මීට වසර හතළිස් දෙකකට පෙර ඊශ්‍රායලය තම වැඩ පෙන්වූ ඔපරේෂන් තන්ඩර්බෝල්ට්


වීරයන් පිළිබඳව කිසිවෙකු කියන්නේ නම් හෝ ලියන්නේ නම් හෝ මේ එතැන සඳහන් විය යුතුම කතාවකි. සැතපුම් හාරදහසක් පමණ දුර සතුරු බිමකට හොර රහසේ වැදී, විනාඩියකට එකා පමණ වෙන සේ සතුරා මරාදමා, ජීවිත එකසිය හයක් බේරා ගැනීමේ මෙහෙයුමක් සටන් බිමේ දී විනාඩි පනස් පහකින් නිමා කළ හැකිවේ නම්, ඒ සැබෑ වීරයන්ට පමණි.   


මෙම ක‍්‍රියාන්විතයේ දී කණ්ඩායමේ අණදුන් නිලධාරියා සතුරු වෙඩි පහරකින් මරුමුවට පත් වූ බව කීව ද, එය ද එසේ සිදු නොවුනා යයි කියන්නෝ ද වෙති. මෙය සිදුවී පසුගිය ජූලි මස තුන් වැනිදා රාත‍්‍රියට හරියටම වසර හතළිස් දෙකකි. මේ කතාවේ සමහරකු අද ජීවතුන් අතර නැත. ඇතැමෙකු තවමත් ජීවතුන් අතර ය. මේ ඔවුන් සියල්ලන්ගේම කතාවයි.   


දිනය 1976 ජුනි මස විසිහත්වැනිදා ය. ඊශ්‍රායලයේ ටෙල් අවිව් ගුවන්තොටුපොළින් පිටත්ව ප‍්‍රංශයේ පැරිස් නුවර බලා යමින් තිබුණු ප‍්‍රංශ ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ තුන්සීය වර්ගයට අයත් ගුවන් ගමන් අංක 139 දරන ගුවන් යානය, අතරමග නැවතුම්පොළක් ලෙස ග‍්‍රීසියේ ඇතෑන්ස් ගුවන් තොටුපොළට ළඟාවිය. එතැන දී පැරිසිය බලා යන තවත් ගුවන් මගීන් පනස් අටදෙනෙකු නංවාගත් ගුවන් යානය දහවල දොළහයි තිහට යළි ගුවන්ගත වූයේ පැරිසිය ඊළග ගමනාන්තය ලෙස සලකාය. යානය ගුවන්ගතවී ගෙවී ගියේ විනාඩි පහළොවක් පමණි. ප‍්‍රංශ ගුවන් යානය ඇතෑන්ස් පාලන කුලුනේ සංඥා සබඳතාවන් මිදී ගියේය. මේ වෙන විට ගුවන් යානය තුළ මගීන් දෙසිය හතළිස් අටදෙනෙකු ද, ගුවන් යානා කාර්යය මණ්ඩලය දොළොස් දෙනෙකු ද වූහ.   


ප‍්‍රංශ ගුවන් යානය පාලන කුලුනු සංඥවෙන් මිදුණු තැන් පටන් සියල්ලෝම සිතුවේ එය කිසියම් අනතුරකට පත්වෙන්නට ඇති බව ය. හදිසි ආපදා කළමනාකරණය ක‍්‍රියාත්මක වූයේ ඒ ඔස්සේ ය.   


ප‍්‍රංශ ගුවන් යානය ඇතෑන්ස් ගුවන් තොටුපළෙන් පිටත්ව විනාඩි පහළොවකදී ගුවන් මගීන් අතර සිටි සිව් දෙනෙකු ආයුධ සන්නද්ධව නැගී සිට යානයේ පාලනය තමන් අතට ගත්හ. මෙම කොල්ලකරුවන්ගෙන් දෙදෙනකු පලස්තීන ත‍්‍රස්තවාදීන් බව ද අනෙක් දෙදෙනා අන්තවාදී දේශපාලන මත දරන ජර්මන් ජාතික ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු බව ද පසුව හෙළි විය. කොල්ලකාගත් ගුවන්යානය පලස්තීන නායක ත‍්‍රස්තවාදියාගේ අනින් ඉන්ධන පුරවාගැනීම සඳහා ලිබියාවේ බෙන්ගාසි ගුවන් තොටුපොළට ගොඩබැසීය. මේ සඳහා එවකට ලිබියානු පාලකයා වූ කර්නල් ගඩාෆිගේ අතින් අවසරය ලැබී තිබුණි.   


ත‍්‍රස්ත ආක‍්‍රමණයෙන් ගුවන්යානය තුළ දී භීතියට පත්ව රෝගාතුර වූ ඉංග‍්‍රිසි ජාතික ගැබ්බර කාන්තාවක, ලිබියාවේ දී ත‍්‍රස්තවාදීන් විසින් නිදහස් කරන ලදී. ලිබියාවෙන් ඉන්ධන පුරවාගත් ප‍්‍රංශ ගුවන් යානය උගන්ඩාවේ එන්ටේබේ ගුවන්තොටුපොළට ගෙන යන ලෙස පලස්තීන ත‍්‍රස්තවාදී නායකයා ගුවන්යානයේ කපිතාන්වරයාට නියම කළේය. ත‍්‍රස්ත අණට කීකරුවීම හැර කළ හැකි කිසිවක් ගුවන් යානයේ කපිතාන්වරයාට තිබුණේ නැත. ජුනි මස විසි අට වැනිදා අලුයම තුනයි පහළොවට ප‍්‍රංශ ගුවන් යානය උගන්ඩාවේ එන්ටේබේ ගුවන් පථයට පහත් කෙරුණි. එතැන දී පලස්තීන ත‍්‍රස්තවාදීන් තවත් හතරදෙනෙකු ගුවන්යානය පැහැරගත්ත උන්ට එකතු වූහ.   
පලස්තීන ත‍්‍රස්තවාදී නායකයා උගන්ඩාවේ දී ඊශ්‍රායලය ඇමතීය. ප‍්‍රංශ ගුවන් යානය තමන් විසින් කොල්ලකෑ බව ද, මගීන් සියලු දෙන ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගන්නා බව ද, සියල්ල නිදහස් කිරීම සඳහා මුදලින් ඩොලර් මිලියන පහක් ද, ඊශ්‍රායලයේ සිරගතව සිටින පලස්තීන ත‍්‍රස්තවාදීන් හතළිස්දෙනා සහ ප‍්‍රංශය ජර්මනිය ස්විට්සර්ලන්තය හා කෙන්යාවේ ද සිරගතකර සිටින පලස්තීන ත‍්‍රස්තවාදීන් දහතුන් දෙනා නිදහස් කරන ලෙස ද, පලස්තීන ත‍්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට දන්වන ලදී. මේ ඉල්ලීම් සියල්ල ජූලි මස පළමුවැනිදා පස්වරු දෙකට පෙර ලබා නොදෙන්නේ නම්, ප‍්‍රාණ ඇපකරුවන් කණ්ඩායම් වශයෙන් මරා දමන බවට ද ත‍්‍රස්තවාදීහු ඊශ්‍රායලයට තර්ජන කළහ.   


ආරවුල පැවතියේ පලස්තීනය හා ඊශ්‍රායලය අතර ය. ප‍්‍රංශ ගුවන්යානය තුළ සිටි මගීන්ගෙන් 148ක් මඊශ්‍රායල් පුරවැසියෝ වූහ. පලස්තීන ත‍්‍රස්ත තර්ජනය හමුවේ ඊශ්‍රායලය පමණක් නොව මුළු ලොවම භීතියට පත්විය. මිනීමස් කන්නා ලෙස විරුදාවලිය ලබා සිටි උගන්ඩාවේ ආඥාදායකයා වූ ඉඩි අමින්ගේ පූර්ණ සහයෝගය පලස්තීන ත‍්‍රස්තවාදීන්ට ලැබී තිබුණි. පලස්තීන ත‍්‍රස්තයන්ට ආරක්ෂාව සැපයීම සඳහා උගන්ඩා සොල්දාදුවන් එන්ටේබ් ගුවන් තොටුපොළ අවට මුරකාවල යෙදවූවේ ඉඩි අමින් ය. ප‍්‍රාණ ඇපකරුවන් බැලීමට ගොස් පලස්තීන ත‍්‍රස්ත සටන සාධාරණීය කිරීම සඳහා යමක් කීම ද ඒ දිනවල ඉඩි අමින් සිරිතක් කරගෙන තිබුණි. තත්ත්වය වඩාත් සංකීර්ණ කරන ලද්දේ මෙයයි.   


අත්අඩංගුවේ සිටින පලස්තීන ත‍්‍රස්තවාදීන් නිදහස් කිරීම ඊශ්‍රායලය වහාම ප‍්‍රතික්ෂේප කළේය. යුදමය අවි ආයුධ හා ප‍්‍රහාරක ගුවන් යානා ගනුදෙනු මත ඊශ්‍රායලය හා ඉඩි අමින් අතර පැරණි සබඳතා විය. ඒවා අලුත් කරගනිමින් සිද්ධිය ගොඩින් බේරා ගැනීම සඳහා ඊශ්‍රායලය ඉඩි අමින් මැදහත්කරුවකු ලෙස යොදාගැනීමට උත්සහ කළද, ඔහු පලස්තීන ත‍්‍රස්තයන් සමග සිටීමට වැඩි කැමැත්තක් දැක්වීය.   

 


1976 ජූනි මස විසිනවවැනි දින ඊශ්‍රායල් පුරවැසියන් හැර අනෙකුත් සියලුම ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පලස්තීන ත‍්‍රස්තයෝ තීරණය කළහ. එහෙත් ගුවන් යානයේ කපිතාන්වරයා වූ ප‍්‍රංශ ජාතික මිෂෙල් බෝකෝස් කීවේ තමන් පිටව යන්නේ ගුවන් මගින් තමන් ගෙන ආ අවසන් මගියාත් නිදහස්ව පිටවූ පසුව බව ය. ප‍්‍රංශ ගුවන්යානා කාර්යය මණ්ඩලයේ අනෙකුත් සියලු දෙනා ද කපිතාන්වරයා හැර යාමට අකමැති වූහ. ප‍්‍රංශ ජාතික කතෝලික කන්‍යා සොහොයුරියක තමන් වෙනුවෙන් වෙනත් ප‍්‍රාණඇපරුවකු නිදහස්කර තමන් රඳවාගන්නා ලෙස අයැ ද සිටිය ද, ඇය බලහත්කාරයෙන් පිටමං කරන ලදී. නිදහස් කරන ලද ගුවන් මගීන් වෙනත් ප‍්‍රංශ ගුවන්යානයක් මගින් වහාම ඉවත්කරගන්නා ලදී.   


රඳවාගන්නා ලද ඊශ්‍රායල් ජාතික ප‍්‍රාණ ඇපකරුවන් සමග ප‍්‍රංශ ගුවන් යානා කාර්යය මණ්ඩලය ද ගුවන් තොටුපොළ වෙනත් පර්යන්තයක ගාල් කළ පලස්තීන ත‍්‍රස්තයෝ, තම ඉල්ලීම් ලබාදීම සඳහා දී තිබුණු කාලය තවත් දින තුනකින් දිගු කළහ. මේ අතර තැතිගැන්ම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුරවූ ප‍්‍රාණඇපකාරියක ප‍්‍රතිකාර සඳහා නගරයේ රෝහලක් වෙත යවන ලදී.   


අතරමැදියන් හා තානාපති මැදහත්වීම් මගින් විසඳුමක් සෙවීම අතරතුරදීම   ඊශ්‍රායල් බලධාරීහු වෙනත් මැදහත්වීමක් පිළිබඳව ද අධ්‍යනය කරමින් සිටියහ. එන්ටේබ් ගුවන්තොටුපොළ ගොඩනැගීමේ කටයුතු ඊශ්‍රායල් සමාගමක් විසින් කර තිබුණු බැවින් ගුවන්තොටුපොළ සියලුම පිඹුරුපත් ඊශ්‍රායලය සතුව තිබුණි.   


1976 ජුලි මස තුන්වැනිදා මධ්‍යහ්නය වෙන විට ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් ගුවන්යානා කීපයක් දිගු ගමනක් යාම සඳහා ටෙල් අවිව් හමුදා ගුවන් පථයේ සූදානම්ව තිබුණි. ඒ අතර සී එකසිය තිහ හර්කියුලීස් වර්ගයට අයත් යානා හතරක් විය. අනෙක් ගුවන්යානා දෙකින් එකක් හදිසි පණිවිඩ හුවමාරු පහසුකම් ඇති පාලන මැදිරියක් වූ අතර, අනෙක හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පියාඹන රෝහලක් විය.   


ජූලි මස තුනිවැනිදා පස්වරු එකයි විස්සට ටෙල් අවිව් හමුදා ගුවන් පථයෙන් අහසට නැගුණු හර්කියුලීස් වර්ගයට අයත් ගුවන් යානය තුළ ඊශ්‍රායල් හමුදාවේ අති දක්ෂ කොමාන්ඩෝ භටයින් විසිනවදෙනෙකු ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සුදුසු අන්දමින් සන්නද්ධව සිටියහ. ඔවුන් අත එන්ටේබ් ප‍්‍රාණඇපකරුවන් යටත්කරගෙන සිටි පලස්තීන හා ජර්මන් ත‍්‍රස්තවාදීන්ගේ ඡායාරූප විය. ඊශ්‍රායල් මොසාඩ් රහස් ඔත්තු සේවයේ කීපදෙනෙකු ද එම ගුවන් යානයේ සිටි බව ද කියැවේ. එම යානය තුළ මර්සිඩිස් බෙන්ස් වර්ගයේ නවීන මෝටර් රථයක් ද, ලෑන්ඩ් රෝ්වර් වර්ගයට අයත් ජිප් රථ කීපයක් ද විය. එම ගුවන් යානයේ ගමනාන්තය වූයේ උගන්ඩාවේ එන්ටේබ් ගුවන් තොටුපොළ ය. ඊට මද වේලාවකට පසුව හර්කියුලීස් වර්ගයට අයත් අනෙකුත් ගුවන්යානා තුන ද එම මගට ම පිළිපන්හ. එම යානා තුළ තවත් කොමාන්ඩෝ භටයින් මෙන් ම මහා විනාශයක් කළහැකි යුද ටැංකි කීපයක් ද විය. පියාඹන රෝහලේ සහ පාලන මැදිරියේ ගමන් මග ඊට වඩා වෙනස් විය. උගන්ඩාවට මායිම් රටක් වෙන කෙන්යාවේ නයිරෝබි ගුවන්තොට එම යානා දෙකේ ගමනාන්තය විය. හමුදාමය මෙහෙයුම සඳහා ඊශ්‍රායල් කැබිනට් අනුමැතිය ලැබෙන විට, කොමාන්ඩෝ භට පිරිස් රැගත් යානා ගමනේ මගක් ගොස් හමාරය. මෙම මෙහෙයුම ඔපරේෂන් තන්ඩර් බෝල්ට් නමින් හැඳින්විය.   


ජූලි මස තුන් වැනිදා රාත‍්‍රී එකොළහට පමණ ඉඩි අමින්ගේ නිල රථයට සමාන මර්සිඩිස් බෙන්ස් වර්ගයට අයත් කළු පැහැ මෝටර් රථයක් ජිප්රථ කීපයක් ද පිරිවරාගෙන එන්ටේබ් ගුවන් තොටුපොළ ධාවන පථයේ කොනකින් මතුවිය. ඒ අසලම නවතා තිබුණු හර්කියුලීස් වර්ගයට අයත් ගුවන් යානය අඳුරේම හඬක් නොනගාම එතැනට පැමිණියේ කෙසේදැයි කිසිවකු දැන සිටියේ නැත. රථ පෙරහැර ගුවන් තොටුපොළ පර්යන්තය කරා ළඟාවෙමින් තිබුණි. පලස්තීන ත‍්‍රස්තයන්ට සහය පිණිස එන්ටේ​ෙබ් ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව සඳහා රඳවා සිටි උගන්ඩා සෙබළුන් දුර දී සිතුවේ ඉඩි අමින් හදිසි සංචාරයක් සඳහා එමින් සිටින බව ය. එහෙත් රථ පෙළ ආසන්න වෙත්ම ඔවුන්ට යම් කිසිවක් තේරුම් ගියේය. ඉඩි අමින් ඊට දින දෙකකට පෙර තම නිල රථය මර්ස්ඩිස් බෙන්ස් වර්ගයේම සුදු පැහැ රථයකට මාරුකර තිබුණු බව උගන්ඩා භටයෝ දැන සිටියහ. එහෙත් ඒ බව ඊශ්‍රායල් හමුදාවෝ දැන සිටියේ නැත. රථ පෙළ වහාම නතර කරන ලෙස උගන්ඩා සෙබළුන් අණ දුන්නා පමණි. ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයෝ ඔවුන් සියල්ල මරා දැමූහ. 

 
මෙය ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා කරනු ලබන මෙහෙයුමකි, වහාම බිම දිගාවෙන්න යනුවෙන් හීබෘ බසින් කෑගසමින් ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයෝ ප‍්‍රණඇපකරුවන් රඳවා සිටි ගුවන්තොටුපොළ පර්යන්තයට කඩා වැදුණහ. එතැන සිටි ත‍්‍රස්තවාදීන් අවි එසවීමටත් කලින්ම වෙඩි කා මැරී වැටුණහ. ප‍්‍රාණ ඇපකරුවන් අතර සිටි වයස අවුරුදු දහනවයක තරුණයකු කලබලයට පත්ව දෙපයින් නැගී සිටීම හේතුවෙන් ත‍්‍රස්තවාදියකු යයි වරදවා තේරුම්ගෙන ඔහු ද වෙඩි තබා මරා දමන ලදී. ඊළඟ කුටියකට කඩා වැදුණු ඊශ්‍රායල් භටයෝ එතැන සිටි තවත් පලස්තීන ත‍්‍රස්තවාදීන් හතර දෙනෙකු මරා දැමූහ.   

 


මේ සියල්ල මෙසේ සිදුවෙන අතර ටෙල් අවිව් සිට පිටත්වූ හර්කියුලීස් වර්ගයට අයත් ඉතිරි ගුවන් යානා තුන ද එන්ටේ​ෙබ් ගුවන් පථයට ගොඩබා තිබුණි. මේ යානා තුළ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා තවත් කොමාන්ඩෝ භට පිරිසක් ද, මහා විනාශයක් කළ හැකි කුඩා යුද ටැංකි කීපයක් ද විය. සැලසුමේ ඊළඟ පියවර වූයේ මුදාගත් ප‍්‍රාණ ඇපකරුවන් හර්කියුලීස් යානාවලට පටවාගෙන වහාම පිටත්වීම ය.   


ගුවන් යානාවලට නැග ගැනීම සඳහා මුදාගත් ප‍්‍රාණඇපකරුවන් ඔවුන් රඳවා සිටි පර්යන්තයෙන් පිටතට එමින් සිටියහ. ගුවන් තොටුපොළ පැරණි පාලන කුලුන මත රැකවලේ සිටි උගන්ඩා සොල්දාදුවෝ පිරිසට වෙඩි තබන්නට වූහ. මෙම වෙඩි හුවමාරුවේ දී මුදාගත් පනස්හය හැවිරිදී ප‍්‍රාණඇපරුවකු හා පනස්දෙහැවිරිදී කාන්තාවක ද වෙඩි වැදී මියගියහ. ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයෝ පැරණි පාලන කුලුන සහමුලින්ම විනාශකර දැමූහ.   
එන්ටේ​ෙබ් ගුවන් පථයට පසුව පැමිණි හර්කියුලීස් යානාවලින් ගෙනඑන ලද යුදටැංකි යොදාගනිමින්, ගුවන් තොටුපොළේ ගාල්කර තිබුණු ලුහුබැඳ පහරදීමක් සඳහා යොදාගත හැකියයි සිතූ මිග් වර්ගයට අයත් ප‍්‍රහාරක ගුවන් යානා කීපයක් ද විනාශ කර දැමූහ. මුදාගත් ප‍්‍රාණ ඇපකරුවන් සහිත යානා මුලින්ම ඉන්ධන පුරවා ගැනීම සඳහා කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපොළට ද, ඉන්පසුව ඊශ‍්‍රායෙලයේ ටෙල් අවිව් බලා ද පිටත්විය.   
මුල්ම හර්කියුලීස් යානය එන්ටේ​ෙබ් ගුවන් පථයට ගොඩබැසි තැන් සිට මුදාගත් ප‍්‍රාණ ඇපකරුවන් සහිත අවසන් ගුවන් යානය එන්ටේ​ෙබ් ගුවන් පථයෙන් අහසට නගින තැන දක්වා මුළු ක‍්‍රියාන්විතය සඳහා ගතවී තිබුණේ විනාඩි පනස්පහක කාලයක් පමණි. ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයින් විසින් ත‍්‍රස්තවාදීන් හයදෙනෙකු මරාදමා තිබුණි. තවත් ත‍්‍රස්තවාදීන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊශ‍්‍රායලයට රැගෙන ආ බව කීවද, මේ පිළිබඳව කිසිම නිල නිවේදනයක් ප‍්‍රකාශයට පත්වූවේ නැත. උගන්ඩා සොල්දාදුවන් හතළිස්පහක් පමණ මෙම සටනේ දී මැරුම් කෑහ. ප‍්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු මියගිය අතර, ඉන් එක් අයෙකු ඉශ‍්‍රායෙල් හමුදාව අතින් ත‍්‍රස්තවාදියකු ලෙස වරදවා වටහාගෙන වෙඩි කෑ තරුණයාය. ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයෝ පස්දෙනෙකු බරපතළ තුවාල ලද අතර, සොරීන් හර්ෂ්කෝ නම් භටයා සදාකාලික ආබාධිතයකු බවට පත්විය.   


අණදෙන නිලධාරියා ලෙස ක‍්‍රියාන්විතය මෙහෙය වූ යොනතන් නතන්යාහූ එන්ටේ​ෙබ් පැරණි පාලන කුලුනේ සිට උගන්ඩා භටයකු විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය බව ප‍්‍රකාශ වුවද, එය එසේ නොවුණු බව කියන්නෝ ද වෙති. ඔවුන්ගේ මතය වෙන්නේ ආරක්ෂක හේතූන් මත ඊශ‍්‍රායලය එවැනි ප‍්‍රකාශයක් කරන්නට ඇති බව ය. යොනතන් නතන්යාහු වර්තමාන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නතන්යාහුගේ සොහොයුරා ය. එන්ටේ​ෙබ් මෙහෙයුමෙන් වසරක් ගතවීමටත් පෙර ඒ සිද්ධිය පාදක කරගනිමින් චිත‍්‍රපට පහක් පමණ නිෂ්පාදනය විය. එම ක‍්‍රියාන්විතය පිළිබඳව පොත් පනහක් පමණ ලියැවී ඇත.   


රෝගාතුරවී රොහල්ගත කර සිටි වයස අවුරුදු හැත්තෑ පහක් වූ ඩෝරා බ්ලොච් නම් වූ ප‍්‍රාණ ඇපකාරිය, තන්ඩර් බෝල්ට් මෙහෙයුමෙන් පසුව ඉඩි අමින්ගේ නියෝගයට අනුව, උගන්ඩා හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් රෝහලින් පිටතට ගෙන ගොස් වෙඩිතබා මරාදමන ලද බව 1987 දී හෙළි විය.   


ක‍්‍රියාන්විතය මෙහෙය වූ යොනතන් නතන්යාහූ හා මෙම කතාව නිමිත්තක් ලෙස ගෙන කෙරුණු චිත‍්‍රපටයකින් උපුටාගන්නා ලද අවස්ථාවන් කීපයක් ඡායාරූපවලින් දැක්වේ.   

 

 

 


ගැස්කොන් ලාසරස්   
රෝමය, ඉතාලිය.