ප‍්‍රථම විදුහල්පතිනියගේ කවි මුතුවැල් ළමා සංග‍්‍රහය පැරීසියේදී දොරට වඩී


ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල දරුවන්ට සිංහල භාෂාව ඉගෙනීම සඳහා අසූව දශකයේ අග භාගය දක්වා පාසලක් තිබුණේ නැත. එබැවින් අනූව දශකයේ මුල් භාගයේදී පැරීසියේ ශ්‍රී ලාංකික සහෘදයන් කිහිප දෙනෙකුගේ ධෛර්යයෙන් හා මූලිකත්වයෙන්ද එවකට ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ ආධාර අනුබලයෙන් හා පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්ද එම විහාරස්ථානයේදී ප‍්‍රථමවරට සිංහල භාෂාව ඉගැන්වීම ප‍්‍රධාන කොට පාසලක් ආරම්භ කළේය. වර්තමානය වෙනවිට එවැනි පාසල් කිහිපයක් පවත්වාගෙන යනු ඇතත්; ඉහත දැක්වූයේ පැරීසියේ සිංහල භාෂා පාසල්වල උත්පත්තියේ සාරාංශය වේ.   


එදාා ආරම්භ කළ ප‍්‍රථම පාසලේ විදුහල්පතිනිය වූයේ ජසින්තා වන්නිතිලක බණ්ඩාර මහත්මියයි. එතුමිය වසර 17ක් පමණ ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ යෙදී සිටියදී; ප‍්‍රංශයට පැමිණීමෙන් පසු ප‍්‍රථම සිංහල පාසලේ සිට මේ දක්වාම දැඩි ධෛර්යයෙන් යුතුව අභියෝග මධ්‍යයේ පාසලක් පවත්වාගෙන යමින් දරුවන්ට ගුරු උපකාරය ලබා දෙමින් පැරීසියේ ශ්‍රී ලාංකික සමාජයට විශාල සේවයක් සිදු කරන ගුරුතුමියකි.   


ඇය විසින් රචිත දරුවන්ට උපකාර වෙන ‘‘පුංචි සිතට කවි මුතුවැල්” නමින් කාව්‍ය සංග‍්‍රහයක් පසුගියදාා එළිදැක්වූවාය. පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන් ප‍්‍රධාන සංඝ රත්නය, ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික දේවස්ථානයේ ගරු ප‍්‍රභාත් තමෙල් පියතුමන් හා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය ප‍්‍රධාන පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් එම එළිදැක්වීමේ උත්සවය පසුගියදා පැරීසියේදී පැවැත් වූයේය.   


දරුවන් සඳහා ප‍්‍රංශයේදී එළිදැක්වූ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය ‘‘පුංචි සිතට කවි මුතුවැල්” බව එහිදී ප‍්‍රධාන දේශනය කළ කෝ ආනන්ද හිමියෝ් වැඩිදුරටත් සඳහන් කළේය. එය අතිශෝක්තියක් නොවන බව ප‍්‍රංශයේ ප‍්‍රථම සිංහල පාසලේ ප‍්‍රථම විදුහල්පතිනිය විසින් ප‍්‍රංශයේ සිංහල දරුවන්ට ප‍්‍රථම ළමා ග‍්‍රන්ථයක් බිහි කිරීමෙන් පසක් වෙන්නේය.   
සුනිල් ආනන්ද  පැරීසියේ සිට