මහාද්වීප පහම එක වහලක් යටට ගෙනාෆ්‍රැන්ක්ෆර්ට් මහා පොත් සල්පිල


 

පාඨකයා සොරාගත්තා යයි මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍යට චෝදනා කරයි. එහෙත් මුද්‍රිත මාධ්‍ය පරිහරණයට ඇබ්බැහිවූවෙකුට, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමෙන් සිත පිරෙන්නේ නැත. පොතපතක පිටු අතින් අල්ලා පෙරළා කියවිය යුතු ම ය.   


“ඔක්ටෝබර් ෆෙස්ට්” කී පමණින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ ජර්මනියේ බර්ලින් නගරයේ මහත් හරසරින් පැවැත්වෙන බීර මංගල්‍යය සිහිපත් වේ. ඒ ආකාරයෙන් ම සෑම වසරක ම ඔක්තෝබර් මාසයේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ පැවැත්වෙන පොත් සල්පිල ද ලෝ පසිඳු ය.   


මේ වසරේ මුල් මාස අට තුළ ජර්මනියේ පාඨක සංඛ්‍යාව සියයට එකක   


ප්‍රතිශතයකින් පහත වැටී ඇත. පසුගිය වසරේ මෙම පහත වැටීමේ ප්‍රතිශතය 1.6% කි. 2013 වසරේ සිට 2017 වසර දක්වා ජර්මනියේ මුද්‍රිත පොතපත පරිහරණය කරනු ලබන පාඨක සංඛ්‍යාව ලක්ෂ හැටහතරකින් පහත වැටී ඇත. මෙය මුළු ජර්මානු පාඨක සංඛ්‍යාවෙන් 18% ක ප්‍රතිශතයකි.   


මේ වසරේ ඔක්තෝබර් මස දහවැනිදා සිට දාහතරවැනිදා දක්වා හැත්තෑවෙනි වරටත් ෆ්‍රැන්ක්ෆර්ට් ජාත්‍යන්තර පොත් සල්පිල පැවැත්වූවේ උක්ත වාතාවරණය යටතේ ය. මෙම පොත් සල්පිලේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ මෙය පවත්වනු ලබන දින පහෙන් අවසන් දින දෙක පමණක් පාඨකයා වෙනුවෙන් විවෘතව තිබීම ය. ඉතිරි දින තුන ම ලේඛකයන්ගේ පොත් ප්‍රකාශකයන්ගේ සාකච්ඡා, වෙනත් භාෂාවලට පරිවර්ථනය කිරීම සඳහා පොත් තේරීම, ඒ සඳහා ලේඛක ප්‍රකාශක අවසරය ලබාගැනීම, අනුමුද්‍රණ අවසර ලබාගැනීම ආදී දේ සඳහා වෙන් වේ. මෙවර මේ සඳහා රටවල් තිස්තුනකට අයත් නියෝජිතවරු සහ ඒජන්තවරු අටසීයකට අධික සංඛ්‍යාවක් සහභාගිවී සිටියහ.   

 


ජගත් මානව හිමිකම් ප්‍රඥාප්තිය ප්‍රකාශයට පත්වූයේ ද ෆ්‍රැන්ක්ෆර්ට් පොත් සල්පිල මුල්වරට පැවැත්වූ 1949 දී ම ය. එබැවින් මෙවර මෙම පොත් සල්පිලේ තේමාව වූයේ ජාත්‍යන්තර මානව හිමිකම් ය. රටවල් එකසිය දහයකට අයත් පොත් ප්‍රකාශකයින් හත්දහස් පන්සීයක් මෙවර මෙම පොත් සල්පිලට සහභාගී වී සිටි අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජෝර්ජියාව ය. ජොර්ජියානු ලේඛකයන් විසින් ලියන ලද පොත් දෙසීයක් පමණ දැනට ජර්මානු බසට පරිවර්තනය කෙරී ඇත. අක්ෂර තිස්තුනකින් සමන්විත ජෝර්ජියානු හෝඩිය, යුනෙස්කෝව විසින් ලෝක උරුම ලයිස්තුවට ද එක්කරගෙන ඇත.   


මෙවර ෆ්‍රැන්ක්ෆර්ට් පොත් සල්පිලට සහභාගී වූ පොත් ප්‍රකාශකයන්ගෙන් සියයට හැත්තෑවක ප්‍රතිශතයක් ජර්මානු පොත් ප්‍රකාශකයන් වූ අතර, ඉතිරිය විදේශික පොත් ප්‍රකාශකයෝ ය. ප්‍රදර්ශනයට සහභාගී වූ ඉංග්‍රීසි පොත් ප්‍රකාශකයෝ මෙවර සංඛ්‍යාත්මකව පහත වැටී තිබුණු අතර, ආසියානු සහ අප්‍රිකානු පොත්  ප්‍රකාශකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණි. ජර්මානු බසින් රචිත ග්‍රන්ථයක් සඳහා ෆ්‍රැන්ක්ෆර්ට් ජාත්‍යන්තර පොත් සල්පිල මගින් පිරිනමනු ලබන සම්මානය මෙවර හතළිස් හැවිරිදී අයින්ජර් මරියා විසින් ලියන ලද “ආර්ෂිපල්” (කොදෙව්ව) ග්‍රන්ථයට හිමි විය. කාන්තාවක විසින් මෙම සම්මානය දිනාගන්නා ලද්දේ වසර පහකට පසුව ය.   
මහාද්වීප පහම නියෝජනය වෙන අයුරින් ලේඛකයෝ ද පොත් ප්‍රකාශකයෝ ද නියෝජිතයෝ ද ඒජන්තවරු ද මෙවර ෆ්‍රැන්ක්ෆර්ට් ජාත්‍යන්තර පොත්  ප්‍රදර්ශනයට සහභාගිවී සිටියහ. පසුගිය වසරට වඩා මේ වසරේ ප්‍රදර්ශනය නැරඹූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණ ද, පොත් අලෙවිය පහත වැටී තිබුණි. උද්ධමනය මීට හේතු වූවා විය හැකිය. කියවීම සඳහා පොතක් මිලට ගැනීමට අතමිට නැති වුවද, පොතක් අතපත ගෑමෙන් වුවද තෘප්තියක් ලැබීමට පාඨකයා තුළ ඇති ලැදියාව මින් පැහැදිළි ය.   

 


චාපි කෝසලා   
මියුනිච්, ජර්මනිය.