බහරේන් රාජ්‍යයේ ප්‍රථම ස්තූපයේ රන් කොත නිරාවරණය වෙයි


තානාපති ආචාර්ය මෙන්ඩිස් සහ සුමිත් ගුණසේකර යන මහත්වරු සමග ආරාධිතයින් කොත්වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයේදී.  

 

 

2008 වර්ෂ​ෙය් දී පිහිටුවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන ‘අපේ පන්සල රෆා’ හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවය ජුනි මස 08 වැනි දින පස්වරු අටයි පහළොවට යෙදුනු සුබ මොහොතින් බහරේන් රාජ්‍යයේ තානාපති ආචාර්ය ඒ. සජ් යූ. මෙන්ඩිස් මැතිතුමාගේ සුරතින් සිදු කරන ලදී.   


දශකයකට එහා අතීතයකට හිමිකම් කියන රෆා ප්‍රදේශ​ෙය් පවත්වාගෙන යනු ලබන ‘අපේ පන්සල රෆා’ විහාරස්ථානය බහරේන් රාජ්‍යයේ පමණක් නොව සමස්ත මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටුවනු ලැබූ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වේ. බහරේන්හි වෙසෙන සුමිත් ගුණසේකර මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ දූරදර්ශී නායකත්වයෙන් බිහිවුණු මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වූ චෛත්‍යරාජයාණන් වන රන්කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යකර්මය තානාපති තුමාගේ සුරතින් බහරේන් වෙසෙන බෞද්ධ, කිතුනු, ඉස්ලාම් සහ හින්දු යනාදී සියලුම ආගම්වල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදිනි.   


අභිනවයෙන් ඉදිවූ මෙම ස්තූපය මැද පෙරදිග කලාපයේ ඉදිවූ ප්‍රථම බෞද්ධාගමික ස්තූපය විය හැකි අතර මෙමගින් බහරේන් රාජ්‍යයේ පවතින ආගමික සංහිඳියාව මැනවින් නිරූපනය කරයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට වැඩම කර වූ බුදු පිළිම සහ බෝධි වෘක්ෂයකින් සමන්විත වන මෙම විහාරස්ථානය, ශ්‍රී ලාංකික බෞද්ධාගමිකයන්හට තම ආමික වතාවත් සිදු කිරීම සඳහා මහෝපකාරී වේ. බහරේනයේ වෙසෙන අනෙකුත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් සඳහා බහරේන් රාජ්‍යයේ ස්ථාපිත ආගමික ස්ථාන පවතින බැවින් ‘අපේ පන්සල රෆා’ ශ්‍රී ලාංකික බෞද්ධගාමිකයන්ට තම ආධ්‍යාත්මික ගුණධර්ම හා ආගමික ඉැන්වීම් වැඩි දියුණු කර ගැනීමට උපකාරීවන තෝතැන්නක් වනු නොඅනුමානය.   


මෙහිදී අදහදස් දැක්වූ අපේ පන්සල රෆා හි භාරකරු සුමිත් ගුණසේකර මහතා මෙම ස්තූපය ඔහුගේ සහ බහරේනයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මාස 06 ක පමණ කාලයක අඛණ්ඩ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කළ අතර රන් වර්ණාලේපිත කොත් වහන්සේ ශ්‍රී ලංකාවේදී නිර්මාණය කර වැඩම වූ බව පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම පන්සල බෞද්ධාගමිකයන් පමණක් නොව බහරේන්හි වෙසෙන අන්‍යාගමික ජනයා ද නිතර ගැවසෙන සහ ආගමික සංහිඳියාව පවත්වා ගැනීම සඳහා යොදා ගනු ලබන ස්ථානයක් බවය.   


තානාපති ආචාර්ය මෙන්ඩිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ බහරේනයේ ඇති ස්තුපයකින් සමන්විත වන එකම විහාරස්ථානය වන මෙය තිලෝගුරු බුදු රජාණන්වහන්සේගේ දර්ශනය ක්‍රමානුකූලව ඉගෙන ගැනීමට සහ ඉදිරියට ගෙන යාම සඳහා බෙහෙවින් උපකාරී වන බවය.   


විහාරස්ථානයේ ප්‍රධාන දායකයකුවන සුදේශ් කරුණාතිලක මහතා අදහස් දක්වමින්, මෙම විහාරස්ථානය ගොඩ නැගීම සහ පවත්වාගෙන යාම සඳහා භාරකරු වන සුමිත් ගුණසේකර මහතා විසින් සිදු කරනු ලබන විසල් සේවාව ඇගයීමට ලක් කරන ලදී.