මැද පෙරදිග සේවක ගැටලු නිවැරදිව හඳුනා ගනිමු


(මෙම ලිපියේ මුල් කොටස් පසුගිය සති දෙකේ පළවිය)
මැද පෙරදිග රටවල පුද්ගලික ආයතන තුළ රැකියා අවස්ථාවන් ලැබූවන්හට එම රටවල ක්‍රියාත්මක වෙන කම්කරු නීතියට අනුව තම අයිතිවාසිකම් අහිමිවීමකදී සේවා යෝජකයාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ හැකිය. එහෙත් එසේ කළ හැක්කේ තමා සහ සේවා යෝජකයා අතර අත්සන් කරන ලද ගිවිසුම අනුවය. එය අත්සන් කරනු ලබන්නේ මැදපෙරදිග සේවා ස්ථානයේදී මිස ශ්‍රී ලංකාවේදී නොවේ. ඔහු ශ්‍රී ලංකාවේදී ඒජන්සිකරුවා සමඟ අත්සන් කළ ගිවසුම එරටදී පිළිගනු ලබන්නේ නැත. එමෙන්ම ශ්‍රී ලංකාවේදී අත්සන් කරනු ලබන ගිවිසුමෙහි අඩංගු කරුණු එරටදී අත්සන් කරනු ලබන ගිවිසුමට අඩංගු නොවුනහොත් ඒ පිළිබඳව විරුද්ධත්වය පළ කිරීම රැකියාව අහිමි කර ගැනීමකි. 


තමන් විසින් ශ්‍රී ලංකාවේදී එ්ජන්සිකරුවා ගෙවන ලද අතිවිශාල මුදල අහිමිකර ගැනීමකි. එම මුදල සොයා ගැනීමට උගස් තැබූ දේපල කණකර ආභරණ සින්නවීමකි. එබැවින් එතෙර ගිය පසු ගිවිසුම කුමක් වුවත් කෙසේ හෝ රැකියාව කරගෙන උකස් බරින්, ණය බරින් නිදහස්වීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නැත. 


උද‌ාහරණයක් වශයෙන් ගත් කළ, ආරෝග්‍යශාලා හෝ පාස​ල් පිරිසිදු කන්නියන් ලෙස ශ්‍රී ලංකාවේ ඒජන්සිකරුවාට මුදලින් රු. හැටදහසක් හෝ හැත්තෑදහසක් ගෙවා ඒජන්සිකරුවා සමඟ විදේශ කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී මාසික වැටුප කුවේට් ඩිනාර් 60ක් (රු. විසිතුන් දහසක) සහ නොමිලේ නවාතැන්, ආහාරපාන සහිතව ඒජන්සිකරුවා සමඟ ගිවිසුමක් අත්සන් කළේ යැයි සිතමු.

මැදපෙරදිග ගිය පසු එහිදී ඇය සහ සේවා යෝජකයා අතර අත්සන් කරනු ලබන ගිවිසුම අනුව ඇයට ලැබෙන මාසික වැටුප කුවේට් ඩිනාර් 25 කි. (රු. 10,0000කි) නොමිලේ ආහාරපානද නැත. 


ඒ අනුව ඒජන්සිකරුවා ඇය පමණක් නොව විදේශ රැකියා කාර්යාංශයද රවටා ඇත. ඇයට කළ හැක්කේ කුමක්ද? එක්කෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට තානාපති කාර්යාලය මගින් විදේශ රැකියා කාර්යාංශයට දන්වා නැවත මව්බිමට පැමිණීමය. නැතහොත් මුදල් සෙවීමේ අයථා ක්‍රමයකට යොමුවීමය. 


නැවත මව්බිමට පැමිණීම කබලෙන් ලිපට වැටීමකි. (මේ සඳහා ගුවන් බලපත්‍රයද මෙරට සිටින ඇයගේ ඥාතීන් විසින් ලබාදිය යුතුය.) කලින් සඳහන් කරන ලද පරිදි උගස් තැබූ දේපල, කණකර ආභරණ සින්නවීමකි. සමහර විට මුළු පවුලම මහ මඟට වැටීමකි. විදේශ සේවා කාර්යාංශය, ඇය රවටා මුදල් ගෙන මැදපෙරදිග යැවූ ඒජන්සිකරුවා ගෙන්වා එම මුදල ගෙවන ලෙස නියෝග කිරීම මිස, වෙනත් දඬුවමක් ලබා නොදෙයි. ඇයගෙන් රුපියල් හැට දහසක් (රු. 60000)ක් ලබාගත් ඒජන්සිකරුවා අැය යැවීම සඳහා වැයවූ මුදල ලෙස රු. හතලිස් දහසක (රු. 40000) ගණන් හිලව් ලිඛිතව ඉදිරිපත් කරයි. 


ඒ අනුව ඇයට නැවත ගෙවීමට නියම වෙන්නේ රු. විසිදහසක් (රු. 20000) පමණි. එයද කොටස් වශයෙන් ගෙවීමට විදේශ රැකියා කාර්යාංශය ඒජන්සිකරුවාට අනුමැතිය ලබා දෙයි. ඇය අනුරාධපුර පදිංචි කාන්තාවක් නම් මඟ වියදම් විශාල මුදලක් ගෙවා, එම මුදල ලබා ගැනීමට වාර ගණනාවක්ම බත්තරමුල්ල කාර්යාංශයට පැමිණිය යුතුය. එසේ පැමිණියද පොරොන්දුවූ දිනයට නොපැමිණ ඇය රස්තියාදු නොකරන ඒජන්සිකරුවන් නැත. 


විදේශ රැකියා කාර්යාංශය ඒජන්සිකරුට එරෙහිව කටයුතු කරනු නොලබයි. එබැවින් ගිවිසුම අනුව අයිතිවාසිකම් නොලැබුණත් විරුද්ධත්වයක් නොපා, මබ්විමට නොපැමිණ, කුමන තත්ත්වයක් යටතේ වුවද රැකියා කිරීමට ඇය පෙළඹෙයි. ඉතා දිගු කලක් මැදපෙරදිග සේවය කළ අප මෙවැනි සිදුවීම් කොතෙකුත් දැක ඇත්තෙමු. 


මේ සඳහා කළ යුතුව ඇත්තේ පුද්ගලික ආයතන සඳහා වන සේවක සේවිකාවන්ගේ වීසා අනුමත කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ඉදිරිපත් වීමේදී සේවා ​කොන්දේසි සහිත ගිවිසුම ඉදිරිපත් කළ යුතු බවට නීතියක් පැනවීමය. එමෙන්ම එම කොන්දේසි අනුව සේවාද‌ායකයා සහ සේවා යෝජකයා අත්සන් කරනු ලබන ගවිසුමේ පිටපතක් තානාපති කාර්යාලයද ලබාගත යුතුය. 


විධිමත් සැලැස්මක් අනුව මෙම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් මැදපෙරදිග සේවක ප්‍රශ්න අවම කරගත හැකි අතර ‘‘රිස්නා - රසීක්’’ වැනි අහිංසක දැරියන් මැදපෙරදිග ගහලයින්ට බිලිවීමද වළක්වාගත හැකිය. (රිසානා නඩුවේ ද්‍රවිඩ භාෂා පරිවර්තකයාගේ මව් භාෂාව ද්‍රවිඩ නොවේ. එබැවින් ඇයගේ කටඋත්තරය නිවැරදිව අරාබි භාෂාවට පරිවර්තනය නොවීය. භාෂා පරිවර්තකයා බංගලාදේශ ජාතිකයකු බවට පසුව හෙළිවී ඇත. යන්තමට ද්‍රවිඩ භාෂාව කළා කළ හැකි පුද්ගලයකු ඝාතන නඩුවක භාෂා පරිවර්තකයකු වශයෙන් කටයුතු කිරීමෙන් සිදුවන සාධාරණය වන්නේ අහිංසකයකු ගහලයින් හට බිලිවීම නොවන්නේද?) 


මෙම ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකිය. ඒ සියල්ලටම විසඳුම් ඇති බවද සඳහන් කළ යුතුය. සමහරවිට මැදපෙදිග රටවල් සමඟද මේ පිළිබඳව සාකච්ඡා කොට එරට නීතීන්ට ගැලපෙන පරිදි කටයුතු කළයුතු විය හැකිය. මේ​ සඳහා සෑම මැදපෙරදිග තානාපති කාර්යාලයටම නව පරිගණක, වාහන, සහ අතිරේක කාර්ය මණ්ඩලයන්ද ලබාදිය යුතුය. 


රැකියා ඒජන්සිකරුවන් අවශ්‍ය වෙන්නේ රැකියා සොයාදීම සඳහා පමණි. රැකියාවක් සොයාදීමෙන් පසු ඔවුන්ගේ කාරිය අවසන් විය යුතුය. එතැන් සිට ඔවුන් පිළිබඳ වගකීම විදේශ සේවා කාර්යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් භාරගත යුතුය. විදේශ රැකියා ලාභීන්ගේ ආරක්‍ෂාව සහිත කළ හැක්කේ එමඟිනි. 


මැදපෙරදිග සේවක ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් සහ එම ප්‍රශ්න සඳහා නිවැරදි විසඳුම්ද ලබාගත හැක්කේ මැදපෙරදිග සේවය කළ අයගෙන් පමණකි. එහෙත් විදේශ සේවා කාර්යාංශය සහ හිටපු ඇමතිවරයා එය පිළිගනු ලැබුවේ නැත. සියලුම තීරණ ගනු ලැබුවේ ඒජන්සිකරුවන් සමඟ සාකච්ඡා කොට, ඔවුන්ගේ උපදෙස් පරිදිය. ඔවුන්ට අවශ්‍ය පරදිය. අද මැදපෙරදිග සේවය ඛේදවාචකයක් බවට පත්වී ඇත්​ෙත් එනිසාය. 


ජනාධිපතිතුමා විශ්‍රාම වැටුපක් පමණක් නොව, මැදපෙරදිග සේවකයින් විදේශ සේවා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කරනු ලබන බවට අප වෙත ප්‍රකාශ කරනු ලැබුවේද මේ පිළිබඳව එතුමාහට පැහැදිළි අවබෝධයක් ඇතිවූ නිසාය. එහෙත් එය කම්කරු ඇමතිවරයා විසින් නොසලකා හරිනු ලැබීය. එබැවින් මැදපෙරදිග සේවකයින්ද (ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි) අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුළත් කළ යුතු බව අප යෝජනා කර සිටිමු. 


බොහෝ නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් සිතා සිටින පරිදි සියලුම මැදපෙරදිග සේවකයින් ගෘහ සේවක සේවිකාවන්, කුලීකරුවන්, රියැදුරන් පමණක් නොවේ. ඔවුන් මැදපෙරදිග සේවකයා තලාපෙලා කටයුතු කරන්නේත්, නොසලකා හරින්නේත්, නූගත් පහත් ජන කොට්ඨාසයක් ලෙස සලකන්නේත්, එම මෝඩ අදහස පෙරදැරිකර ගෙනය. ඔවුනට වැරදුනේ එතැනය. බොහෝ රාජ්‍ය නිලධාරීන් හට කිසිදිනෙක සිතා ගැනීමට නොහැකි අන්දමේ ඉතා සාර්ථක යෝජනාවක් මැදපෙරදිග සේවකයින් වශයෙන් අපට ඉදිරිපත් කළ හැකිය. රජය මැදපෙරදිග සේවය සඳහා යනු ලබන සියලුම දෙනා නූගතුන් නොවන බව වටහාගෙන කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. කෙසේ වෙතත් අප විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් කීපයක් දැනටමත් ක්‍රියාත්මක කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය කටයුතු කිරීම සතුටට කරුණකි. 


මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යවනු ලබන්නේ ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය, තායිලන්තය, පකිස්ථානය, නේපාලය, චීනය, ඉන්දුනීසියාව යන ආසියාතික රටවලිනි. එහෙත් ඉන්දියාව, බංගලාදේශය, චීනය සහ පකිස්ථානය ගෘහ සේවිකාවන් යැවීම නතර කරන ලද්දේ කලකට ඉහතදීය. කවුරුන් ​ෙකසේ කීවත් අපේ ආර්ථිකය අනුව එය අපට කළ හැක්කක් ​​ෙනාවේ. එබැවින් මෙම රටවල අද‌ාළ අමාත්‍යවරුන්ගේ සම්මේලනයක් කැඳවා මැදපෙරදිග රටවල ගෘහ සේවක සේවිකාවන් සඳහා ක්‍රියාත්මක නොවන කම්කරු නීතීන් වහාම ක්‍රියාත්මක කරන ලෙසට බලපෑමක් කළ හැකිය. මෙතෙක් ගෘහ සේවිකාවන් යවනු ලබන රටවල අමාත්‍යවරුන්ගේ එකමුතුවක් නොපැවති හෙයින් මැදපෙරදිග රටවලට සේවක ප්‍රශ්න පිළිබඳ ඍජු බලපෑමක් එම රටවලට ඉදිරිපත් වී නැත. 


සංක්‍රමණික සේවකයින්​ෙග් අයිතීන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කළ යුතු යැයි බලපෑම් කළ හැකිය. ගෘහ සේවිකාවන්ගෙන් තොරව මැදපෙරදිග රටවල සෑම නිවසකම එදිනෙද‌ා කටයුතු කරගත නොහැකිව ඇණහිටින තත්ත්වයක් ඇතිවන හෙයින් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට අරාබි ජාතීන්ට සිදුවේ. වෙනත් විකල්පයක් ඔවුනට නැත. එබැවින් නිසැකවම ඵලද‌ායී ප්‍රතිචාරයක් ලබාගත හැකිවනු ඇත. මැදපෙරදිග සේවක ප්‍රශ්න අවම කොට මෙම සේවක ජනතාවගේ ආරක්ෂාව සැලසීම අපේ මෙන්ම රජයේත්, ජනතාවගේත් අරමුණ වනු ඇතැයි අප විශ්වාස කරමු. 


ද. රංජිත් නානායක්කාර, 
නිර්මාතෘ සහ සභාපති, 
සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංවිධානය