බන්ධනාගාරයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයා රෝමයේදී කාන්තාවක දූෂණය කරයි


මිනීමැරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගතව සිට යහපත් හැසිරීම වරප්‍රසාදය යටතේ වසර දොළසකට පසුව නිදහස ලබා පැමිණි ශ්‍රී ලාංකිකයකු, ඊට දින හතකට පසුව රෝමයේදී ශ්‍රී ලාංකික කාන්තාවක දූෂණය කිරීමේ වරදට යළි පොලිස් අත්අඩංගුවට පත් බව රෝම පොලිස් මූලස්ථානය වාර්තා කරයි. 


පනස් දෙහැවිරිදි උක්ත ශ්‍රී ලාංකිකයා ඉතාලියේදී මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගතව සිට, යහපත් හැසිරීම වරප්‍රසාදය යටතේ නිදහස ලබා ඇත්තේ ඔක්තෝබර් මස පස්වැනිදා ය. ඉන්පසු රෝමයට පැමිණ ඇති ඔහු නේවාසිකාගාරයක කාමරයක් කුලියට ගෙන එහි රැඳී සිට ඇත. ඔක්තෝබර් මස දොළොස්වැනිදා අලුයම එම නේවාසිකාගාරයේ ම වෙනත් කාමරයක දොර කඩා ඇතුළුව, එහි නිදා සිටි වයස අවුරුදු තිස්පහක ශ්‍රී ලාංකික කාන්තාවක පිහියක් පෙන්වා මරණීය තර්ජන කරමින් දූෂණය කර පළාගොස් ඇත. දූෂකයා සමඟ පොරබැදීමේදී බරපතළ තුවාල ලද කාන්තාව රෝහල්ගත වී ඇති අතර, ඇය බලහත්කාරයෙන් ලිංගික අපචාරයකට ලක්කර ඇති බව වෛද්‍ය වාර්තාව වැඩිදුරටත් සහතික කරයි. 


දූෂණයට ලක්වූ කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකරු පළායමින් සිටියදී රෝමයට කි.මී. දෙසීයක් පමණ ඈතින් පිහිටි බොලොඤ්ඤා නගරයේ මධ්‍යම දුම්රියපොළ ආසන්නයේදී එදිනම රාත්‍රී දොළහට පමණ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරෙනතුරු විශේෂ නියෝගයක් මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව පොලිස් වාර්තාව වැඩිදුරටත් කියයි. 


ගැස්කොන් ලාසරස් - රෝමය, ඉතාලිය.