මොනාලිසාගේ ගුප්ත රුව දැකගන්නට කලින් දින වෙන්කරවා ගත යුතුයි


ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් ක්‍රි. ව. 1503 දී සිතුවම් කරනු ලදුව, 1516 දී එවකට ප්‍රංශයේ සිංහාසනාරූඪව සිටි පළමුවැනි ෆ්‍රෑන්සිස් රජතුමාට තවත් චිත්‍ර කීපයක් සමඟ අලෙවි කරන ලද, එතැන් පටන් මොනාලීසා නමින් ප්‍රසිද්ධියට පත් සෙන්ටි මීටර හැත්තෑතුනක් උස සහ සෙන්ටි මීටර පනස්තුනක් පළල චිත්‍රය, දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ දැඩි තාක්ෂණික මුරකාවල් මැද මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. සාමාන්‍ය දිනකට මෙම චිත්‍රය දැකබලාගැනීම සඳහා තිස්දහසකට අධික පිරිසක් පැමිණෙන බව එම කෞතුකාගාර අධිකාරිය කියයි. එහෙත් සංචාරක සෘතුවේදී මෙම පිරිස මීට වඩා බොහෝසේ වැඩිවෙන බව ද ඔවුහු වැඩි දුරටත් කියති. 


මොනාලිසා චිත්‍රය දැකගැනීම සඳහා පෝලිම් ගැසී සිටින පිරිසට චිත්‍රය කරා ළඟාවීමට තව කෙතරම් කාලයක් ගතවේද යන්න ඩිජිටල් දර්ශන පුවරුවලින් පෙන්නුම් කරනු ලැබේ. සාමාන්‍ය වශයෙන් මෙම චිත්‍රය දැකගැනීම සඳහා විනාඩි තිහක් වැනි කාලයක් පෝලිමේ සිටිය යුතු වුවද, පසුගිය ජූලි මස මොනාලිසා දැකගැනීම සඳහා පැය දෙකකට වැඩි වේලාවක් පෝලිමේ සිටීමට සිදුවූ බව ද වාර්තා වේ. බොහෝ වේලා පෝලිමේ ගතකළ ද, මොනාලිසා චිත්‍රය අසල නරඹන්නෙකුට විනාඩි දෙකකට තුනකට වැඩි කාලයක් ගතකිරීමට බලධාරීන් ඉඩ දෙන්නේ නැත. 


මේ වසරේ ග්‍රීස්ම සෘතුවේ ලූවර් කෞතුකාගාරය නැරඹීම සඳහා අති විශාල ජනකායක් ඇදී ආ බැවින් නියමිත ශාලාවේ වූ ඇතිවූ තදබදය හේතුවෙන්, ජූලි මස ඇතැම් දිනෙක නියමිත වේලාවට කලින් කෞතුකාගාරයට ඇතුළුවීමේ දොරටු වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. 2018 වසරේ අවසරපත් සහිතව ලූවර් කෞතුකාගාරය නැරඹූ පිරිස මිලියන දහයක් වූ බව වාර්තා වේ. 


මොනාලිසා චිත්‍රය දැකගැනීම සඳහා ලූවර් කෞතුකාගාරයට පැමිණෙන පිරිස අපහසුතාවට පත්කිරීම වැළකීමේ පළමු පියවර ලෙස, ලබන වසරේ සිට එම චිත්‍රය ප්‍රදර්ශනයට තබා ඇති ශාලාවට පිවිසීම සඳහා නරඹන්නන්ට කලින් දින වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලූවර් අධිකාරිය තීරණය කර ඇත. 


ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එවකට සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ඇණවුම මත, 1503 දී අඳින ලද ඔහුගේ බිරිඳ වූ ලීසා ගෙරර්දීනීගේ සිතුවමට එහි නිමැවුම්කරු වූ ලෙනාඩෝ ඩා වින්චි විසින් දී තිබුණු නම වූයේ ජොකොන්ඩා ය. 1503 දී අඳින ලද මෙම සිතුවම ප්‍රංශයේදී පළමැවැනි ෆ්‍රෑන්සිස් රජතුමාට තවත් සිතුවම් කීපයක් සමඟ 1516 දී විකුණා දමනතුරු ලෙනාඩෝ ඩා වින්චි අත තිබීමෙන්, සිතුවම ලීසා ගෙරර්දීනිගේ රූ ප්‍රකාර නොවෙන්නට ඇති බැවින් එය ඇණවුම් කළ ව්‍යාපාරිකයා විසින් සිතුවම භාරනොගන්නට ඇති බව ඇතැමෙකුගේ මතයයි. මුල් සිතුවම පසු අවස්ථා කීපයකදීම ලොනාඩෝ ඩා වින්චි විසින් වෙනස්කම් කීපයකට භාජනය කර ඇති බව සිතුවම පිළිබඳව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිවී ඇත. එබැවින් අද මොනාලිසා ලෙස නරඹන්නා දකින්නේ 1503 ෆිරෙන්සියේ විසූ ලීසා ගෙරර්දීනිම ද යන්න සැකයකි. 

 

ලූවර්  කෞතුකාගාරයට ඇතුළු වීමට පෙළ සැදී සිටින සංචාරකයින්

මෝනාලිසා චිත්‍රය නරඹන පිරිස ආරක්ෂක කුටිය ඉදිරිපිට

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.