මරණ පරීක්ෂණයකදී කියැවුණු ලියුම


සියදිවි නසාගන්නා ලද පානදුරේ දෝන කතිරිනා ජයසේකර නම්වූ තරුණියකගේ සිරුර අසල තිබී සොයාගන්නා ලදුව, ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඉදිරිපත්වූ ලිපියකි. 


 පසුගිය දින කීපය ගෙවී ගියේ අවිවේකීව ය. කළ යුතුව තිබූ හදවත් සැත්කමක් සඳහා රෝහල්ගතව සිටි කාලය තුළත් ඉන් පිටතදීත් මම ඔබ පිළිබඳව බොහෝ සේ සිතුවෙමි. මෙවන් ලිපියක් ඔබට ලියම් දෝ හෝ නොලියම් දෝ යන දෙගිඩියාවක් මා තුළ විය. අවසානයේ මේ සියල්ල සිදුවූයේ මෙසේය යන වග ඔබට දැනුම්දීම් වස් මෙය ලිවීමට මම තීරණය කළෙමි. සියල්ල සිදුවූ ආකාරය දැනගැනීමට ඔබට ද ඇති අයිතියට මම ගරු කරමි. මෙම ලිපිය කියවූ පසුව ඔබ මා පිළිබඳව කෙලෙසක සිතාවිදැයි මම නොදනිමි. ඔබ කෙසේ සිතුවද, මා විසින් ඔබට දක්වන ලද ව්‍යාජව ඇරඹී අව්‍යාජ බවට පත් ප්‍රේමයෙහි කිසියම් සත්‍යතාවයක් වේ නම්, මේ එයයි. 


ඒ දිනවල සති අන්ත පුවත්පතකට මා විසින් ලියන ලද සැඳෑ සමය නම් කොටස් වශයෙන් පළවූ කතාව නිමාවීමට ආසන්නව තිබුණි. ඒ කතාවේ වස්තුබීජය වූයේ මගේ බිරිඳ හා අපේ මුණුබුරු අලෙයොන් අතර වූ මිත්‍යාව දවටාගත් සත්‍ය මත පදනම්වූ කතාවකි. ඒ කතාවට යහපත් පාඨක ප‍්‍රතිචාරයක් ලැබෙමින් තිබුණු බව විටින් විට මට පුවත්පත් කාර්යාලයෙන් දැනගැනීමට ලැබුණි. අන්වර්ථ නාමයකින් ලියන ලද ඒ කතාව පිළිබඳව ඒ දිනවල බොහෝ දෙනෙකු කතා කළහ. එය මගේ නිර්මාණයක් බව නොදැන, මගේම මිතුරන් පවා ඒ ලිපි පෙළ ඇගයීමක් කරනු ඇසීමෙන් මම තෘප්තියක් ලැබීමි. 


පුවත්පත් කාර්යාලයෙන් මගේ විස්තර ලබාගත් පොත් ප‍්‍රකාශයකයකු මා ඇමතුවේ මේ අතර ය. ඔහුගේ ඇරයුම පරිදි මම ඔහු හමුවීමට ගියෙමි. ඔහු මට ඇරයුම් කර සිටියේ අලුතින් තවත් නවකතාවක් ලියන ලෙස ය. තරුණ පාඨක පරපුර ග‍්‍රහණය කරගනු වස් මැදි වියේ විවාහකයකු හා පාසල් වියේ ලාබාල තරුණියක අතර ඇතිවෙන අනියම් ප්‍රේමයක් ගැන ලියන ලෙස ය ඔහු මට කීවේ. ජීවිතය අග්ගිස්සෙහි එහා මෙහා වැනෙමින් සිටින මට එවන් කතාවක් සඳහා නිර්ව්‍යාජ ප්‍රේමාන්විත හැඟීම් සිත තුළ මවාගැනීම අපහසු බව වැටහී ගිය ද, එවකට රෝගීව සිටි මට හදවත් සැත්කමක් සඳහා අවශ්‍යව තිබූ මුදලට සමාන මුදලක් පොත් ප‍්‍රකාශකයා විසින් ගෙවීමට පොරොන්දුවීම පිළිබඳව මම සැලකිලිමත් වීමි. ඔහුගේ යෝජනාවට මා විසින් කැමැත්ත පළකරනු ලැබුවේ ඒ නිසා ය. 


නිවසට පැමිණි මම දස අතේ කල්පනා කරන්නට වීමි. මා තරුණ වියේදී අත්විඳි ප්‍රේමයට වඩා අද ප්‍රේමය බොහෝ සේ වෙනස් ය. අද ප්‍රේමයේ භාෂාව ද එදා ප්‍රේමයේ බස නොවේ. තාත්විකව එවන් කතාවක් ලිවීමට තරම් ප්‍රේමාන්විත හැඟීම් වයස අවුරුදු හැත්තෑපහක් වූ මගේ සිත තුළ කෙසේ පිළිසිඳවා ගනිම්දැයි මම කල්පනා කරන්නට වීමි. 


අහඹු ලෙස ඒ මොහොතේ මා ඉදිරිපිට පෙරළී තිබුණු පුවත්පත් පිටුවේ වූ සඳැස් නිසදැස් කවි සියල්ල මම අරමුණකින් තොරව කියවන්නට වීමි. ප්‍රේමය- වියෝව- හුදකලාව පිළිබඳව ලියැවුණු ඒ කවි අතර, ඔබ විසින් ලියා තිබුණු කවියේ කිසියම් විශේෂත්වයක් මම දුටිමි. මාතර යුගයේ සිහිවටනයක් බඳු වූ ඔබේ නම ද ඔබ විසින් ලියා තිබුණු කවිය තරම් ම මා අමන්දානන්දයට පත් කළේය. 


ඔබේ කවියේ අකුරක් නෑර කීපවිටක් ම කියවීමේදී ඔබේ වයස හා ඔබේ මානසික තත්ත්වය පිළිබඳව අඩමාන වශයෙන් හෝ කිසියම් තක්සේරුවකට පැමිණීමට මට අපහසු නොවීය. ඔබේ කාව්‍ය ප‍්‍රතිභාව අනුව ඔබ කවියට ආධුනික නොවෙන බවක් ද මම දුටුවෙමි. මට අවශ්‍ය වූයේ ඔබ සොයා ඔබට ව්‍යාජව ප්‍රේමකර, මගේ පොත සඳහා තාරුණ්‍යයේ අත්දැකීම් ලබාගැනීමට ය. ඔබ වැන්නියකට මුහුණු පොතේ පිටුවක් නැතැයි සිතීම දුෂ්කර විය. එහෙත් ඒ වෙන විට මට එවන් තාක්ෂණයක් පිළිබඳ දැනුමක් නොවීය. මුහුණු පොත වැනි දේ තරුණ පරම්පරාවට මිස අපේ පරම්පරාවට අයත් නොවෙන දේ ලෙස සලකා බැහැර කර තිබුණේ මගේ මනාපය අනුව ම ය. ඔබ සොයාගැනීමේ ඒකායන අරමුණ නිසාම, මුහුණු පොත පිළිබඳව කිසියම් අවබෝධයක් පත්තර සගයකුගෙන් මම ලබාගතිමි. 


මා සිතුවා නිවැරදි ය. ඔබේ නම අනුව යමින් මුහුණු පොතේ ඔබේ පිටුව මම සොයාගතිමි. ඔබේ ඡායාරූපය වෙනුවට එහි පළකර තිබුණු ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය මූර්තිමත් කර තිබුණු ජපන් කබුකි වෙස්මුහුණ මට සිහිපත් කළේ දෙවෙන්දොරා සං, සංගෙන්ජාවෙහි විසිතුරු බඩු විකුණන වෙළෙඳෙසැලකින් මිලට ගෙන, තමන් සිහිවීම පිණිස තබාගන්නැයි නොරිකෝට තෑගි කළ ඇටවලින් සාදන ලද කුඩා වෙස්මුහුණ ය. ඔබේ කවිය පිළිබඳව මා විසින් මුහුණු පොතට තබන ලද මනාපයත්, මා විසින් ඉදිරිපත් කරන ලද මිත‍්‍රත්ව ඇරයුමත් ඔබ විසින් පිළිගනු ලැබීමට පැය දෙකකවත් කාලයක් ගතවූවේ නැත. දෛවය ඔබ මා මුණගැස්සුවේ එසේ ය. 


පෙම්වතාගේ අකල් මරණයෙන් එවකට කම්පිතව සිටි ඔබේ කතාව පොත් ප‍්‍රකාශකයාට විකිණීම සඳහා කතාවකට හොඳ වස්තු බීජයක් විය. ඔහු සමග ඔබ ගත කළ කාලය පිළිබඳව සියල්ල මා වෙත සැලකර සිටීමට තරම් මුහුණු පොත ඔස්සේ මම ඔබ යොමුකරවා ගතිමි. රහසිගතව වුවද පත් ඉරු අතර මා විසින් සටහන් කරන ලද්දේ ඔබේ ඒ කතාවය. ඔබේ කාව්‍යමය භාෂාවේ අංශුමාත‍්‍ර හෝ වෙනසක් කිරීමට මට අවශ්‍යතාවක් නොවීය. හද රැඳි දුක පැවසීමට ඔබ විසින් හසුරුවන ලද එම කාව්‍යමය භාෂාවට වඩා සුදුසු වෙනත් බසක් නොවීය. මගේ නිර්මාණය තුළ සටහන් වූවේ ඔබේ වදන් ම ය. 


ඔබේ කතාව ලියැවෙන අතරතුර වරින් වර මගේ හෘදයාබාධය උග‍්‍ර විය. වෛද්‍යවරුන් කීවේ වහාම ශල්‍යකර්මයකට මා භාජනය කළ යුතු බව ය. එහෙත් ඒ සඳහා අවැසි මුදල තවමත් මා අත නොවීය. මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් පොත ලියා නිමකර ප‍්‍රකාශකයාට භාරදී ගිවිසගත් මුදල ලබාගැනීමට ය. මගේ රෝගී තත්ත්වය නිසා මගේ බිරිඳ හෙලූ සුසුම් බලා සිටීමට මට තවත් නොහැකි විය. සියල්ල හැරපියා මා සමග පැමිණි ඇය, ජීවන මගෙහි අතරමග හැරදමා යාමට තරම් මට සිත් දුන්නේ නැත. 


ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය ප්‍රේමයකට පරිවර්තනය වීමට එතරම් කාලයක් ගතවූයේ නැත. මදින් මද ඔබ මා ග‍්‍රහණයට හසුකරගතිමි යැයි මා සිතුව ද, ඒ වෙන විට මම ද ඔබේ ග‍්‍රහණයට හසුව සිටියෙමි. මම ඔබට ප්‍රේම කරනන්ට වීමි. ඔබ වෙනුවෙන් උපන් ප්‍රේම සංකල්පනා සිතට ගලා එන්නට විය. මම ඒ සියල්ල ඔබට ලීවෙමි. ඔබ ද ඒ සැමට පිළිතුරු සැපවූවා ය. ඒ සියල්ල ඒ අයුරින්ම මගේ නිර්මාණය තුළ සටහන් විය. 


කෙතැනකදී හෝ අප හමුවෙමු යයි ඔබ ලියා එව්වා ය. දෛවය ලියා ඇත්තේ අප එකිනෙකා පසුකර යාමට මිස හමුවීමට නොවෙන බව මම ඔබට ලියා එව්වෙමි. ඔබ ඉන් වියරු වූවා ය. සියල්ල මෙතැනින් සමාප්ත යයි ඔබ මට ලීවා ය. එහෙත් ඒ වෙන විට මගේ නිර්මාණය නිමාවක් කරා පැමිණ තිබුණේ නැත. එයට සාර්ථක නිමාවක් සොයාගත යුතුව තිබුණි. ඔබ හා බැඳි පෙම එතැනින් අවසන් කළ නොහැකිව තිබුණේ එබැවිනි. අවසානයේදී එක් ඉරිදා දිනෙක කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හමුවෙමු යයි මා ඔබට ලියා එව්වේ ඒ නිසා ය. 


හඳුනාගනු පහසුවනු පිණිස රතු පැහැ සාරියකින් සැරසී එන බව ඔබ මට ලියා එවා තිබුණි. කළු කලිසමකින් සහ නිල් පැහැ කමිසයකින් සැරසී එන බවක් මා විසින් ඔබට ලියා එව්වද, මා එදා පැමිණියේ දුඹුරු පැහැ කලිසමකින් සහ සුදු පැහැ කමිසයකින් සැරසී ය. ඔබට ළංවන අවසන් මොහොතේ හෝ අවැසි වී නම් සියළු සැලසුම් වෙනස් කිරීමට මම සූදානම්ව සිටියෙමි. 


මම ඔබ දුටුවෙමි. ඒ ඔබම දැයි සැක හැර දැනගනු වස් මම ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් දුනිමි. ඔබේ දුරකථනය නාදවෙනු පවා ඇසෙන දුරකය මා සිටියේ. මම වහාම ඇමතුම විසන්ධි කළෙමි. ඒ ඔබ ය. මගේ දියණියටත් වඩා අඩු වයසක සිටින ඔබ ය. මට ප්‍රේම කරන ඔබ ය. මගේ හදවත ප්‍රේමයෙන් පුරවා ලූ ඔබ ය. 


ඔබට හොර රහසේ වුවද මම ඔබ අසලට වී ඔබ දැකබලා ගතිමි. පුදුමයෙන් මෙන් මදක් විවරවූ ඔබේ දෙනෙත, මහලු වුවද මගේ හදවත සසල කරවීය. එය සිහිපත් කළේ මා තරුණ වියේදී දුටු සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි චිත‍්‍රපටයේ දුර්ගාගේ දෙනෙත ය. කලෙක එවන් දෙනෙත් ඇත්තියක හා මම පෙමෙන් වෙළුනෙමි. ඒ අද මහලු වියේදී පවා මා අසලම සිටින මගේ බිරිඳ ය. ඒ දෙනෙතෙහි එදා වූ කාන්තිය හා ආකර්ෂණය දැන් මැකී ගොස් ය. මගේ හෘදයාබාධය නිසා ඇය ද පීඩනයට පත්ව වැහැරී ගොසින් ය. 


අපේ හමුවීම ප‍්‍රමාද වෙන විට ඔබ නොඉවසිලිමත් වෙනු මම ඔබ අසලටම වී බලා සිටියෙමි. ඔබ නොඉවසිලිමත්ව වටපිට බැලූවා ය. කළු කලිසමකින් හා නිල් පැහැ කමිසයකින් සැරසුණු තරුණයකු ඔබ සෙව්වා නිසැකය. එහෙත් දුඹුරු පැහැ කලිසමකින් හා සුදු පැහැ කමිසයකින් සැරසුණු වයෝවෘද්ධ මම, ඔබ අසලටම වී ඔබ දෙස බලා සිටියෙමි. ඔබේ සියළු ඉරියව් මම අධ්‍යයනය කළෙමි. ඒ සියල්ල පොතේ පරිච්ෙඡ්ද කීපයකට ප‍්‍රමාණවත් විය. 


ඔබට ළංවී කතා කිරීමට තදබල ආශාවක් මා තුළ ලියලමින් තිබුණ ද, ඔබ වැනි තරුණ ලඳකට පෙම් බැඳි මහල්ලකු ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට මම බිය වීමි. 


එදින රාත‍්‍රී මට නින්දක් නොවීය. ඔබ දුටු පසුව කතාවේ බොහෝ තැන් වෙනස් කළ යුතුව තිබුණි. ඔබේ හැඩරුව පිළිබඳව අලුතින් ම ලිවිය යුතු විය. මෙතෙක් කල්පිතයෙහි මවාගත් ඔබේ රුවට වඩා සැබෑ ඔබ බොහෝ සේ රූමත් ය. ඔබේ හැඩරුව පිළිබඳවත්, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඔබ මෙතෙක් නොදුටු පෙම්වතා බලාපොරොත්තුවෙන් සිටි අන්දමත්, හදිසියේ යෙදුණු කටයුත්තක් හේතුවෙන් පැමිණිය නොහැකි බව දන්වා මා විසින් ඔබේ ජංගම දුරකථනයට තබන ලද කෙටි පණිවිඩයෙන් පසුව ඔබ කෝපයට පත්වූ ආකාරයත්, මම සවිස්තරාත්මකව මගේ නිර්මාණය තුළ සටහන් කළෙමි. 


පෙම්වතාගේ නොපැමිණීමෙන් කෝපයට පත් ඔබ, පානදුර දුම්රිය වේදිකාව වෙත ගිය ගමන තරම් සිත්ගන්නාසුළු කාන්තා ගමනක් මම ඊට පෙර දැක තිබුණේම නැත. ඔබ සමගම පානදුර දුම්රියට නැගගත් මම ඔබ ගමන්ගත් මැදිරියේ ම පානදුර දක්වා පැමිණියෙමි. ඒ ගමනේදී හොර රහසේ ම ඔබේ රුව මගේ ජංගම දුරකථනයේ සටහන් කරගැනීමට තරම් මගේ සිත මුරණ්ඩු විය. ඒ ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් මේ මොහොතේ ද මගේ මේසය මත ඇත. එදා ඔබ නළලේ පොට්ටුවක් තබා තිබුණු බවක් මා දුටුවේ ඒ ඡායාරූපයෙනි. පොට්ටුවෙන් වඩාත් අලංකාරවූ ඔබේ මුහුණ පිළිබඳව මිස ඔබ පොට්ටුවක් තබා තිබුණේ ඇයිදැයි මා සිතන්නේ නැත. 


මගේ කතාවේ කතානායිකාවට දී තිබුණු නම කිසිසේත් ම ගැළපුනේ නැතැයි මම ඔබ දුටු පසුව තීරණය කළෙමි. වෙනත් බොහෝ නම් පිිළිබඳව සිතුවද ඒ කිසිවක් ඔබ හා සැසඳුනේම නැත. එම චරිතය සඳහා ගැළපුනේ ඔබේ ම නම පමණි. මම ඔබේ සැබෑ නම ද මගේ නිර්මාණයේ එලෙසින් ම සටහන් කර තැබුවෙමි. 


කතාව ලියා අවසන් වෙන විට හිරිමල් වියේ කොළුගැටයෙකු මෙන් මම ඔබ හා පෙමින් වෙලී සිටියෙමි. එහෙත් මා වැනි වයෝවෘද්ධයකුගේ ප්‍රේමයක් ඔබට නොගැළපෙන බව මගේ හෘදසාක්ෂිය කියයි. ඔබ යළි යළි දැකීමට සිත පොරකෑවද මම එය ආයාසයෙන් මැඩගනිමි. අප හමු වූයේ එකිනෙකා පසුකර යාමට පමණි. 


පොතේ අවසන් වැකියත් සමගම සියල්ල නිමාවට පත්කළ යුතු මෙහොත එළඹ තිබුණි. ඔබ හමුවී සියල්ල පැවසිය යුතු යැයි විටෙක මා සිතුවද ඒ සඳහා මම බිය වීමි. එවන් මොහොතක ඔබගේ ප‍්‍රතික‍්‍රියාව කෙබඳු විය හැකි දැයි මට සිතාගැනීමට පවා නොහැකි ය. ඔබ හමුවී සියල්ල පැවසුවේ නම් ඔබ කෝපවෙනු නිසැක ය. පරුෂ බස් දොඩනු ඇත. ඉන් ඔබ්බට ගොස් මට පහර දීමට ද බැරි නැත. ඔබ මා මරා දැමුවේ නම්, මේ කතාව අසන මුළු ලොවම ඔබගේ නිදොස් බව පිළිගනු ඇත. 


ලියා අවසන් කළ පොත ප‍්‍රකාශකයා වෙත භාරදුන් විගස මා කළේ මගේ මුහුණුපොත පිටුව ඉරා දැමීම ය. මගේ දුරකථන අංකය ද මාරුකර ගතිමි. රහසින් වුවද ඔබ පිළිබඳව සොයාබැලීමට අවශ්‍ය දේ මා සතුව තිබුණද ඔබට මා කිසි දිනෙක සොයාගත නොහැකි වෙන ලෙස සියල්ල සකසා ගතිමි. පොත පවා මා විසින් ලියා ඇත්තේ අන්වර්ථ නාමයකිනි. ජීවිතය මිස නාමයකින් මට ඵලක් නැත. 


පොත් ප‍්‍රකාශක සමාගම වෙතින් පොරොන්දු මුදල ලද විගස මා කළේ හදවත් සැත්කම සඳහා රෝහල්ගත වීම ය. සැත්කමට පෙර කළ යුතු වූ වෛද්‍ය පරීක්ෂණයන් රැසක් විය. ඇතැම් පරීක්ෂණයක වාර්තාවක් වැරදී ඇතැයි කියමින් වෛද්‍යවරු ඒවා නැවත නැවත කළහ. එහෙත් අවසානයේදී තීරණය වූවේ මා තවදුරටත් හෘදයාබාධයෙන් නොපෙලෙන බව ය. මා හට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් පුදුමයට පත්කරමින් මා සම්පූර්ණයෙන් ම සුවය ලබා තිබුණි. එය ප‍්‍රාතිහාර්යයක් ම විය. හිරිමල් වියේ කොළුගැටයකුගේ හදවත මෙන් මගේ හදවත නිරෝගී බව වෛද්‍යවරු තීරණය කළහ. ඒ පෙළහර පෑවේ ඔබේ ප්‍රේමය යයි මම තරයේ සිතමි. 


මේ ලිපිය කියවන විට ස්වභාවයෙන් ම විශ්මයෙන් මෙන් විවරව ඇති ඔබේ දෙනෙත තවත් විවර වෙන බව මම දනිමි. වසර පහක් තුළ ඔබ සතු සියල්ල පූජාකළ ඔබගේ මුල්ම ප්‍රේමය මාස හතරක් වැනි කාලයක් තුළ අමතක කිරීමට තරම් සමත්වූ ඔබට, කිසිදා නොදුටු මගේ වයෝවෘද්ධ ප්‍රේමය අමතක කිරීම අපහසු නොවෙනු ඇත. මට නම් ඒ සියල්ල දැනුදු සිහිනයක් සේ ය. මට කළ හැක්කේ ඔබගෙන් සමාව අයැදීම පමණි. ඔබගේ ජීවිතයේ දුක් දොම්නස් පිරුණු කලෙක, ඔබගේ විප්පයෝගයෙන් මා විසින් ගන්නා ලද අයුතු ප‍්‍රයෝජනය පිළිබඳව මට සමාවෙන්න. මට අවැසි වූයේ මගේ බිරිඳ සමග තවත් එක්දිනක් හෝ වැඩිපුර ජීවත්වීමට ය. මම යළිත් ඔබට කියමි. ඇය ජීවන මගෙහි තනිකර දමා යාමට තරම් මට තවමත් සිත් දෙන්නේ නැත. 


(මේ සියල්ල මා මනසේ උපන් කල්පිතයක් පමණි)
රන්ජිත් කොස්තා රෝමය, ඉතාලිය.