බල්ලන් බලාගැනීමත් නීත්‍යානුකූල රැකියාවක් ලෙස ඉතාලියේ ලයිස්තුගත වෙයි


 

ආයාවරියන් (හවුස් මේඩ්) උපස්ථායික, උපස්ථායිකාවන් මෙන්ම බල්ලන් බලාගැනීම (DOG SITTING) ද නීත්‍යානුකූල රැකියාවක් ලෙස ලයිස්තුගත කිරීමට ඉතාලි විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල තීරණය කර ඇත. මේ අනුව බල්ලන් බලාගැනීම අර්ධකාලීන වෘත්තියක් ලෙස කොන්ත්‍රාතුගත කිරීමට හැකිවෙන අතර, එම කොන්ත්‍රාත්තුව යටතේ වෘත්තිකයාට ඉතාලි විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදලේ ද‌ායකත්වය ලැබීමේ වරප්‍රසාදය ද ලැබෙනු ඇත. 


ඉතාලියේ සුරතල් සතුන් පිළිබඳ ක්‍රියාකාරී සංවිධානයක වාර්තාවට අනුව ඉතාලියේ බල්ලන් බලාගන්නන් පනස්හතරදහසක් පමණ සිටිති. මෙම වෘත්තියේ යෙදෙන්නන් වැඩි වශයෙන්ම සිටින්නේ මිලානෝ නගරයේ වන අතර, ඊළඟට අනුපිළිවෙලින් රෝමය සහ ටොරිනෝ ද මෙම ලයිස්තුවට ඇතුළත්ව ඇත. නගරයෙන් නගරයට සිදුවෙන වෙනස්කම් අනුව පැයකට යුරෝ පහේ සිට එකොළහ දක්වා වෙන වැටුපක් බල්ලන් බලාගැනීම සඳහා ගෙවන බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වෙන පාසල් නිවාඩු කාලය තුළ, වයස අවුරුදු විසිහතරට අඩු තරුණ පිරිසක් තාවකාලිකව මෙම රැකියාව බලාපොරොත්තුවෙන් රැකියා ඒජන්සිවල ලියාපදිංචි වෙන බව ද, ඒ අනුව එම කාලය තුළ මෙම රැකියාව බලාපොරොත්තු වන්නන්ගේ සංඛ්‍යාව 52% කින් ඉහළ යන බව ද “යූ පීස් රැකියා ඒජන්සිය” ප්‍රකාශ කරයි. 


ක්‍රීඩා සඳහා සුනඛයන් පුහුණු කරන ඉතාලි ආයතනය පවසන පරිදි, උක්ත වෘත්තියේ යෙදීම සඳහා සත්ව කරුණාව පමණක් ප්‍රමාණවත් නොවේ. සතුන් හීලෑ කර ගැනීමේ පළපුරුද්ද, හදිසි ආපද‌ාවකදී කළමනාකරණය, සත්ව මෙන්ම එම විෂයේදී මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුම ද මෙම වෘත්තීය සඳහා අවැසිය. බල්ලන්ගේ වර්ගය අනුව ඔවුන්ගේ ගති ස්වාභාවය ද වෙනස් වෙන බැවින්, ඒ පිළිබඳ දැනුම සුවිශේෂී ය. 


ඉතාලි දණ්ඩනීති සංග්‍රහයට අනුව සුරතල් සතුන්ගෙන් සිදුවන සත්ව මෙන්ම පුද්ගල ශාරීරික හානි ද, පෞද්ගලික හෝ පොදු දේපොළ හානි වන්දි ද, වගකිවයුතු සත්වයාගේ හිමිකරුගේ ගිණුමට බැරවේ. කුලී පදනමක් මත දෙවැනි පාර්ශ්වයක් විසින් සත්වයන් බලාගැනීමේදී මෙම වගකීම එම රැකවලුන්ට පැවරේ. මේ හේතුවෙන් අද‌ාළ නීතිමය කාරණාවන් පිළිබඳ දැනුම ද මෙම වෘත්තිය සඳහා අමතර සුදුසුකමක් වෙනු ඇත. මේ සඳහා දැනටමත් ඉතාලි “ග්‍රීන් ඩෝග්ස්” ආයතනය අද‌ාළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නගර කීපයක අරඹා ඇත. 


රඟහල්, සිනෙමාශාලා, දේවස්ථාන, කෞතුකාගාර වැනි බල්ලන් කැටුව ඇතුළුවීම තහනම් ස්ථාන ඉදිරිපිට බල්ලන් බලාගැනීමේ සේවාවන් සැපයීම සඳහා ඉතාලි “බව් ඇඩ්වයිසර්” ආයතනය නගර කීපයක තම සේවා සැපයීමේ ඒකක පිහිටුවා ඇත. 

 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය.