මැද පෙරදිග සේවක ගැටලු නිවැරදිව හඳුනා ගනිමු


 

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය) 
එතෙරදී විඳින්නට සිදුවන දුක් වේදනාවන් අස අසා, දැන දැනත් අපේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිගට ඇදෙන්නේ දිනෙන් දින උග්‍රවන ආර්ථික අහේනියට මුහුණ දිය නොහැකි නිසාය. ගෘහ සේවිකාවන් මැද පෙරදිගට යැවීම තහනම් කිරීමට කලින් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයකට පත් කිරීමට රජය සමත්විය යුතුය. එසේ නොකොට එම තහනම ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සේ අප දකිමු. එමෙන්ම එය සේවක ප්‍රශ්න මඟහැර යාමකි. එසේත් නොමැති නම් අදාළ ආයතනවල විසඳුම් සෙවීමේ අසමත්කම සහ දුර්වලතාවයකි. පුහුණු සේවක සේවිකාවන් යැවීම ඉතා හොඳය. එහෙත් මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමික ඉල්ලීම පවතින්නේ ඉතා අවම මට්ටමකය.  


මැද පෙරදිග සේවක ප්‍රශ්නවලට විසඳුම් සහ උපදෙස් ලබාගත යුත්තේ මැද පෙරදිග සේවය කළ ඒ පිළිබඳ දැනීමක් ඇති අයගෙන් මිස රැකියා ඒජන්සිකරුවන්ගෙන් නොවේ.


දශක දෙකකට අධික කාලයක් මැදපෙරදිග සේවය කළ අප ලබාගත් අත්දැකීම් සහ කරන ලද සමීක්‍ෂණයන් තුළින් ගෘහ සේවක සේවිකාවන්හට බලපාන මූලික ප්‍රශ්න පිළිබඳ සහ එම ප්‍රශ්න අවම කරගතහැකි විසඳුම් පිළිබඳව ද පහත දැක්වෙන කරුණු සහ යෝජනාවන් රජය වෙත ඉදිරිපත් කරමු.  


ගෘහ සේවිකාවන්ට බලපාන මූලික ගැටලු  


පො​ෙරාන්දුවූ පරිදි මාසික වේතනය නොගෙවා සේවය ලබාගැනීම. 
වසර දෙකක සේවා කාලයෙන් පසු මව්බිමට නොයවා බලහත්කාරයෙන් රඳවා ගෙන සේවය ලබා ගැනීම. 
සේවා කාලයෙන් පසු මව්බිමට යාම සඳහා ගුවන් ගමන් බලපත්‍රය ලබා නොදීම. 
ලිංගික හිංසනයන්ට ලක් කිරීම සහ අමානුෂික වදහිංසා යටතේ සේවයේ යෙදවීම. 
වෛද්‍ය පහසුකම් ලබා නොදීම. 
අත්තනෝමතික ලෙස නොකළ වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීමට භාජනය වීම. 
නොදන්නා බසකින් පැවැත්වෙන නඩුවිභාගවලට පෙනී සිටිමට සිදුවීම. 
නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදී සිරගත කිරීම. (හිංසා, පීඩාවන් විඳදරාගත නොහැකිව සේවය කළ නිවසින් පැනයන සේවිකාව රන් භාණ්ඩ හෝ මුදල් සොරාගෙන ගිය බවට සේවාද‌ායකයා අසත්‍ය චෝදනා සහිතව පොලියට පැමිණිලි කරනු ලබන අවස්ථාවන් එමටය. ඒ අනුව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථවක් නොදී සිරගත කරනු ලබන්නන් බොහෝය.) 
ඔවුන් වෙනුවෙන් නීතීඥ සහය ලබාදීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් අපොහොසත්වීම. 
එරට ශ්‍රීලාංකික රැකියා ඒජන්සිකරුවන්ගේ කෲර වදහිංසාවලට ලක්වීම. 
සතියකට එක් දිනක විවේකයක් ලබා නොදී දෛනිකව අසීමිත ලෙස සේවයේ යෙදවීම. 
වංචනික ලෙස විදේශවලට ගෙනයාම. 
අරාබි ජාතිකයින් විසින් එරට රජයට තමන්ගේ සුදුසුකම් පෙන්වා ගෙන්වනු ලබන ගෘහ සේවිකාව සුදුසුකම් නැති, මාසික වේතනය පවා ගෙවීමට නොහැකි තම දුප්පත් ඥ‌ාතීන්ගේ නිවෙස්වල සේවයට යෙදවීම.  
හදිසි අවස්ථාවකදී තමන්ට සිදුවන අසාධාරණයන් දැන්වීම සඳහා තනාපති කාර්යාලයේ ලිපිනය හෝ දුරකතන අංකය නොදන්නා කම. 

 


මෙම මූලික ගැටලු ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 
එම රටවල ක්‍රියාත්මක වන කම්කරු නීතිය ගෘහ සේවක සේවිකාවන්ට බල නොපෑම. 
මෙරට සහ එරට ඒජන්සිකරුවන් සහ සේවා යෝජකයින් සමඟ අත්සන් කරනු ලබන කිසිදු ගිවිසුමක් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වෙන නීතියට අනුකූල නොවීම. 
සේවයට ගිය පසු සේවා යෝජකයා විසින් ඔහුට අවශ්‍ය පරිදි සකස් කළ ගිවිසුමකට අත්සන් ගැනීම. එම ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් මාස තුනක් සේවයේ යොදවා එම මුදලින් මව්බිමට එවීම. 
මැදපෙරදිග සේවයට ගියපසු ශ්‍රී ලාංකික සහ සේවක සේවිකාවන් අතට කිසිදු සබඳතාවයක් නොමැතිවීම. 
මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වෙන ශ්‍රී ලාංකික රැකියා ඒජන්සිකරුවන්ගේ දූෂිත ක්‍රියාකාරකම්. 
මැදපෙරදිග රටවල පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ දූෂිත සහ අකාර්යක්‍ෂම සේවය. 
රජය මැදපෙරදිග සේවය සඳහා නිසි සැලැස්මක් අනුව කටයුතු නොකිරීම. 
​විදේශ සේවා කාර්යාංශය රැකියා ඒජන්සිකරුවන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම. 

 


මෙම ගැටලු අවම කළ හැකි ක්‍රම 
1. විදේශ ගතකරනු ලබන සෑම ගෘහ සේවිකාවක්ම එරට ගුවන් තොටුපොළේදීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් භාරගෙන තානාපති කාර්යාලය වෙත කැඳවා ගෙන යායුතුය. සවුදි අරාබිය වැනි විශාලත්වයෙන් වැඩි රටවල ගුවන් තොටුපළ ආශ්‍රිතව තානාපති උප සේවා කාර්යාල ආරම්භ කළ යුතුය. 
2. මෙරට ඒජන්සිකරුවා සමඟ අත්සන් කරනු ලබන ගිවිසුම, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යවා, සේවා යෝජකයා (අරාබි ජාතිකයා) තානාපති කාර්යාලයට ගෙන්වා තානාපති නිලධාරීන් ඉදිරියේදී එරට පිළිගත් නීතියට අනුකූලව අරාබි බසින්වූ නව ගිවිසුමක් අත්සන් කළ යුතුය.  


එම ගිවිසුමට ඇතුළත් විය යුතු මූලික කරුණු 
වාර්ෂික සේවා කාලය සහ දෛනික සේවා කාලය 
සේවා කාලය අවසන් වීමෙන් පසු මව්බිමට යාම සඳහා ගුවන් ගමන් බලපත්‍රය ලබාදීම. 
මාසික වේතනය 
සතියකට එක් දිනක නිවාඩුව 
මාසිකව ගෘහ සේවිකාවගේ තොරතුරු තානාපති නිලධාරීන් හට සොයා බැලීමේ හැකියාව. (මෙමගින් සේවිකාව වෙනත් නුසුදුසු නිවසක සේවයට යෙදවීම නතර කළ හැකිය.) 
ගෘහ සේවිකාව පිළිබඳ පැමිණිලි අැත්නම් සේවාද‌ායකයා හට ඒ පිළිබඳ තානාති නිලධාරීන් දැනුවත් කොට විසඳුම් ලබාගැනීමේ හැකියාව. 


3. ගෘහ සේවිකාව වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් කළ යුත්තේ තානාපති නිලධාරියා විසින්ය. 
4. ඒ අනුව ගෘහ සේවිකාව එම ගිවිසුමට අදාළව සේවා යෝජකයා වෙත භාරදෙනු ලබන්නේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. 
5. මැදපෙරදිග සේවය සඳහා යනු ලබන සියලුම ශ්‍රී ලාංකිකයන් පළමුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුව ඇති අතර, ඒ සඳහා ගුවන් ​ෙතාටුපළෙහිදීම පෝරමයක් පුරවා භාරදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය.  
6. මැදපෙරදිග ගෘහ සේවක සේවිකාවන් පිළිබඳ තොරතුරු එරට තනාපති කාර්යාලයන්හිදී පරිගණක ගත කළ යුතුය. 
7. කුමන හේතුවක් මත හෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන සියලුම ශ්‍රී ලාංකික මැදපෙරදිග සේවක සේවිකාවන් වෙනුවෙන් එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හරහා නීතීඥ සහය ලබාදිය යුතුය. 
8. මෙරට ඒජන්සිකරුවන් ගෘහ සේවිකාව පැමිණෙන දිනය, වේලාව, ගුවන් යානය ආදී කරුණු විදේශ සේවා කාර්යාංශයට, එරට තානාපති කාර්යාලයට, එරට අද‌ාළ ඒජන්සියටද දන්වා සේවා යෝජක අරාබි ජාතිකයා ගෘහ සේවිකාව තානාපති කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී තානාපති කාර්යාලයට ගෙන්වීමට කටයුතු කළ යුතුය. 
9. මෙරට උප රැකියා ඒජන්සිකරුවන්ද (Sub Agents) විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි කළ යුතුය. 
10. නීතියට පටහැනිව රැකියා ලාභීන්ගෙන් මුදල් ගන්නා ඒජන්සිකරුවන් හට දැඩි දඬුවම් පැනවිය යුතුය. 
11. අඩු වයසේ දරුවන් වංචා සහගත ලෙස රැකියා සඳහා යවනු ලබන ඒජන්සිකරුවන්, දෙමාපියන් සහ එම අපරාධයට සම්බන්ධ සියලු දෙනාටද දැඩි දඬුවම් ලැබෙන පරිදි නීති සං​ෙශා්ධනය කළ යුතුය. 
12. මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වෙන රැකියා ඒජන්සිවලදී අහිංසක සේවක සේවිකාවන් තලා ​පෙලා කෲර හිංසනයන්ට ලක්කරනු ලබන ශ්‍රී ලාංකිකයින් තානාපති බලතල උපයොගී කර ගනිමින් එරටින් පිටුවහල් කොට මව්බිමට ගෙන්වා අධිකරණයට යොමු කළ යුතුය. 


13. මැද පෙරදිග ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරනු ලබන එරටින් බඳවාගත් (LOCAL STAFF) ශ්‍රී ලාංකික සේවක පිරිසකගේ සේවා කාලය වසර දෙකකට සීමා කළ යුතුය. කුමන හේතුවක් මත හෝ ඔවුන්ගේ සේවා කාලය දිගු නොකළ යුතුය. 
මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී පහත සඳහන් පරිදි ගෘහ සේවක සේවිකා ප්‍රශ්න අවම කරගත හැකිය. 
1. ගෘහ සේවිකාවක් ලබාගැනීමේදී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඍජුවම මැදිහත්වෙන හෙයින් ගෘහ සේවිකාවගේ ආරක්‍ෂාව තහවුරු වේ. 
2. ගිවිසුම අනුව කටයුතු කිරීමට සේවා යෝජකයා ඍජුවම ශ්‍රී ලංකා රජයට බැඳී සිටී. 
3. එරට ඒජන්සිකරුවන් සතු ගෘහ සේවිකාවන්ගේ මාස තුනක භාරකාරත්වය අහෝසි වේ. 
4. එම මාස තුනක කාලය තුළදී ඒජන්සිකරුවන් ගෘහ සේවිකාවන් නිවාස ගණනාවකට විකිණීම නතර වේ. 
5. එරටට පැමිණෙන ගෘහ ​ෙස්විකාවන්ට එරට බොහෝ ශ්‍රී ලාංකික ඒජන්සිකරුවන් සහ එම ඒජන්සි අයිති අරාබි ජාතිකයින් විසින් කරනු ලබන ලිංගික අතවර සහ ශාරීරික හිංසා කිරීම්ද නතර වේ. 
6. ගිවිසුම කඩකරනු ලබන සේවා යෝජකයින් එරට අධිකරණය වෙත ඉදිරිපත් කොට සාධාරණය ඉටුකරගත හැකි අතර, එම සේවා යෝජකයින් පරිගණක මගින් වර්ගීකරණය කොට (BLACK LIST) නැවත ඔවුන් හට ගෘහ සේවිකාවන් ලබාදීම නතර කළ හැකිය. 
7. මාසිකව ගෘහ ​ෙස්විකාවන් පිළිබඳ වාර්තාවක් ලබාගත හැකිය. 
8. මෙතෙක් කලක් කළ නොහැකිවූ මැදපෙරදිග සේවක සංඛ්‍යාව ගණනය කිරීම නිවැරදිව කළ හැකිය. 
9. තම රැකියාව සාර්ථකව කළ නොහැකි, අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නා ගෘහ සේවිකාවන් නැවත මැදපෙරදිග සේවය සඳහා නොයැවීමට කටයුතු කළ හැකිය. 
10. වසරකට මැදපෙරදිගින් මෙරට පැමිණෙන 400 කට ආසන්න මළ සිරුරු සංඛ්‍යාව අවම කළ හැකිය. 
11. දිනකට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සරණ පතා පැමිණෙන දහස් ගණනක ගෘහ සේවිකාවන් ප්‍රමාණය අවම කරගත හැකිය. 
12. ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ​ෙනාපැමිණ සියලු දුක්පීඩා විඳ දරාගෙන කෙසේ හෝ පැමිණ කරුණ ඉටුකර ගනිමින් සේවය කළ හැකි කාන්තාවනට බලවත් සහනයකි. 
13. ගෘහ සේවිකාවන්ගේ මානසික පීඩනය දුරුවේ. වසරකට සිය ගණනක් වූ ආබාධිතව මව්බිමට පැමිණෙන සංඛ්‍යාව අවම කරගත හැකිය. 
14. අඩු වයසේ දරුවන් රැකියා සඳහා යැවීම නතර කළ හැකිවේ. 
15. මැද පෙරදිග තානාපති කාර්යාලවල ඉතා දිගුකලක් සේවය කරමින් අහිංසක සේවක ජනතාව සූරාකන, ඔවුන් නොයෙක් අපහසුතාවයනට පත් කරමින් මුදල් සොයනු ලබන ශ්‍රී ලාංකික සේවකයින් ඉවත්වේ. 
16. උප ඒජන්සිකරුවන්ගේ දූෂිත ක්‍රියාකාරකම් නවතී. 
17. ගෘහ සේවිකාවක් ලබා ගැනීමට නුසුදුසු, ඇයගේ මාසික වේතනය පවා ගෙවීමට නොහැකි අරාබි ජාතිකයින් හට ගෘහ සේවිකාවන් ලබාදීම නවතී. 
18. අද බරපතළ ඛේදවාචයක් බවට පත්වී ඇති මැදපෙරදිග සේවය, යළිත් ජාතික සම්පතක් බවට පත් කළ හැකිය.
(මතු සම්බන්ධයි) 
ද. රංජිත් නානායක්කාර, 
නිර්මාතෘ සහ සභාපති, 
සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංවිධානය