මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකින උද්ඝෝෂණයක් පැරීසියේ


• ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකිමු ! 
• අන්තවාදී සංවිධාන තහනම් කරනු ! 

පසුගියදාා ශ්‍රී ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක ක‍්‍රියාත්මක වූ ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමගිව ජීවත් විය යුතු බව ඉහත සඳහන් සටන් පාඨ රැගත් ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ උද්ඝෝෂණයක් පැරීසියේ අයිෆල් කුළුණ පරිශ‍්‍රයේ 17 වැනි සෙනසුරාදාා සවස 4ට පැවැත්වූයේය. එදින බලාපොරොත්තු නොවූ පරිදි පැරීසියේ හා ඒ අවට කාලගුණය වෙනස් වීම හේතුවෙන් සවස් යාමය පුරාවටම හිම වැස්සක් ඇද හැළුණේය. එසේ නමුදු පැරීසියේ වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් ජනයා නියෝජනය කරන සමාජීය සංවිධාන හා එම නිලධාරීන් ද වෙනත් පිරිස ද අධික ශීතල නොතකා එයට සහභාගී වී සිටියෝය. 


ඒ අතරතුර ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා විසින් පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික ප‍්‍රජාව අයත් විවිධ ආගමික හා සමාජීය සංවිධාන සමඟ එහි නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පවත්වා විදේශයන්හි එවැනි ගැටුම් ඇති නොවීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීමට පෙරමුණ ගෙන කටයුතු කළේය. 


ප‍්‍රංශය යනු විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජාතීන් සිටින රටක්. එම රටේත් විවිධ ආගමික අන්තවාදී සුළු කොටසක් ජීවත් වුව ද මිනිස් ඝාතන සිදු කරමින් දේපල ගිනි තියමින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇති නොවන බවත් සියලු දෙනා සමගියෙන් ජීවත් වන බවත් එයට හේතුව රටේ නීතිය උස් පහත් බේදයකින් තොරව ක‍්‍රියාත්මක වන නිසා බවත් එබැවින් ලංකාවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකළ අයට දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඈත අතීතයේ සිට පැවැත එන ජනවර්ග අතර සහෝදර සබඳතාව ඉදිරියටත් එලෙසම රැක ගැනීම අපි සියලු දෙනාගේම සාමූහික වගකීමක් බව ද උද්ඝෝෂණයට සහභාගී වූ සංවිධාන නියෝජිතයකු පැවැසීය. 


පැරීසියේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවය තුළ සිටින සිංහල, දමිළ, මුස්ලිම් ලෙස අන්තවාදී කොටසක් ද ජීවත් වෙති. නමුත් සංඛ්‍යාත්මකව ඔවුන් ඉතාමත් සුළු පිරිසකි. එසේ නොවන විශාල පිරිසක් ද පැරීසියේ වෙසෙති. ඔවුන් අතරින් ඉහත උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනාටම ස්තුති කරන බව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ සංවිධායක නිලධාරීන් පැවසූහ.