මැදපෙරදිග රටවලට ගමන් බලපත් ගාස්තු නැවතත් ඉහළදැමීම බලවත් අසාධාරණයක්


ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වේවායි සෞදියේ ශ්‍රී ලාංකිකයෝ ඉල්ලති

 

 

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත්‍රයක් සෞදි අරාබියේදී සෞදි රියාල් 190 කට නිකුත් කරමින් තිබියදී පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට සියලුම රටවලට වලංගු වෙන පරිදි නිකුත් කරන ගමන් බලපතක් සඳහා සෞදි රියාල් 565ක් දක්වා ඉහළ දැමීමෙන් සෞදි ශ්‍රී ලාංකිකයෝ විශාල ලෙස අපහසුතාවයට පත් වෙමින් සිටී.   
 මෙම මස සිට (ජූලි) එම මුදල සෞදි රියාල් 595 දක්වාත් තාවකාලික ගමන් බලපතක් සඳහා අය කෙරුනු රියාල් 190 මේ වෙනවිට රියාල් 205 දක්වාත් ඉහළ දැමීම විශ්‍රාම වැටුපක් ඉක්මනින් ලබාදීමට පොරොන්දු වෙමින් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොදැක්වූ රජය ගමන් බලපත් ගාස්තු ඉහළ දැමීම රටවිරුවන්ට කරන උපහාරයක් දැයි සෞදි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරති.   


විශේෂයෙන්ම සෞදි රියාල් දහසක් වැනි සුළු වැටුපකට ගෘහ සේවිකාවන් ලෙස රැකියාවන් කරන අපේ කාන්තාවන් හට සියලුම රටවලට වලංගු බලපත් ලබා ගැනීමට තරම් පිස්සුවක් නැතැයි ද ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවල පමණක් රැකියාව කරන අපට යුරෝපිය රටවලට වලංගු බලපත් නිකුත් කරමින් රුපියල් 28,000 වැනි විශාල මුදලක් අයකිරීමට නියෝග දෙන්නේ කුමන තරාතිරමක අඳ බාලයින් දැයි සෞදියේ රටවිරුවෝ ප්‍රශ්න කරති.   


විශේෂයෙන්ම වාර්ෂිකව කෝටි ප්‍රකෝටි ගණන් විදේශ විනිමය තම මව් රටට යවමින් ජාතියට ඉමහත් සේවයක් කරන මැදපෙරදිග බැල මෙහෙකම් කරන රටවිරුවන් යයි පාරම්බාන අප වෙත ලබාදෙන සහන සේවා මේවා දැයි සෞදි රටවිරුවෝ තවදුරටත් විමසති. මැදපෙරදිග බැල මෙහෙවර කර අප උපයන මුදල සූරා කන, පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුට සුර සැප විඳීමටත් අතිසුඛෝපභෝගී යාන වාහන සහ අනිකුත් සුඛවිහරණයන් සඳහාත් ලජ්ජාවක් නැතිකම ගැන ඔවුන්ට ඡන්දය දුන් අපම ලජ්ජා විය යුතුය.   
ඉන්දියාව සහ අනිකුත් රටවල් රියාල් 300 ක් වැනි මුදලකට සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත් දින 5 ක් ඇතුළත සෞදි අරාබිය තුළදී නිකුත් කරන මුත් ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව යයි කියා ගන්නා ශ්‍රී ලාංකිකයින් වන අප හට රුපියල් 28,000ක් වැනි අතිවිශාල මුදලක් වැය කළද එම ගමන් බලපත සඳහා දින 60 ක් හෝ ඊටත් වැඩි කාලයක් ගත වීමද ශ්‍රී ලාංකික තාක්ෂණයේ දියුණුව පිළිබඳව අපට සිතා ගත හැක.   


කෙසේ වුවද නැවත පත් වෙන ආණ්ඩුවකට මෙම ප්‍රශ්නය විසඳීමට ඉඩ නොතබා අදාළ බලධාරීන් සෞදි අරාබියේ රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත් කලින් පැවති රියාල් 190 හෝ ඒ හා සමාන මුදලකට නිකුත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද සෞදි ශ්‍රී ලාංකිකයෝ පවසති.   

 


ලලිත් ප්‍රේමලාල්,   
සෞදි අරාබිය.