බෙත්ලෙහෙම් ගවලෙනේ නිහඬ වීරයා


 

මෙවර නත්තල සඳහා නාපෝලි කලා සම්ප‍්‍රදායට අනුව ගවලෙනක් නිර්මාණය කිරීමේ අදහස මා සිත තුළ තැන්පත් වූයේ මීට මාස කීපයකට පෙරදී ය. විවේක ලද අවස්ථාවල මදින් මද කරන ලද මෙම නිර්මාණය නිමාවට පත් කරන ලද්දේ ඊයේ ය. නගරයෙන් වෙන්වූ කඳුකර ෙපදෙසක දුගී පරිසරයක් පෙන්නුම් කරන ගවලෙන දෙස බලා සිටිද්දී සිතට නැගෙන්නේ හුදකලාව මුසුවූ වේදනාත්මක හැඟීමක් ය. එම සිතුවිලි අතර ගවලෙනේ අනෙකුත් සියලුම චරිත බොඳවී ගොස්, ‘‘ජුසේ’’ ගේ චරිතය දැවැන්ත ප‍්‍රතිරූපයක්සේ සිත අරක් ගනී. 


මීට වසර දෙදහස් දාහතකට පෙර එවකට රෝම අධිරාජ්‍ය පාලනය කළ කයිසර් අඋගූස්තො අධිරාජ්‍යයාගේ නියෝගයකට අනුව, රෝම අධිරාජ්‍යයට අයත් 


ප‍්‍රදේශය තුළ ජන සංගණනයක් කළ යුතු විය. මෙම සංගණනය සඳහා අධිරාජ්‍යයට අයත් වැසියෝ තම උපන් ගම වෙත යා යුතු ය. ගලීලයේ නාසරෙත්හි වඩු කාර්මික ජුසේ උපත ලබා තිබුණේ ජුදයේ බෙත්ලෙහෙම් නගරයේ ය. ඒ අනුව ඔහු සංගණනය සඳහා තමා උපන් නගරය වූ බෙත්ලෙහෙමට යා යුතු විය. 


ජුසේගේ බිරිඳ මරියා ගැබ්බර ය. ගලීලයේ නාසරෙත්හි සිට ජුදයේ බෙත්ලෙහෙමට ළගපාත ගමනක් නොවේ. (අද පවතින මිනුම්දඬුවලට අනුව සෘජු ගුවන් මාර්ගයෙන් වුවද මෙම නගර දෙක අතර කි. මී. එකසිය දහයක දුරක් ඇත. නව අධිවේගී මාර්ග අංක හය ඔස්සේ නාසරෙත්හි සිට බෙත්ලෙහෙම දක්වා කි. මී. එකසිය පනස්දෙකක දුරකි) මෙය එදා දින සති නොව මාස ගණනක පා ගමනකි. එහෙත් අධිරාජ්‍යයාගේ අණ කඩකර රාජ උදහසට ලක්විය නොහැකිය. පුරුෂ මූලික සමාජයක පවුලේ කටයුතු තීරණය කළ යුතු වූයේ ජුසේ ය. ඔහු ගැබ්බර මරියා ද සමඟින් නාසරෙත්හි සිට බෙත්ලෙහෙම දක්වා යාමේ දීර්ග පාද යාත‍්‍රාව සඳහා මගට බැස්සේ ය. 


තවලම් නඩ සමඟ රාත‍්‍රි කාලයේ ගමන ද, තද හිරු තාපය ඇති දහවල ගිමන් හැරීම ද, කාන්තාර ගමනේ ස්වරූපයයි. රාත‍්‍රි ගමනේදී ඔවුන්ගේ මාර්ගෝපදේශකයා වූයේ අහසේ තරු ය. එවකට එම ශාස්ත‍්‍රය සියල්ලෝම පාහේ දැන සිටියහ. 


කාන්තාරයේ රාත‍්‍රිය සීතල ය. දහවල ගිනියම් ය. මේසා දීර්ග පා ගමනක් ගැබ්බර මරියාට ඔරොත්තු නොදෙන තරම් ය. ජුසේ ඇය ධෛර්යමත් කරයි. වරෙක ඔහු ඇය වත්තන් කරගෙන ගමන් කළේ ය. තවත් වරෙක බූරුවකු පිට හිඳවාගෙන ගමන් කළේ ය. ගතවෙන සෑම මොහොතක්, පැයක්, දවසක්ම ඇය ප‍්‍රසූත හෝරාව කරා ළඟා කරවයි. මෙම ගමන සඳහා කොපමන කලක් ගතවීදැයි ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව නැත. 


දීර්ග පාද යාත‍්‍රාවකින් පසුව ඔවුහු බෙත්ලෙහෙමට පැමිණෙති. හතරවටින්ම 
රාත‍්‍රිය ගලා එයි. කාන්තාරයට රාත‍්‍රිය ගලන්නේ සීතල ද සමගින් ය. මරියාට 


ප‍්‍රසූත හෝරාව එළෙඹ ඇත. ඇය විළි රුදාවෙන් පෙළෙයි. මරියා ගැබ්බර බැවින් ඔවුන් දෙදෙනාට සෙවන දීමට විසල් බෙත්ලෙහෙම් නගරයේ අගුපිළක්වත් සූදානම් නැත. තම බිරිඳගේ දරු ප‍්‍රසූතිය සඳහා නගර කොණ ගවමඩුවක් ජුසේ තෝරාගනී. මොහොත පැමිණ ඇත. පිදුරු මිටි යහන බවට සදන ඔහු ඇය එහි සතපයි. 


දරු ප‍්‍රසූතියෙන් පසුව මරියා පිදුරු මත වැතිර ගිමන් හරී. අනාගතයේ කවුරුන් විය හැකි වුවද, හව්හරණක් නැතිව ගවමඩුවක උපත ලබා පිදුරු මත සතපා සිටින්නේ ඔවුන්ගේ කුළුදුල් දරුවා ය. අසරණ බව තැවරුණු පීතෘ සෙනෙහසින් ඔහු දරුවා අසලට වී සිටී. 


රාත‍්‍රි කාලයේ කාන්තාරයේ බැටළුවන් රැකබලා ගන්නා ගොපල්ලෝ කීපදෙනෙකු අන්ධකාරයේම ගවලෙන කරා පැමිණෙති. දේවදූතයෙකු ඔවුන්ට දර්ශනයවී ලොවට සාමය උදාකරන තැනන්වහන්සේ බෙත්ලෙහෙම්හි ගවමඩුවක උපත ලබා ඇති බව ඔවුන්ට කිවූ බවක් පවසති. ශාස්ත‍්‍රකරුවන්ගේ අනාවැකි අනුව ලොවට රජු වීමට නියමිතව බෙත්ලෙහෙම්හි ගවලෙනක උපත ලද බිළිඳා දැක පුදපඬුරු ඔප්පු කිරීම සඳහා පෙරදිග සිට පැමිණෙන ප‍්‍රභූවරු තවමත් මග ය. සියල්ල ගුප්ත ය. ගාම්භීර ය. තම බිරිඳට හා දරුවාට රැකවරණය සලසමින් මේ සියල්ල දෙස නිහතමානීව බලා සිටින්නේ නාසරෙත්හි දුප්පත් වඩුරාළ ජුසේ ය. බිළිඳු පුතුට උණුසුම සදමින් සිටින ඔහු හිස ඔසවා අඳුර දෙස බලයි. තම පවුලට අගුපිළකවත් සෙවන නොදුන් බෙත්ලෙහෙම් සුවිසල් නගරයේ තැන තැන දැල්වෙන මළානික පන්දම් එළි පමණි ඔහු දකින්නේ. 


මතෙව්, ලූක්, මාර්ක් හා ජුවාම් යන ශුද්ධවරුන් විසින් ලියන ලද සුභාරංචි සතරින් ජේසු උපත පිළිබඳව සටන්කර ඇත්තේ ශුද්ධවූ මතෙව් හා ශුද්ධවූ ලූක් පමණි. ශුද්ධවූ ලූක් විසින් ලියන ලද සුභාරංචියේ 2. 16 ‘‘(එඬේරු) වහාම ගොස් මරියා ද යෝසෙප් ද ගවයන් කන ඔරුවේ තබා උන් ළදරුවා ද දුටුවෝය’’ ලෙස ජුසේ පිළිබඳව යන්තමින් වුවද සටහන් කර ඇත. එහෙත් මතෙව් සුභාරංචියේ 2 11 ‘‘ඔවුහු (පෙරදිගින් පැමිණි ප‍්‍රභූවරු) ගෙට වැද ළදරුවා ස්වකීය මව වූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාර කර ....’’ ලෙස පමණක් සටහන්ව ඇත. එහි බෙත්ලෙහෙම් ගවලෙනේ සිටි ජුසේ පිළිබඳව කිසිම සටහනක් නැත. සැබෑ විරුවන්ගේ ඉරණමින් ගැලවී යාමට ජුසේට ද නොහැකිවූවා සේ ය.

යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ රෝමය ඉතාලිය.