මැදපෙරදිග රැකියාවට යන කතුන්ට උපදෙස් මාලාවක්


 

අපට බොහෝවිට දකින්නට ලැබෙන්නේ, පුවත්පත් මගින්, මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන්ට විඳින්නට සිදුවන නොයෙක් කරදර අඳෝනාවන් සහ තානාපති කාර්යාලවලින් නිසි ලෙස සේවය නොලැබෙන පුවත් පමණකි. නමුත් මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ ඊට හාත්පසින්ම වෙනත් අදහසකි.   


විශේෂයෙන් බිරිඳ රට එවා ජීවත්වෙන ස්වාමිපුරුෂයන්ට සහ අලුතින් රට රැකියාවකට ඒමට සැරසෙන ගම්බද අහිංසක කාන්තාවන්ට දැන ගැනීම පිණිසයි. අද මැදපෙරදිග රැකියාව කරන කාන්තාවන් අතර වැඩි කොටසක් සේවය කරන්නේ, ඇඟලුම් ආයතන, රෝහල් පාසැල් ගුවන්තොටුපල ආදී ස්ථාන පිරිසිදු කරන්නියන් වශයෙනි. ඔවුන්ගේ සේවා කාලය පැය 8 කට සීමාවූවකි. වැටුප ඉතාම ඉහළ මට්ටමක තිබෙන ආයතනයක වුවත් එම මුදලින් තමන්ට අවශ්‍ය මූලික දේවල්වලට සහ තමන්ගේ ගෙදරට වැය කළ පසු විශාල මුදලක් ඔවුන්ට ඉතිරි කළ නොහැකිය. එයයි ඇත්ත තත්ත්වය. 


එනිසා වර්තමානයේ බොහෝ කාන්තාවන් අතර මුදල් පසුපස හඹායාමේ තරගයක් ඇතිවෙලා තියෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ ඉතාම නින්දිත යයි සැලකෙන ඉතාම පහසුයි කියල හිතන ගණිකා වෘත්තියයි. 
එයට එම නම හැර වෙනත් නම් මෙහි භාවිතා කරනු ඇත. මෙහි ඉතාම කණගාටුවට කරුණ නම් ඉතාම දුක් විඳින අමාරුවෙන් රැකියාව කරන්න ඉන්න අනිකුත් කාන්තාවනුත් මෙයින් ලැජ්ජාවට සහ අපකීර්තියට පත්වීමයි. 


විශේෂයෙන් අපේ පුවත්පත්වලින් අසන්නට ලැබෙනවා, අපගේ ගෘහ සේවිකාවන් හට එම ස්වාමිවරුන්ගෙන් නොයෙකුත් තාඩන, පීඩන, සිදුවෙනවා. ඒවා ගැන නිසි සොයා බැලීමක් රජයෙන් නැහැ. විදේශ විනිමය විශාල වශයෙන් ගලාගෙන එන මාර්ගයක්ය කියා. නමුත් අද වෙනතුරු මෙහි ඇති අභ්‍යන්තරය ගැන විවෘත අදහසක් පළ නොවූ නිසා සම්පූර්ණ ඇත්ත තත්ත්වය මා ලියන්න අදහස් කළා. 


මා මුලින්ම ඉල්ලා සිටින්නේ මෙනිසා යම් කෙනෙකුගේ සිත රිදෙනවා නම් සමාවෙන්න කියා. ඊට හේතුව මෙහි සිදුවෙන ඉතාම සත්‍යය තොරතුරුවලින් අල්පයක් පමණයි මා මෙහි සඳහන් කරන්නේ. මේ වන විට මැදපෙරදිග රටවල් කිහිපයක සේවය කළ නිසාත් මෙම තොරතුරු රැස්කිරීමට ඉතාම පහසු වුණි. 


දැනට මෙම තත්ත්වය ඉතාම භයානක ලෙස ව්‍යාප්ත වෙලා තිබෙන්නේ, කුවේට් සහ ඩුබායි යන රටවලය. නමුත් දැන් දැන් නීතිය අතින් ඉතාම ඉහළ යයි සැලකෙන සවුදි අරාබියාව දක්වා විහිදී ඇති බව දකින්නට ලැබෙනවා. ඒ බව අපට සිකුරාදා වැනි දවසක නගරයේ පැයක් පමණ ගත කළොත් දැකගන්නට හැකිය. 


විශේෂයෙන් මෙනිසා අප රට ගැන අසන්නට ලැබෙන එවන් ප‍්‍රචාරය නිසා ඉතාම අපහසුතාවයට පත්වීමට සිදුවීම කණගාටුවට කරුණකි. 


කුවේට් රටේ 50%ක් පමණ මෙම රැකියාව කරන බව සත්‍යයක්. කවුරු හරි තර්ක කළ හැක මෙය පේ‍්‍රමය කියා. නමුත් මෙහි ඇති පේ‍්‍රමයක් නැත. ගොඩාක් කාන්තාවන් විවාහ වී දරුවන් දෙතුන්දෙනා සිටින අම්මලාය. මොකක්ද එතන ඇති පේ‍්‍රමය? මෙය ගණිකා වෘත්තියයි. 


මේ සියලු දෙනාම පුද්ගලික නවාතැන් අරගෙන හතරපස්දෙනා එකතුව මෙම ක‍්‍රියාවේ යෙදෙනවා. ඒ සියලුම අයට ජංගම දුරකථනයක් තියෙනවා. රැකියාව පැය 8 යි. ඉන්පසු ඔවුන් නගරයට හෝ එසේත් නැතිනම් ඔවුන්ගේ සැමියා යයි (මෙහි හොර විවාහ සහතිකය ගත්) පැවසෙන බංගලිදේශ් ජාතිකයාව සමාජයට එවා ඔවුන්ගේ මිල ගණන් පවසා තම නවාතැනට රැගෙන යති. මේ සඳහා විශේෂයෙන් ඉන්දියා, නේපාල්, බංග්ලාදේශ් වැනි ජාතිකයින් සහ වෙනත් අරාබි ජාතිකයන් පෙළඹෙති. 


මිලෙන් ඉතාම අඩුයයි සැලකෙන ඩිනාර් 3ක් නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා ඉල්ලුම වැඩිය. එසේත් නැතිනම් ඔවුන්ම නගරයට පැමිණ තම දවසේ සහකරුවා තෝරාගනිති. මේ සියලුම දෙනාට බ්‍රෝකර් කෙනෙක් සිටිති. මෙයින් කොටසක් ඔහුටය. සමහර බ්‍රෝකර් අත නොයෙක් මිල ගණන්වල කාන්තාවන් ඇත. වැඩිම මිල පිලිපීන්, පිලිවෙලින් ඉන්දුනීසියා, නේපාල්, සුඩාන් සහ ලාබයටත් පහසුවටත් තෝරාගෙන තිබෙන්නේ ලංකාවේ අයයි. 


ඇත්ත වශයෙන්ම මෙවන් කාන්තාවන් මුලදී ටික දෙනෙක් සිටියත්, දැන් එය ඉතාම දරුණු ලෙස ව්‍යාප්ත වෙලා. ඊට හේතුව කොපමණ චරිතවත් කාන්තාවක් ආවත් ඇය අර වගේ කෙනෙක් සමග නගරයට ගියොත්, ඇයගේ යෙහෙළියවත් අර තත්ත්වයටම කෙසේ හෝ නම්මා ගන්නවා. බේරෙන්නේ කලාතුරකිනි. මුලදී පේ‍්‍රමය පවසා පසුව මාසයක වැටුප වැයකර විවාහ සහතිකයක් ලබාගෙන (ගණිකා බලපත‍්‍රය මෙනි) මෙම රැකියාවේ යෙදෙනවා. 


මේ සඳහා යොමු කරන ලංකාවේ සමහර ඇන්ටිලා සහ මාමාවරු සිටිනවා. මේ අය කරන්නේ තවත් භයානක රාජකාරියකි. රැකියාව, මත්පැන් වෙළඳාමය. ඊට අමතරව සුභසාධන වැඩක් ලෙස සලකා නගරයට පැමිණෙන ගෘහ සේවිකාවන් සමග කතා කර ඔවුනට සහනයක් ලබාදෙන මුවාවෙන් කටයුතු කිරීමය. ගොඩාක් කාන්තාවන්ට මොවුන් උපදෙස් දෙන්නේ, නංගී ඔයාලා මේ පාර ලංකාවට නිවාඩු ගිහින් ඔයා ඉන්න ගෙදරට එන්න එපා ගුවන්තොටුපළට ඇවිත් පනින්න. පසුව පාට්ටයිම් කරන්න පුලුවන්. හොඳ පඩියක් ගත හැකි ඔවැනි දේ කියල රවටා නැවත ගෙන්වා ගෙන මේ රැකියාව හුරු කරනවා. එම නිසා තමා අද නගරයේ සිටින සියලුම දෙනා ඉතාම නිදහසේ හැසිරෙන්නේ. 
සමහර ගෘහ සේවිකාවන් නගරයට එන්නේ ක‍්‍රිස්තියානි බව අඟවා පල්ලි යන මුවාවෙන්. එවන් දිනක යම් දෙයක් තම ස්වාමියාට දැනගන්න ලැබුණොත් ඔවුන් අවවාද කරනවා. ඊට පසුව මොවුන් කියන්නේ ඉන්න තැන කරදරයි කියා පැමිණිලි කරනවා. එසේ නැතිනම් ගෙදරින් පැනල යනවා. 


විශේෂයෙන් කියන්න ඕනෑ අරාබි ජාතිකයින් බොහෝම වස, නපුරු යක්ෂයෝ වගේ ජාතියක් විදියට අපි හිතාන හිටියත් ඒක වැරදියි. සියයට 2ක් පමණ සිටිනවා එවන් අය. ඔය ප‍්‍රතිශතය ලංකාවෙත් තියෙනවා. වැඩි හරියක් ඒ අය දඬුවම් කරන්නේ අපේ අයගේ වරදින්. එක්කෝ වැඩ අතපසු කිරීම, හෝ නොදැකීම පුහුණුවක් නොමැති කම. එසේත් නැතිනම් කාට හරි හොරෙන් දුරකථන ඇමතුමක් දීලා නැතිනම් උඩුමහලේ සිට පාරේ යන පිරිමියෙකුට අතවනලා. නිකරුනේ දඬුවම් කරන්නේ කලාතුරකිනි. 


මෙයට එකම උද‌ාහරණයක් කියන්න කැමතියි. මා සේවය කරන තැන ගොඩනැගිලි නඩත්තු කරන ආයතනයක එක් ඉන්දියානු (කේරළ) ජාතිකයෙක් මා සොයාගෙන පැමිණියා. ඔහුට ලැබුණ ලිපියක් (සිංහල) කියවා ගැනීමට. මා ඔහුගෙන් විමසූ විට ඔහු කීවේ ඔහු වැඩ කරන ස්ථානය අසල නිවසක සිටින ලංකාවේ කාන්තාවක් ඔහුට දීපු පෙම් හසුනක් කියා. ඔහුට තියා සිංහල මටවත් කියවන්න බැරි කවුරු හෝ අඩු අධ්‍යාපනයක් ලබපු කෙනෙක් විය හැකියි එම ලිපිය දීල තියෙන්නේ. 


එහි සඳහන් වූ පරිදි එම කාන්තාව මාස 10 කට පෙර මෙහි පැමිණි දරුවන් දෙදෙනෙක් සිටින හමුදාවේ සේවය කර තම සැමියාගේ දෙපා අහිමිවීමෙන් පසුව මෙහි ආ බවයි. එහි සඳහන් වුණේ මෙය කොතෙක් දුරට සත්‍යයද කියන එක හිතාගන්න අපහසුයි. ඊට හේතුව මෙහි නොහොඹිනා වැඩ කරන සියලු දෙනා පවසන දේ තමා ඇයගේ සැමියා මියගොස් එසේත් නැතිනම් හමුදාවේ සේවය කර දෙපා අහිමි වූ බව. සමහර විට අපට හිතෙන්නේ හමුදාවේ සේවය කළ සියලුම දෙනාගේ බිරින්දෑවරුන් මෙහි ආවද කියන එක. ඒ තරමටම ඔවුන්ගේ අදහස් එහෙමයි. ගොඩක් මේ දේට යොමුවෙන්නේ විවාහක දරු දෙතුන් දෙනා ඉන්න අම්මලාවීම කණගාටුයි. 


අර ලිපියේ තිබූ ලස්සනම කතාව තමා සිංහල කියවීමට තියා කථා කරන්නවත් නොහැකි කේරළ ජාතිකයාට කියා තියෙන්නේ මා කුරුණෑගල නිකවැරටියේ උපන්නේ. මා හට ඔයා අවංකවම ආදරය කරනවා නම් නැවතත් මා ලංකාවට ගොස් මෙහි එනවා. ඒ බව දැන ගැනීමට අදම ලියන්න. ලියල කුණු බක්කිය ළඟ තියන්න. 


තවත් දෙයක් බ‍්‍රහස්පතින්ද‌ා රෑට 8 සිට 12 වෙනතුරු මේ අය එළියට යනවා. ඔයා වෙනද වගේ රටඉඳි ගහ යටට ඇවිත් ජනේලෙට ගලක් ගහන්න තවත් ආදර සිංදු කවි කීපයක් සමගින් මීට ඔයාගේම ආදර... 


එම ලිපිය මා ළඟ දැනටත් තියෙනවා. ඉන්දියන් ජාතිකයාම කියනවා. මෝඩ ගෑනියක් කියල. ඕවට ගිහින් මගේ බෙල්ල කපාගන්න බැහැ කියල. 


ඔය එකක්. ඒ වගේ නොයෙක් ආකාරයට මෙහි වැරදි දුර දිග නොබලා කරනවා. මේ බොහොම අවමයකින් ලිපිය ලීවේ. 


අවසාන වශයෙන් මෑතකදී ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකින් කියවුනා කුවේට් රටේ සංගීත ප‍්‍රසංගවල ගැටුම් පිළිබඳව. 


අප දන්නා කරුණක් තමා මෙහි ගැටුමකට මුල කාන්තාවක් බව. කලාතුරකින් තමා වෙනයම් ගැටුම් ඇති වෙන්නේ. මොකද මෙහි දේශපාලන ඉඩම්කඩම් ආරවුල් නොමැති නිසා. 


මෙම ගැටුම්වලට ප‍්‍රධාන හේතුව තමා කාන්තාවන්. ඊට හේතුව සිකුරාදා එන පිරිමියා තම ආදරවන්තයා සමග නොවේ බදාදාට එන්නේ. ඔවැනි පැටලීම් නිසා විවිධ ගැටුම් තවත් බීමත්කම, සංගීත ප‍්‍රසංගවලට අප ගියාම දැකගන්න පුළුවන්. කණ්ඩායම් වශයෙන් මත්පැන් පානය කරමින් දඟලන කාන්තාවන් පවා නිතරම පරුෂ වචන පාවිච්චි කරන කාන්තාවන් කොටසකුත් සිටිනවා. මත්පැන් (කසිප්පු) පෙරීමට සහ වෙළඳාමට ප‍්‍රසිද්ධ ලංකාවේ පිරිමි වගේම ගණිකා වෘත්තියට ප‍්‍රසිද්ධ ලංකාවේ අය. 


මෙයයි සත්‍යය. මෙය කියවා බලා ‘තොප්පිය හරි අය’ දාගෙන විතරක් මදි හැදෙන්න බලන්න ඕන. 


අවසාන වශයෙන් එකම එක ඉල්ලීමක් කරනවා, මේ ලිපිය බලන ලංකාවේ සිටින රට ඒමට බලාපොරොත්තුවෙන් සිටින සහ රට ගිය බිරින්දෑවරුන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් පහත සඳහන් කරුණු කීපය ගැන අවධානය යොමු කරන මෙන්. 


ඔබගේ බිරිඳ රට රැකියාවකට ගියා නම් ඇයට ලැබෙන වැටුප කොපමණද? කියා දැනගන්න මුලදීම. එයින් ඔබලාට කොපමණ එවල තියෙනවාද? ඇය කොපමණ වියදම් කරල තියෙනවද? ගේ කෑල්ලක් හැදුව නම් ඉතිරි වෙන දෙයක් නැහැ. එයයි සත්‍යය. නමුත් ඔය සේරමත් කරල යම්කෙනෙක් අතේ පයේ රත්තරං පුරෝගෙන තවත් ලක්ෂයක් දෙකක්වත් ගේනවා නම් ටිකක් සොයල බලල දරුවන්ගේ නාමයෙන් ඔය රක්ෂාවට යවන්න එපා. වෙනදා වගේ ඔබ මුදල් දිහා බලල ආඩම්බර වුණොත් ඔබ පරාදයි. 


දෙවැනි කාරණය අලුතෙන් රට යන්න යන කෙනෙක් ඒජන්සියට ගිහින් කියනවා නම් ‘මම කොහොම හරි ඩුබායි හරි කුවේට් හරි’ හදල දෙන්න කියල ඒක වැරදිය. ඔය කුමන රටත් එකම මැදපෙරදිගය. පඩිය එකයි. එකම ජාතිය නිදහස තියෙනවාය කියල අර රටවලට යන්න හදන්නේ අනිත් කාන්තාවන්ගේ කියමනට විය හැකිය. එහෙම නම් අනාගතයේ තම දරුවන් ගැන හිතල තම පවුල ආරක්ෂා කර ගැනීම පිණිස කටයුතු කරන්න. 


විදේශ විනිමය කොපමණ ගෙනාවත් පවුලක් විනාශ වුණොත් රජයකට එය සවිකරන්න අපහසුයි. එයින් අනාතවන්නේ දරුවෝ. ඊට වඩා හොඳයි මෙවැනි කාන්තාවන් තම ස්වාමියා සමග එකතුවී ලංකාවට වෙලා මොකක් හෝ රැකියාවක් කරනවා නම්. 


වගකිව යුතු අයගෙන් හැකිනම් මා ඉල්ලා සිටිනවා මැදපෙරදිග රැකියාව කරන සියලුම දෙනා ලංකාවට පැමිණි පසු ගුවන්තොටුපලේදී (විශේෂයෙන් කුවේට් ඩුබායි) ලේ පරීක්ෂණයකට භාජනය කර මුදා හරිනවා නම්. එසේ කීමට හේතුව ඇමරිකානුවන් නිතර ගැවසෙන නිසා. ඒ වගේම කාන්තා සංවිධානවලින් නිතර කථා කරන්නේ විදේශ ගතවූවන්ගේ ස්වාමි පුරුෂයන් පිළිබඳ වැරදි බීමත්කම් ගැන පමණයි. මේ ගැන කථා කරල යම් පියවරක් ගන්නවා නම් අගෙයි. පවුල් අවුල් වෙන්නට පෙර එම සංවිධාන කටයුතු කරනවා නම් ඉතාම අගෙයි. 


මේ සියලු කාරණා ගැන දෙවරක් හිතල තමන් ගිය රැකියාව කරගෙන ලැබෙන කීයක් හරි අරං තම ආත්ම ගෞරවයත්, රටේ ආත්ම ගෞරවයත් රැකගෙන, ලංකාවට එන විටත්, ගුවන් යානයේදී වෙනදා විදියට මුහුදු වෙරළේදී මෙන් හැසිරෙන්නේ නැතුව අවසානය දක්වා වැදගත් විදියට එන්න බලන්න. 


සවුදි අරාබියාවේ ජුබෙල් සිට 
කුරුණෑගල 
නිමල් ජයසිංහ