මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව රෝමයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති


 

පසුගිය පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල කීපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරත් සමගම කරළියට පැමිණ, දැනට අනාවරණය වෙමින් ඇති මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය හෙළා දකිමින්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ජුනි මස පළමුවැනිදා රෝමයේ මහජන චතුරශ්‍රයේ දී (පිඅට්සා දෙල් පෝපොලෝ) සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වූහ. ඉතාලි ආරක්ෂක අංශ විසින් සපයන ලද දැඩි ආරක්ෂාව යටතේ පැවැත්වුණු මෙම උද්ඝෝෂණයට, රෝමයේ සහ තදාසන්න ප්‍රදේශවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ජාති ආගම් භේදයකින් තොරව සහභාගී වූහ. 


රෝමයේ මහජන චතුරශ්‍රය යනු දේශීය මෙන් ම විදේශීය සංචාරකයෝ ද බහුලව ගැවසෙන ස්ථානයකි. මෙහි උපරිම පළ නෙළාගත් උද්ඝෝෂණ සංවිධාකයෝ සිංහලට අමතරව ඉංග්‍රීසියෙන් සහ ඉතාලි බසින් ද මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ලියන ලද බැනර් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් විපතට පත් ජනතාව සහ විනාශයට පත් කතෝලික දේවස්ථාන ද පෙන්නුම් කරන ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය පිළිබඳව ජාත්‍යන්තරය වඩාත් දැනුම්වත් කළහ. 


මෙම උද්ඝෝෂණයේ දී මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා පමණක් නොව, එම ක්‍රියාවන්ට අතකොළුවක් බඳු වූ ශ්‍රී ලංකා රජයේ උදාසීන ත්‍රස්ත මර්දන ක්‍රියාකලාපය ද දැඩි හෙළාදැකීමකට ලක් විය. 


පාස්කු ඉරිදා මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරවලින් මියගියවුන් සිහි කරමින් ඔවුන් වෙනුවෙන් ඉටි පහන් පූජාවක් ද උද්ඝෝෂණය අවසානයේ දී පැවැත් වූහ. 


උද්ඝෝෂණය සඳහා රෝම නගර සභාවෙන් ලබාගත යුතු අවසරය නිකුත්කිරීම ප්‍රමාද වූවා මිස, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට එරෙහිව වීදි බැසීමට රෝමයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය වූයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රහාර එල්ල වූ පාස්කු ඉරිදාට පසුදින මය. 


මෙම උද්ඝෝෂණයේ අවස්ථාවන් කීපයක් ඡායාරූපවලින් දැක්වේ. 

 

 

 


ගැස්කොන් ලාසරස්. 
රෝමය, ඉතාලිය.