රොබින්සන් කෲසෝ පොතට වසර තුන්සීයයි


මුහුදුබත් නෞකාවකින් හුදකලා දූපතකට සේන්දුවී, වසර විසිඅටක් එහි පරිසරය සමග ජීවත්වූවකුගේ වික්‍රමාන්විත අත්දැකීම් අළලා ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ පොත නොකියවූ කෙනෙකුන් සිටිය හැකි වුවද, ඒ පොත පිළිබඳව නොඇසූ කෙනෙකුන් නම් සිටිය නොහැකිය. බයිබලය හැරුණුවිට වැඩිම භාෂා ගණනකට පරිවර්ථනය වූ පොත ලෙස රොබින්සන් කෲසෝ පොත වාර්තාගතවී ඇත. අලෙවිය හේතුවෙන් තවමත් මෙම පොත විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය වෙමින් ඇති බැවින්, එහි මුල්ම මුද්‍රණ වර්ෂය පරීක්ෂා කර බලන්නෙකුට, 2019 අප්‍රේල් මස විසිපස්වැනිදාට මෙම පොතට වසර තුන්සීයක් පිරෙන බව දැකගත හැකිය.   


බංකොළොත් භාවයෙන් මිදීම සඳහා ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ පොත එදවස ද ජනප්‍රියවීම සඳහා අවැසි සියලු උපාංගවලින් පූර්ණව තිබුණි. විලියම් ශේක්ෂ්පියර් විසින් 1610 දී ලියන ලද කුණාටුව නම්වූ නාට්‍යයට පාදකවී ඇත්තේ ද මෙවැනි ම කතාවක් බව ඇතැම් සාහිත්‍ය විචාරකයකු විසින් කියනු ලැබුව ද ඩැනියෙල් ඩෙෆෝ විසින් තම කෘතිය සඳහා නිමිති කරගන්නා ලද්දේ, කපිතාන්වරයාගේ අණට අකීකරුවීමේ වරදට පැසිෆික් සාගරයේ හුදකලා වූ ජුවන් ෆර්නන්ඩ්ස් දූපතේ දමාගොස්, වසර හතරක් එහි ජීවත්වූ ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් සෙල්කිර්ක් නම් වූ නාවිකයකුගේ කතාව බව වඩාත් පිළිගත් මතයයි. මේ නිසාම ජුවන් ෆර්නන්ඩ්ස් දූපත අද හැඳින්වෙන්නේ රොබින්සන් කෲසෝ දූපත ලෙස ය.   


තම කතාව පාඨකයාට තරයේ ඒත්තුගැන්වීම සඳහා උත්තම පුරුෂ ආඛ්‍යාත ස්වරූපයෙන් ලියා ඇති මෙම පොත, ප්‍රථමවරට නිකුත්වූ දින (1719) සිට කතුවරයා ජීවිතයෙන් සමුගන්නා තුරු (1731) වසර දොළහ තුළ වාර හතක් මුද්‍රණය විය. පසුගිය කාලය තුළ වර්ඩ්ස්වර්ත් කොල්රිජ් වැනි කවීන් මෙන්ම එඩ්ගා ඇලන් පෝ වැනි ලේඛකයෝ ද, කාර්ල් මාර්ක්ස් වැනි දේශපාලන චින්තකයෝ ද මෙම පොත ඇගයීමට ලක්කර ඇත. රොබින්සන් කෲසෝ පොතේ කතාව 1954 දී එලෙසින් ම චිත්‍රපටයට නැගී ඇති අතර, මෙම කතාවේ ආභාෂය ලබමින් පසුකාලීනව එනම් ක්‍රි.ව. 2000 දී “කාස්ට් එවේ” (CAST AWAY) සහ 2004 දී “ලොස්ට්” (LOST) වැනි චිත්‍රපට ද හොලිවුඩ් හි නිපදවුණි.   

 


කල්ප ගුරුගේ - මිලානෝ