රටේ ඉදිරි ගමන් මාර්ගයේ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණදීමට තිබෙනවා ගාමිණී වියන්ගොඩ පැරිසියේදී කියයි


2015 ජනවාරි 8 වැනිදාා ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළිය සඳහා විවිධ අයුරින් දාායකවූවෝ රැසක් සිටිති. ඔවුන් අතර දේශපාලකයෝ, මාධ්‍යවේදීන්, වෘත්තීයවේදීන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ගිහි පැවිදි බුද්ධිමතුන්, සිවිල් සංවිධාන ආදී ලෙස ඉහත දේශපාලන පෙරළියට සක‍්‍රීය ලෙස දාායක වූවෝය. ඔවුන් අතරින් සිවිල් පුරවැසි බලය එක් සංවිධානයකි. මෙම සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ ලේඛක ගාමිණි වියන්ගොඩ මහතාය. ඔහු කලක් රැකියාවක් කරමින් ප‍්‍රංශයේ ජීවත්වූ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන සිවිල් සංවිධාන ක‍්‍රියාධරයෙකු ලෙස කටයුතු කරන්නේය. පසුගියදා වියන්ගොඩ මහතා පැරීසියට පැමිණ සිටියේය. ඒ අතරතුර ඔහු සමඟ වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය හා ඉදිරි ගමන් මඟ ගැන සංවාද වීමට අවස්ථාවක් ලැබුණේය.   


ප‍්‍රශ්නය:   2015 ජනාධිපතිවරණයේදී සක‍්‍රීය දාායකත්වයක් සැපයූ ඔබලාගේ පුරවැසි බලය නම් සංවිධානය මෙවර පළාත් පාලන මැතිවරණයේදී නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?   


පිළිතුර:   පුරවැසි බලය වශයෙන් අපි කිසිම පක්ෂයකට අයත් සංවිධානයක් නොවේ. ඒ වගේම අපි කිසිම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ද නොවේ. ඒ අනුව බොහෝම හොඳට පැහැදිලි කරුණක් වන්නේ මෙම පළාත් පාලන මැතිවරණය යනු පක්ෂ අතර කරන තරගයක් වශයෙනුයි අපි එය දකින්නේ. ඒ වගේම කෙනෙකුට ප‍්‍රශ්න කරන්න පුළුවන්, 2015 ජනවාරි මැතිවරණයත් පක්ෂ අතර තරගයක් බැවින් එම මැතිවරණයේදී අපි එක් පක්ෂයකට සහයෝගය දැක්වූවා නම් ඇයි දැන් බැරි කියල අහන්න පුළුවන්. එයට බොහෝම සරල පිළිතුර නම්, හුදෙක් පක්ෂයක් පරාජය කොට තවත් පක්ෂයක් බලයට පත් කිරීමට වඩා එහා ගිය යම්කිසි ජාතික හා දේශපාලන අයිතීන් දිනා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා ප‍්‍රශ්නයක් තමයි 2015 ජනවාරි 08 වැනිදා තිබුණේ. ඒ කියන්නේ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක් වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තෝරා පත් කර ගැනීම එදා මූලිකම අවශ්‍යතාව වී තිබුණා. යුක්තිය හා සාධාරණත්වය, මානව අයිතීන් ආරක්ෂා කිරීම, නීතිය හා ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් ආදී ලෙස මොන පක්ෂය ද පෙනී සිටින්නේ, අපි ඒ පක්ෂය දිනවීමට ඒ පක්ෂයේ පැත්ත ගත්තා. නමුත් පළාත් පාලන මැතිවරණයක් යනු එහෙම දෙයක් නොවේ. ප‍්‍රාදේශීය හා නගර සභා සඳහා සභිකයන් තෝරා ගන්නා මැතිවරණයක් තමයි දැන් පැවැත්වෙන්නේ. සමහරවිට මෙම ඡන්දය තුළ යම් යම් වැදගත් අංගයන් තියෙන්න පුළුවන්. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල ව්‍යුහයට යම් බලපෑමක් ඇති කළ හැකි මැතිවරණයක් ලෙස අපි මෙය දකින්නේ නැහැ. එබැවින් මෙම මැතිවරණයේදී එක් පක්ෂයක අපේක්ෂකයන් දිනවීම අපේ අරමුණ නොවේ. එබැවින් අපි කිසිම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.   


ප‍්‍රශ්නය:   කවුරුත් දන්නා එන්.ජී.ඕ හෙවත් රාජ්‍ය නොවන සංවිධානයක් යනු කුමක්ද? ඒ ගැන ඔබගේ විස්තර කිරීම කෙසේද?   


පිළිතුර:   රාජ්‍ය නොවන සංවිධානයක් යනු යම්කිසි රටක රජයකට කිරීමට අපහසුතාවයක් ඇති හෝ යම්කිසි රජයක් මගින් නොකර හරින එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුතලයකට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා ගොඩනගන ලද සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලෙස හඳුන්වනවා. එවැනි සංවිධානවල මැදිහත්වීම වැඩි වෙනවා යනු එම රටේ රාජ්‍යය සමාජ කළමනාකරණය සඳහා වැඩියෙන්ම අසමත් බවයි. රටක මූලික සමාජ කළමනාකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, ස්වාධීන අධිකරණ, මානව අයිතීන් වගේ දේවල් සම්බන්ධයෙන් රජයක් අසමත් වෙනවිට ඔවුන්ගේ මැදිහත්වීමත් වැඩි වෙනවා. යුරෝපයේ මේ ප‍්‍රංශය වගේ රටවලත් රාජ්‍ය නොවන ආයතන තිබෙනවා. නමුත් මේ රටවල රාජ්‍යය ශක්තිමත්. එම නිසා එන්.ජී.ඕ වලට සමාජය ඇතුළේ කිරීමට ඇති භූමිකාව ඇත්ත වශයෙන්ම අඩුයි. උදාාහරණයක් ලෙස සරණාගතයන්ගේ ප‍්‍රශ්නයක් වගේ අවස්ථාවක මෙහි රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානව කටයුතු කළත් මානව අයිතීන් වැනි දේවල්වලට මැදිහත් වීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. ඒ මන්ද? මේ රටවල මානව අයිතීන් සුරක්ෂිත කිරීමට රාජ්‍යය දියුණු නිසයි. නමුත් එවැනි දියුණුවක් නොමැති රාජ්‍යයන්වලට අවශ්‍ය වෙනවා රාජ්‍ය නොවන සංවිධානවල භූමිකාවක්. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. අපේ රටේ ඉතිහාසය ගෙන බලන කල රාජ්‍ය නොවන සංවිධාන බිහිවන්නේ ශ‍්‍රමදාන හරහා. සර්වෝදය, මහිලා සමිති වගේ ඒවා උදාාහරණ ලෙස ගන්න පුළුවන්. ඒ වගේම එන්.ජී.ඕ වලට විවිධ චෝදනාත් එල්ල වෙනවා. ආණ්ඩු පෙරළන්න හදනවා කියනවා. රට අරාජික කරන්න හදනවා කියනවා ආදී ලෙස විවිධ චෝදනා තිබෙනවා. නමුත් ඒවා ඒ ඒ විෂය මූලිකව විග‍්‍රහ කළයුතු දෙයක්. කෙසේ නමුත් සමස්තයක් ලෙස බැලුවොත් රාජ්‍ය නොවන සංවිධානවලින් යම් සාධනීය සේවයක් සමාජයට සිදුවෙනවා.   


ප‍්‍රශ්නය:   සමහරු ඔබලා එන්.ජී.ඕ කාක්කෝ යනුවෙන් හැඳින්වීමට පෙළඹී සිටිනවා. ඒ ගැන ඔබගේ විස්තර කිරීම කෙසේද?   


පිළිතුර:   එය මම දකින්නේ හා හඳුන්වන්නේ ලේබල් ක‍්‍රමයක් ලෙසයි. මෙම ලේබල් ක‍්‍රමය ඈත අතීතයේ ඉඳලා එන එකක්. ඉස්සර ධනවාදියා, සමාජවාදියා, දේශද්‍රෝහියා, අධිරාජ්‍යවාදියා, යටත් විජිතවාදියා ආදී ලෙස ලේබල් ගැහැව්වා. එහෙම ලේබල් කළාම නැවත විස්තර කිරීමක් අවශ්‍යය වෙන්නේ නැහැ. බුද්ධිමය වශයෙන් ඉතා දිළිඳු බවක් ඇති මිනිසුන් තමයි එවැනි ලේබල් ගහන්නේ. ඔවුන් ළඟ සංවාදවලට ඉඩක් නැහැ. එන්.ජී.ඕ කාක්කා කියන්නේත් එහෙම ලේබල් එකක්. අනෙක් කරුණ තමයි එන්.ජී.ඕ කාක්කා යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? එන්.ජී.ඕ සල්ලිවලින් අපි යැපෙනවා කියන එකනේ. 

 
ප‍්‍රශ්නය:   රටේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය ගැන ඔබගේ විග‍්‍රහය හා ඒ සඳහා ඔබලාගේ දාායකත්වය කෙසේද? 

 
පිළිතුර:   අපේ ඉදිරි ගමන් මාර්ගයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් තිබෙනවා. ඒ තමයි මේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම. මේ වෙනවිටත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, තොරතුරු දැන ගැනීමේ පනත, කොමිෂන් සභා පිහිටුවීම වැනි යම් සාධනීය දේවල් ඉටුකර තිබෙනවා. නමුත් තවත් එක් වැදගත් දෙයක් වෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වගේ දේවල් ඉදිරියට තිබෙන අභියෝගයන්. අපි ඉදිරියේදී වැඩ කටයුතු කරන්නේ ඉහත කරුණු ඉෂ්ඨ කර ගැනීම සඳහායි. ඒ අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන දේශපාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් කැපවීම අපේ ඉදිරි වැඩපිළිවෙළේ මූලික අංගයන් වෙනවා. ඒ වගේම අපට පොදු ප‍්‍රතිපත්තියක් තිබෙනවා. එනම් අපි කිසිම ජාතියක් හෝ ආගමක් ප‍්‍රධාන ලෙස කරට අරගෙන කටයුතු කරන්නේ නැහැ. එලෙස ආගම හෝ ජාතිය ලෙස භාවිතා කරමින් පුද්ගලයන්ව හෝ ජන කොටසක් තලාපෙලා හිරිහැර කරන්න යම් ජන කොටසක් හෝ පක්ෂයක් කටයුතු කරනවා නම් අපි එයට දැඩි ලෙස විරුද්ධව කටයුතු කරනවා. එම ප‍්‍රතිපත්ති මත පිහිටමින් ඉහත දැක්වූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කර ගනිමින් ඉතා යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පාලන ක‍්‍රමයක් ඇති කර ගැනීම සඳහායි අපි ඉදිරියටත් කටයුතු කරමින් ඉන්නේ.   

 

 

 


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට