව අනුව එය රටකට දරාගැනීමට අපහසු වියදමක් වෙන බව අවබෝධ කරගත යුතු ය. සරණාගතයන් සඳහා ඇති ජාත්‍යන්තර ආයතනවලින් සත්කාරක රටට කිසියම් මූල්‍යමය ආධාරයක් සපයන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වේ. සරණාගතයාට නවාතැන්, ආහාර හා වෙනත් පහසුකම් සැලසීම කොමිස් ලබන ව්‍යාපාරයක් බවට පත්කරගැනීමට බොහෝ රටවල දේශපාලකයෝ පෙළඹ සිටිති. මේ පිළිබඳව අපේ අය ගතහැකි පියවර ගැන කිවයුතු නොවේ. රටේ අනාගතයට බලපෑ හැකි ප‍්‍රශ්න නොසලකා, මානව හිතවාන් ලෙස සරණාගතයා භාරගැනීමට පෙරට පනින බොහෝ දේශපාලකයෝ ඉදිරියට එන්නේ මෙම කොමිස් ලාභ ව්‍යාපාර අරමුණු කරගෙන ය.   


යුදමය වාතාවරණයකදී හෝ වෙන යම් ආපදාවකදී සරණාගතයන් ලෙස විදේශයක කඳවුරුගත වෙන්නෝ මව්බිමේ එම අවාසනාවන්ත වාතාවරණය නිම වූ පසුව ද ආපසු නොයන බව, ජාත්‍යන්තර සරණාගත කඳවුරු පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පෙනිී යයි. පකිස්ථානු සරණාගත කඳවුරුවල මුළු ජීවිත කාලයම ගතකරනු ලබන ඇෆ්ගනිස්ථානු සරණාගතයන් සිටීම මෙයට හොඳම උදාහරණයකි. මව්බිමේ අර්බුදකාරී තත්ත්වය මගහැරී ගිය විටෙක පවා මුදල් අතට දී වුවද සරණාගතයන් එලවාගත නොහැකිව ලතවෙන රටවල් එමට ඇත.   
පවුලක් සීසීකඩ නොකිරීමේ මානුෂීය සංකල්පය මත විදේශීක රටකට සරණාගතයකු ලෙස ඇතුළුවෙන අවතැන්වූවකුට, තම මව්බිමේ සිටින ජීවිත අනතුරට පත් පවුලේ අනෙකුත් සාමාජිකයන් වෙනුවෙන් ද සත්කාරක රටේ රැකවරණ ඉල්ලීමේ අයිතියක් ඇත. සරණාගත කඳවුර තුළ වුවද ගෞරවනීය ජීවිතයක්, කාන්තා අයිතිවාසිකම් හා දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමට ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුව සත්කාරක රට බැඳී සිටී.   


මව්බිමේ පවතින කිසියම් අවාසනාවන්ත වාතාවරණයක් හේතුවෙන් විදේශයක රැකවරණ පතන සරණාගතයා තම අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන්නේ අද නොව හෙට ය. සරණාගතයාගේ මව්බිමේ ව්‍යාකූල වාතාවරණය පහව ගිය මොහොතක මිලියන ගණනින් මූල්‍යමය විදේශ ආධාර ලබා වුවද, තම පුරවැසියන් ආපසු ගෙන්වාගැනිීමට අකමැති රටවල් එමට ය. යුරෝපා හවුලේ ඇතැම් රටවල් අතර හොඳහිත පළුදුකිරීමට ද විදේශික සරණාගතයා සමත්ව සිටී. තවත් රටක පාලන පක්ෂයේ ජනප‍්‍රියත්වය හීන කර දැමීමට තරම් විදේශික සරණාගතයා ප‍්‍රශ්නයක් වී ඇත. එක් ජන වාර්ගිකයන් පිරිසක් සරණාගතයන් ලෙස ලොව පුරා ව්‍යාප්තවීම නව ජනපද පිහිටුවීමේ සූක්ෂම ප‍්‍රයෝගයක් දැයි ඇතැමෙකු සැක කරයි. මේ සියල්ල සලකා බලා, මෙම විෂය අරබයා මතුවිය හැකි ප‍්‍රශ්නයන්ට සාර්ථක විසඳුම් ඇත්නම් පමණක් රොහින්ග්‍යා සරණාගතයාට පහසුකම් සැලසීමේ වරදක් නැත.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.