බකිංහැම් මාලිගය තවත් කිරිල්ලියක සිර කළා ද ?


 

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකාව වන හැරී කුමරුගේ ඇමෙරිකානු ජාතික බිරිඳ මෙගන් මර්කල්ගේ පියා වන තෝමස් මර්කල් විසින් ලන්ඩනයේ පළවෙන SUN ON SUNDAY පුවත්පතට ලිපියක් ලියමින්, ඔහුගේ දියණිය බකිංහැම් මාලිගයේ සිරගතවූ කිරිල්ලියක ලෙස දුකසේ කාලය ගතකරන බව දන්වා ඇත. හැරී කුමරුන් සමග ඔහුගේ දියණිය විවාහ වීමට පෙර ඇගේ ඉරියව් සහ අද ඇගේ ඉරියව් නිරීක්ෂණය කිරීමේදී, ඇය දුක සඟවාගෙන සිනහව පෙන්නුම් කරන බව පැහැදිළි බව තෝමස් මර්කල් ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. 


තෝමස් මර්කල් විසින් තම දියණිය හමුවීම සඳහා අවසර පතා බකිංහැම් මාලිගයට යවා ඇති ලිපිවලට, මෙතෙක් කිසිම පිළිතුරක් නොලැබුණු බව උක්ත ලිපියේ සඳහන්ව ඇත. මෙගන් මර්කල්ගේ සහ හැරී කුමරුන්ගේ විවාහ උත්සවයට මනාලියගේ පියා ලෙස තමන්ට සහභාගී වීම වැලකීම පිළිබඳව තෝමස් මර්කල් රජ පවුලට චෝදනා කරයි. ඔහු කියන්නේ සියල්ල රජ පවුලේ සැලසුමකට අනුව සිදුවූ බව ය. කොටින්ම ඔහු කියන්නේ හැරී කුමරුගේ මෙහෙසියගේ පියා ලෙස ඔහු වැද්දගැනීමට රජ පවුල අකමැති බව ය. උක්ත ලිපියෙන් කියැවෙන්නේ පියකු ලෙස තම දියණිය සමග සබඳතා පැවැත්වීමට බාධා ඇතිවූ පියෙකුගේ සැබෑ වේදනාවද යන්න පිළිබඳව මත ගැටුමක් ඇත. 


රාජකීයයක ලෙස උත්සව වල ප්‍රධාන චරිතයකට මෙගන් කුමරිය තවමත් ආධුනික ය. ඇය තවමත් රජ පවුලේ ඇවැතුම් පිළිබඳව හදාරමින් සිටින්නී ය. සාමාන්‍ය පුරවැසියකව සිට රජ පවුලට නවකියක ලෙස රාජකීය වාතාවරණය තුළ තැතිගැන්මක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. ඇගේ ඇඳුම් පැළදුම් පිළිබඳව පමණක් නොව, ඇගේ ඉරියව් හැසිරීම් කතාබහ පිළිබඳව ද තීරණය වෙන්නේ වගකිවයුතු වෙනත් අයගේ මග පෙන්වීම මත ය. කොටින්ම ඇයගේ සිරුරේ හැඩය පවා තීරණය වෙන්නේ ඇඳුම් මෝස්තර නිර්මාණ කරුවන්ගේ උපදෙස් මත ය. රජ පවුලේ සාමාජිකයෝ ඇඳිය යුත්තේ ඉහළම පෙළේ ඇඳුම් මෝස්තර නිර්මාණකරුවන් විසින් නිෂ්පාදිත ඇඳුම් ය. මෙම වාතාවරණය යටතේ දැනටමත් ඇය ආතතියට පත්ව සිටී. මෙගන් කුමරියගේ ශරීරයේ දැන් බර කි.ග්‍රෑ. 46 ක් බව මෑතකදී එක්තරා බ්‍රිතාන්‍ය පුවත්පතක් වාර්තා කර තිබුණි. 


මෙගන් කුමරියගේ සැබෑ පසුතැවිල්ල වෙන්නේ ඇයගේ ගමන් බිමන් පමණක් නොව ඇයගේ කියුම් කෙරුම් ඉරියව් පිළිබඳව ද ප්‍රවෘත්ති මාධ්‍ය ඇසගසාගෙන සිටීම ය. 1995 වසරේදී බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් අමතා ඩයනා කුමරිය පවසා තිබුනේ, තම පෞද්ගලික නිදහස විනාශ කිරීම පිළිබඳව ප්‍රවෘත්ති මාධ්‍ය වගකිව යුතු බවකි. රාජකීය පවුලේ සාමාජිකයකු විසින් රාජකීය ගෞරවයට එරෙහි යමක් සිදුවේදැයි ප්‍රවෘත්ති මාධ්‍ය නිතරම ඇස ගසාගෙන සිටී. මෙය සාමාන්‍ය පුරවැසියකුගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, නිදහසේ භුක්ති විඳීමේ වරම රාජකීයයන්ට සීමා කිරීමකි. 

 


මෙගන් මර්කල් ආතතියට පත්කිරීම පිළිබඳව ඇයගේ පියා විසින් චෝදනා කරනු ලබන්නේ හැරී කුමරුන්ගේ මිත්තනිය වන එලිසබෙත් මහ රැජිනට ය. සියල්ල සිදුවෙන්නේ මහ රැජිනගේ අනසකින් බව ඔහු කියයි. 
තෝමස් මර්කල්ගේ ලිපියේ කොටසකින් වින්ඩ්සර් රජ පවුල ද අමතා ඇත. “මම හැරී කුමරුගේ බිරිඳගේ පියා ය. මට අවශ්‍ය මගේ දියණිය දැකබලා ගැනීමට පමණි. කරුණාකර එයට මට අවසර දෙන්න”. ඒ මෙගන් කුමරියගේ පියා රජ පවුලෙන් කරන ඉල්ලීම ය. 


අවසන් වශයෙන් තෝමස් මර්කල් මෙසේ ලියා ඇත. “මගේ දියණියට කීමට පණිවිඩයක් ඇත. මගෙන් මගේ දියණියට කිසියම් වරදක් සිදුවුණි නම් මම ඒ පිළිබඳව කණගාටු වෙමි. එහෙත් පියෙකු ලෙස මා තුළ ඇය කෙරෙහි ඇත්තේ මහමෙරක් තරම් වූ ආදරයකි. කොයි මොහොතක මගේ මරණය ළඟා වේදැයි මම නොදනිමි. මගේ දියණියට අවශ්‍යව ඇත්තේ අපේ ජීවිත පරිච්ඡේදය එසේ අවසන් කිරීමට ද? මට ඇය දැකගැනීමට අවශ්‍ය ය. ආරාධනයක් ඇතිව හෝ ආරාධනයක් නැතිව මම ඇය දැකගැනීමට ලන්ඩනයට ඒමට තීරණය කර ඇත්තෙමි.” 


තෝමස් මර්කල් තම දියණිය මෙගන් බාලකාලයේදීම හැරගිය පියා ය. පසුව වෙනත් විවාහයක් කරගත් ඔහු එයින් ද දරුවන් ලැබූවෙකි. ඔහු වෙතින් තම දියණිය අරඹයා පැහැර හරින ලද යුතුකම් බොහෝ ය. ඔහු හොලිවුඩ් හි චිත්‍රපට සඳහා සේවය කළ විදුලි ආලෝක පාලකවරයෙකි. අද ඔහුගේ පදිංචිය මෙක්සිකෝවේ ය. ඔහු විසින් එදා හැර ගිය දියණිය අද සසෙක්ස් හි ආදිපාදවරියයි. දියණියගේ විවාහ මංගල්‍යයට එංගලන්තයට යන අතරමග ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේදී දුවගේ විවාහයට ඇඳීමට සුදුසු ඇඳුමක හැඩ බලන ඡායාරූපයයි කියමින් තම ඡායාරූප කීපයක් ඕපාදූප පුවත්පතකට ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලකට විකුණාගෙන කෑවෙකි. ඔහු විසින් ලන්ඩනයේ පුවත්පතට ලියා ඇති ලිපිය තම අතීතය පිළිබඳව පෂ්චත්තාපයට පත් පියෙකුගේ සැබෑ දුක්ගැනවිල්ලක් ද එසේත් නැත්නම් වෙනත් උප්පරවැට්ටියක් දැයි තීරණය කිරීම කාලයට භාර ය. 

 


යටියන

ක්ලැරන්ස් කොස්තා, ෂෙසානෝ, රෝමය, ඉතාලිය.