රජයේ දේපළ පෞද්ගලීකරණයේදී ප්‍රංශයෙන් දෙන ආදර්ශය


 

වර්තමාන ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ හම්බන්තොට වරායේ කළමනාකරණය චීන්නුන්ට භාර දීමයි. ආණ්ඩු විරෝධීන්ගේ ප‍්‍රධාන සටන් පාඨයත් ඒ හා බැඳේ. දකුණු දිග ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ඉදිරි කටයුතු කර ගෙන යෑම සඳහා චීන සමාගමක් හා ශ්‍රී ලංකා රජය අතර පසුගිය 29 වැනිදාා ගිවිසුමක් අත්සන් කළේය. ඉන් පසු සුපුරුදු ලෙස කරළියට පැමිණි හිටපු ජනාධිපති වර්තමාන කුරුණෑගල මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජුලි 29 වැනිදා ශ්‍රී ලංකාවට අවසනාවන්ත දිනයක් බව ප‍්‍රකාශ කළේය. ඔහු එසේ පැවසුවද, ඔහු බලයේ සිටියා නම් ඔහුුටද වෙනත් විකල්පයක් ඇත්තේම නැත. දැන් සිදුවී ඇත්තේ ඔහු කිරීමට සිටි දේ වෙනත් පිරිසක් විසින් ක‍්‍රියාවට නැගීම බව බුද්ධිමත් වැසියෝ දනිති.   


ගිවිසුම ඉලක්ක කොට ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන සෑම දෙයටම විරුද්ධ වෙන කොටස් උද්ඝෝෂණය කළෝය. පුද්ගලීයකරණය නොකර රාජ්‍ය අංශය විසින් පවත්වා ගෙන යෑම සුදුසු බව ඔවුන්ගේ ඉල්ලීමය. ඔවුන්ගේ ඉල්ලීම සුබදායකය. සාධාරණය. එසේ නම් පෙර පැවැති රජය එසේ නොකළේ මන්ද? එසේ කිරීමට හැකියාව තිබුණි නම් මෙතරම් ප‍්‍රමාද කළේ ඇයි. රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා ගෙන යෑමට අවශ්‍ය ප‍්‍රතිපාදන රාජ්‍ය අංශය සතුව පවතීද? එසේ නම් රජය එසේ නොකළේ ඇයි ? ආදි ලෙස ප‍්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇතත් ; මේ වෙනතුරු එවැනි දෙයක් සිදු නොවුනේ ඇයි.   


විරුද්ධ පාක්ෂිකයෝ වේදිකා මත වැදි බණ දෙසමින් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බව ඔවුන් ගේ තර්ක විතර්ක තුළ සැඟවී ඇති බව බුද්ධිමත් ජනතාව අවබෝධයෙන් දනී. සත්‍ය ලෙසම හම්බන්තොට වරාය යනු විශාල ණය මුදලකට යටවූ ව්‍යාපෘතියක් බව අවබෝධයෙන් සිටින ජනතාව දනිති. චීනයේ වාණිජ බැංකු වල වැඩි පොලි අයිරාවකින් ලබා ගත් මුදල් මෙම ව්‍යාපෘතියට යොදවා ඇත්තේය. වංචා, දූෂණ, ගසා කෑම් ආදියද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවූ බවද බොහෝ දෙනා දනිති. ඉහත සියලූ පියවරයන් පසුකර අවසන් වූ හම්බන්තොට වරායේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි අති විශාල ආර්ථික හා මුදල් අර්බුදයකට ශ්‍රී ලංකාව පැටලී ඇති බවද රහසක් නොවේ. අද ශ්‍රී ලංකාව යනු කර වටක් ණය බරින් පිරි හොම්බ බිම ඇණ ගත් අන්ත දුගී දුප්පත්ම රටක් බව අවබෝධ කර ගත්තෝ කීදෙනෙක් සිටීදැයි නොදනී. එවැනි රටක ඉහත ව්‍යාපෘතියක් රාජ්‍ය ආයතනයක් ලෙස කළමනාකරණය කළ හැක්කේ කෙසේ දැයි නොවැටහේ. එසේ කිරීමට හැකියාව තිබුණි නම් එසේ නොකළේ ඇයිද යන ප‍්‍රශ්නය ඇසීමට අපට සිදුවේ. එවැනි රටක් ඉහත ව්‍යාපෘති පුද්ගලික අංශය සතු කොට කාර්යක්ෂම සේවයක් ස්ථාපිත කොට ලැබෙන ආදාායම බෙදාා හදාා ගැනීම හැර වෙනත් විකල්පයක්ද ඇත්තේ නැත. හම්බන්තොට වරාය පසුබිමේ ඇති සත්‍ය කතා පුවත එයයි. අන්ත දුගී දුප්පත් රටක සමහරක් පුද්ගලීකරණයට විරුද්ධව බෙරිහන් දෙන විට ලෝකයේ ධනවත් රටවල්ද පුද්ගලීකරණය තෝරා ගැනීම ගැනද අද කතිකාවක් ඇතිවී තිබේ.   

 


ඒ සඳහා ආසන්නම උදාාහරණය සපයන රට ප‍්‍රංශයයි. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ප‍්‍රංශය යනු ධනවත් ප‍්‍රබල රාජ්‍යයකි. එසේ වුවද ප‍්‍රංශ රජයත් පුද්ගලීකරණයට අද මුල් තැන දෙමින් ඔවුන්ගේ රාජ්‍ය අයවැය පරතරය අඩුකර ගැනීම සඳහා ඇවැසි මුදල් සොයා ගැනීමේ පියවරයන් කරා යොමු වෙමින් සිටී. එවැනි පරිසරයක් නොමැති දුප්පත් ශ්‍රී ලංකාවේ ආයතන පුද්ගලීකරණය කිරීම ගැන නම් කවර කතාද?. මේ වෙනවිට ප‍්‍රංශයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළවල් අතරින් තුන්වැනි සිව්වැනි හා පස්වැනි විශාලතම ගුවන් තොටුපොළවල් වන නීස් (Nice), ලියෝන් (Lyon), තුලූස් (Toulouse) යන ගුවන් තොටුපොළවල් පුද්ගලීකරණය කොට අවසන්ය. ඒ අතරින් දකුණු හා ගිනිකොණ දිශාව අතර පිහිටි ප‍්‍රංශයේ තුන්වැනි විශාලතම ගුවන් තොටුපොළ වන නීස් ගුවන් තොටුපොළ පුද්ගලික අංශයට භාර දුන්නේය. කළමනාකරණය ඔවුන්ගේය. ආරක්ෂාව ප‍්‍රංශ රජය සතුය. වසරකට මගීන් ලක්ෂ 120ක් එහා මෙහා යන මෙම ගුවන් තොටුපොළ ඉතාලි ජාතික අශූරා (Azzurra) සමාගමට අනුබද්ධ ඇට්ලන්ටියා (Atlantia) සමාගම හා ප‍්‍රංශයේ විදුලිබල සමාගම (EDF) එක්ව කළමනාකරණයට සම්බන්ධවී සිටී. ඒ අනුව ඇට්ලන්ටියා සමාගමට 65%ක්ද ප‍්‍රංශ විදුලිබල සමාගමට 25%ක්ද කොටස් අයත්වේ.   
ඊට සමගාමීව වසරකට මගීන් ලක්ෂ 87ක් ගමන් කරන මධ්‍යම ප‍්‍රංශයේ පිහිටි සිව්වැනි විශාලතම ලියෝන් ගුවන් තොටුපොළ පුද්ගලීයකරනය කරමින් ප‍්‍රංශ සමාගමක් වන වින්සි (Vinci) සමාගමට 50%ක්ද රාජ්‍ය භාණ්ඩාගාර තැන්පතුව හා ක්‍රෙඩිට් ඇග‍්‍රිකෝල් වානිජ බැංකුව (Credit Agricole) එකතුව ගොඩ නැගූ ප්‍රෙඩිකා (Predica) නම් සමාගම 50%ක්ද ලෙස කොටස් බෙදාා ගනිමින් කළමනාකරණයට එකතුවී සිටිති.   


නිරිත දිග ප‍්‍රංශයේ පිහිටි ලෝකයේ විශාලතම එයාර් බස් (Airbus) ගුවන් යානා නිෂ්පාදන සමාගමට සමාන්තරව පිහිටමින් ක‍්‍රියාත්මක වසරකට ලක්ෂ 75ක් මගීන් ගමන් කරන ප‍්‍රංශයේ පස්වැනි විශාලතම තුලූස් ගුවන් තොටුපොළ කැසිල් යුරොප් (Casil Europe) නම් චීන සමාගමකට 49.9% කොටස් පවරා ඇත්තේය. මෙයින් ලබා ගත් මුදල් ප‍්‍රංශයේ රාජ්‍ය අයවැය පරතරය අවම කිරීම සඳහා යොදාා ගන්නා අතරම ඉන් ඉදිරියට යමින් නව ප‍්‍රංශ රජය විසින් ප‍්‍රංශයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළවල් දෙකම පුද්ගලීකරණයට ඇවැසි කටයුතු සුදාානම් කරමින් සිටී.   


ඒ අනුව වසරකට මගීන් ලක්ෂ 657ක් ගමන් ගන්නා යුරෝපයේ දෙවැනි කාර්්‍ය බහුල හා ප‍්‍රංශයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ වන පැරීසියට නුදුරින් පිහිටි චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපොළ (Charles de gaulle air port) හා වසරකට මගීන් ලක්ෂ 300ක් පමණ ගමන් කරන ප‍්‍රංශයේ දෙවැනි ප‍්‍රධාන ඔරලි ගුවන් තොටුපොළද (Orly air port) පුද්ගලීයකරණයට අවශ්‍ය ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ කැබිනට් අනුමැතිය පසුගිය සතියේදී ලැබුණෙය. ඒ අනුව ප‍්‍රංශ ජාතික ඩොමිනික් සෙනෙකූවේ මහත්මිය සභාපති තනතුර දරන ප‍්‍රංශ ජාතික ආර්ඩියන් (Ardain) සමාගම, වින්සි (Vinci) සමාගම, බීඑන්පී වාණිජ බැංකුව (BNP) , හා ඇමෙරිකානු ජාතික ගෝල්ඞ්මෑන් සචේ (Goldman sachs) සමාගම් අතරින් කෙනෙකු හෝ පිරිසක් ඉදිරියේදී එම ගුවන් තොටුපොළවල් දෙකේ කළමනාකරණය භාර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත්තේය.   


ඉහත විස්තර කිරීමට සාපේක්ෂකව රටක ප‍්‍රධාන මරමස්ථානයක් වන ගුවන් තොටුපොළක් පුද්ගලීයකරණය කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් එය ආරක්ෂා කර ගැනීමේ වගකීම ප‍්‍රංශ රජය යටතේම පවත්වා ගනී. කෙසේ නමුදු ප‍්‍රංශයේ සිදුවෙන ඉහත ආයතන පුද්ගලීයකරණයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ඇණ කොටා ගැනීම්, මහපාරේ උද්ඝෝෂණ හෝ කිසිම වැඩ වර්ජනයක් නොතිබීම හෝ නොපැවැත්වීම විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු අතර කර වටක් ණය බරින් ගිලෙමින් හිරවී සිටින කිසිම පලදායි නිෂ්පාදනයක් සිදු නොවෙන ශ්‍රීලංකාව එයින් මිදීමට පාඩු ලබන ආයතන පුද්ගලීයකරණය තෝරා ගත් විට චීන ආකෘතිය ආදර්ශයට ගන්නා විශේෂයෙන් ජවිපේ ප‍්‍රමුඛ සමහර කොටස් උද්ඝෝෂණය කරමින් මහපාරේ කෑකෝ ගැසීම තේරුම් කර ගත යුත්තේ කුමන ආකරයටද යන්න 21 වැනි සියවසේ දූපත් මානසිකත්වයෙන් ජීවත් වෙන මුතු ඇටයේ වාසීන් එයින් මිදී නව ලෝකය සමඟ ජීවත් වෙන බුද්ධිමත් ජනතාවක් ලෙස අවබෝධ කර ගැනීමට මෙය සුදුසුම කාලය බව මතක් කර දීම යෝග්‍යවේ.   


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට