ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් අපේ සංස්කෘතිය රැක ගැනීමට විශාල වෙහෙසක් දරන පිරිසක්


රණවිරාජා මහතා පැරිසියේ ශ්‍රී ලාංකික හිතවතුන් සමග​

සේවා කාලය අවසන් වී යන තානාපති රණවිරාජා මහතාට පැරිසියේ ශ්‍රී ලාංකික හිතවතුන්ගෙන් සිහිවටන තිළිණයක් පිරිනැමූ අවස්ථාව.​

 

 

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ සේවා කාලය සැප්තැම්බර් මසින් අවසන්වී සිය රට බලා ගියේය. මෑත ඉතිහාසයේ ප‍්‍රංශයේ සේවය කළ තානාපතිවරුන්ට සාපේක්ෂව තිලක් රණවිරාජා මහතා ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් සමග ඉතාමත් ළඟ ඇසුරුකම් පැවැත්වූ, ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක තමන්ට ඇති ගැටලු සහගත ප‍්‍රශ්නයක් හමුවී විසඳා ගැනීමට අවස්ථාව ලබාදී තිබූ අවංක තානාපති කෙනෙකු ලෙස ප‍්‍රංශයේ තානාපති සේවය තුළ අමරණීය වන්නේය.   


සරණාගත බව ලබාගත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට බාධාවක් වූ නීතිරීති වෙනස් කොට එය ලබා ගැනීමට හැකි නීතිමය පරිසරය සකස් කර දීමත් ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සරණාගත බව ලබාගත් ශ්‍රී ලාංකිකයෙකුට ගුවන් ගමන් බලපතක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම, නීත්‍යානුකූල විසා බලපතක් නොමැති ශ්‍රී ලාංකික දෙමාපියන්ටදාව විදේශයකදී ඉපදුණු දරුවන් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලාංකික රියදුරු බලපතට ප‍්‍රංශ රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට අවශ්‍ය පරිපාලනමය කටයුතු බොහෝ දුරට අවසන් කිරීම, කාර්යාලීය අවශ්‍යතාවන්ට ඉදිරිපත් කළ යුතු සමහරක් රාජ්‍ය ලිපි ලේඛන පැරීසියේදීම සහතික කර ගැනීම, යනාදී කරුණු විසඳා එයට සුදුසු මාර්ගයන් හඳුන්වා දීමට හැකිවීම එතුමාගේ ධුර කාලය තුළ ජනතාවට ලබා දුන් සහන අතරින් ප‍්‍රධාන තැනක් ගත්තේය. 


මේ හේතුකොට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝද එතුමාට ස්තුති, ආශිර්වාද ආදී ලෙස ප‍්‍රනාම පිරිනැමීමටද අමතක නොකළෝය. ඒ හෙයින් ලාබුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, පැරීසියේ සිංහල කතෝලික දේවස්ථානය, පැරීසියේ ලාංකික මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල්වලදී එතුමා වෙනුවෙන් ආගමික වතාවත් පවත්වා ආශිර්වාද කළේය. ඒ අනුව සියලුම ආගම්හි ආශිර්වාද ලබා ගත් ප‍්‍රථම තානාපති ලෙසද ප‍්‍රංශ තානාපති ඉතිහාසයට එක්වේ. සියරට බලා යෑමට සුදානමින් සිටි එතුමා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පුවත්පත් සාකච්ඡාවකට මෙලෙස එක් වුණේය. 

 


ප‍්‍රශ්නය: තානාපතිතුමණි, ඔබතුමා තානාපති සේවයට පැමිණීමට පෙර 1980 දශකයේ සිට රාජ්‍ය සිවිල් පරිපාලනයේ උසස් තනතුරු දරපු නිලධාරියෙක්. ඒ ගැන විස්තර කරන්නේ කෙසේද? 
පිළිතුර:
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු 1960 දී පමණ රාජ්‍ය සේවයට එක්වුණා. වසර 1967 දී ශ්‍රී ලංකා පරිපාලන ක්‍ෂේත‍්‍ර‍්‍රයට එක්වෙලා අඛණ්ඩව වසර 35ක් පමණ සේවය කොට 2002 දී විශ‍්‍රාම ගත්තා. ඒ අතරතුර වසර 5ක් ප‍්‍රාදේශීය පාලනයේ සේවයෙන් පසු 1972 දී කෘෂිකර්ම හා ඉඩම් ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පිහිටවූ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස පත්වුණා. ඉන්පසු විවිධ අමාත්‍යංශ ගණනාවක ස්ථීර ලේකම් ලෙස කටයුතු කොට ඉන්පසු නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක පරිසර සංවිධානයේ සේවය කළා. ඉන්පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ඇරයුමෙන් අමාත්‍යංශ කිහිපයකත් සේවය කොට නැවතත් එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක උපදේශක ලෙස සේවය කරන අතරතුර 2015 නව රජය පැමිණීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයෙකු ලෙස සේවය කොට එම වසරේ අග භාගයේ ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවයට පැමිණියා. 

 


 ප‍්‍රශ්නය: ඔබතුමා ප‍්‍රංශයට පමණක් නොව වෙනත් රටවල් කිහිපයකම තානාපති ලෙස එකවර සේවය කරනවා. ඒගැන පැහැදිලි කරන්නේ කෙසේද? 
පිළිතුර
: ප‍්‍රංශ තානාපති තනතුරට අමතරව ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේද මොනාකෝ හා අන්ඩෝරා රාජ්‍යයන් දෙකේ ද ප‍්‍රථම ශ්‍රී ලංකා තානාපති ලෙසත් සේවය කිරීමට අවස්ථාවක් ලැබුණා. පෘතුගාලය හා ස්පාඤ්ඤය සඳහා අනේවාසික නියෝජිතයා ලෙසත් වශයෙන් රටවල් පහක කටයුතු කළා. 

 


 ප‍්‍රශ්නය: තානාපතිතුමණි, ප‍්‍රංශය යනු ලෝක බලවතුන් පස්දෙනා අතර ප‍්‍රබල රටක්. මෙම රටේ තානාපති තනතුර ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ලෙස බලපානවා. ඔබතුමා වසර 2 ක නිල කාලයෙන් පසු ඉදිරි සතියේදී මෙම තනතුරෙන් සමුගන්නවා. මෙම කාලය තුළ රාජ්‍ය මට්ටමෙන් ඔබතුමා ශ්‍රී ලංකාවට කළ සේවය කුමක්ද? 
පිළිතුර:
ඉතාම වැදගත් ප‍්‍රශ්නයක්. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුවද ඉතා ඉක්මනින් විදේශ රාජ්‍යයන් සමග රාජ්‍ය සම්බන්ධකම් ඇති කර ගත් රටක් බවට අපි පත්වුණා. නමුත් 2015 දී මම ප‍්‍රංශයේ තානාපති ලෙස පැමිණෙන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප‍්‍රංශය ඇතුලු යුරෝපයේ ආකල්පයන් එතරම් සුභදායක තත්ත්වයක තිබුණෙ නැහැ. විශේෂයෙන් පසුගිය යුද සමය හා ඉන්පසු සිදුවීම් සම්බන්ධව අපේ රට ගැන යුරෝපයේ දැක්ම එතරම් හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ඒ හාම වෙනත් කරුණු ද යුරෝපයේ හා ජාත්‍යන්තරයේ බලපෑමට හේතු පාදකවූ බව සත්‍යයක්. මේ නිසා නිමි ඇඳුම් කර්මාන්තයට හා මත්ස්‍ය ආනයනය සඳහා තිබූ සහන අහිමිවුණා. එබැවින් විවිධ වෙළෙඳ ගිවිසුම් අහිමිවීමේ තත්ත්වයකට අපේ රට පත්වී තිබුණා. 


 සාමාන්‍යයෙන් අපි වගේ කුඩා රටවල තානාපති කෙනෙකුට මෙහි ජනාධිපති කෙනෙකු හමුවෙන්න ලැබෙන්නේ අක්තපත‍්‍ර බාර දෙන අවස්ථාවකදී පමණයි. නමුත් මට අවස්ථා ගණනාවකදීම ප‍්‍රංශ ජනාධිපති හමුවී නව රජයේ හා නව ජනාධිපතිගේ ප‍්‍රතිපත්ති හා බැඳුණු වැඩ පිළිවෙල පහදා දීමට හැකිවූ අතරම ඒගැන ප‍්‍රංශ රජයේ ප‍්‍රසාදය හිමිකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වුණා. මේ සියලු දේ තුළින් අපට අහිමිවූ යුරෝපා වෙළෙඳපොළ නැවත ලබා ගැනීමට ද හැකි වුණා. 


 ඒ අතරතුර සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමට අවශ්‍ය සුදුසු ඉදිරි පියවරයන් ගැනීමත්, 44 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ විධායක සභාවේ සමාජික තනතුරක් ලබා ගැනීමටද ප‍්‍රථම වතාවට අපට හැකිවුණා. ඒ සමඟම ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ බොකෝවා මැතිණිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමත් ජාත්‍යන්තර පරිසරය හා දේශගුණික කොප් 21 පැරිස් සම්මේලනයට සහභාගි වීමත් එහිදී අප විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිගැනීමත් රටක් ලෙස අප ලබා ගත් ජයග‍්‍රහණ අතරට එක්වෙන අතර එම සියලු දේ මම තනියම කළ දේවල් නොවන අතර තානාපති කාර්යාලයේ සේවකයන්ගේ සහායද ඒ සඳහා විශේෂ වූ බව මතක් කළ යුතු වෙනවා. 

 


 ප‍්‍රශ්නය: 2015 ඔක්තෝබර් 07 වැනිදා එවකට පැරීසියේ එකමුතුව සමග ඔබතුමා රැස්වීමක් පැවැත්වුවා. එදින ඉල්ලීම් හතක් අඩංගු යෝජනා මාලාවක් එකමුතුව විසින් බාර දුන්නා. එම ඉල්ලීම් අතරින් සමහරක් ඉටුකර දී සමහරක් ඉදිරි පරිපාලනමය කටයුතු සඳහා යොමුකර තිබෙනවා. මෙම සියලු දේ ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ සේවාවන්. නමුත් සමහරු ඔබතුමා ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ට කළ සේවය කුමක්ද යනුවෙන් ප‍්‍රශ්න කරනවා. මේ ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම කුමක්ද? 
පිළිතුර:
ඕනෑම සමාජයක එවැනි ප‍්‍රශ්න කිරීම් තිබෙනවා. හැම විටම අපි සමඟ එකඟ නොවන සුළු පිරිසක් ඉන්නවා. ඒ ගැන අපි කලබල වියයුතු නැහැ. එම නිසා එම කොටස ගැන අමතක කොට එකඟ වෙන වැඩි පිරිස සමඟ ඉදිරියට වැඩ කිරීම මගේ ක‍්‍රමයයි. ඒ සඳහා පැරීසියේ සමාජ කි‍්‍රයාකාරී ශ්‍රීලාංකිකයෝ බෙහෝමයක් තානාපති කාර්යාලයට සහාය වුණා. ඒ හැම දෙනාටම මම ස්තුතිය පුද කරනවා. 

 


ප‍්‍රශ්නය: තානාපතිතුමණි, ඔබතුමාත් විවිධ විවේචන අභියෝග ඉදිරියේ රාජකාරි සිදුකළ නිලධාරියෙක්. පැරීසියේ ශ්‍රී ලාංකිකයන් සමග ඉතා ළඟින් කටයුතු කළ කෙනෙක් ලෙස පැරීසියේ ශ්‍රී ලාංකිකයන් ගැන ඔබතුමාගේ විස්තර කිරීම කෙසේද? 
පිළිතුර:
මම බොහෝ රටවල සේවය කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයෝ ඇසුරු කර තිබෙනවා. නමුත් ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් තුළ විශේෂත්වයක් දැක්කා. ඒවා කවුරුවත් මට කියල නොවෙයි. එක් එක් උත්සව වලට ඇරයුම් ලබා සහභාගි වීමේදී ඒ සියලු විශේෂ දේවල් මට හොඳින් දැක ගැණීමට ලැබුණා. ප‍්‍රංශය වගේ රටක කි‍්‍රයාත්මක නීති රාමුව තුළ ජීවත් වෙමින් අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිිය රැක ගැනීමට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ විශාල මෙහෙවරක් සිදු කරනවා. අපි කවුරුත් එය අගය කළ යුතුයි. අපට හිමි වටිනා සංස්කෘතික දායාදයන් අද අපේ රටෙන් ඈත් වෙන යුගයක ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ ඒවා රැක ගනිමින් ඉන්නවා. විශේෂයෙන් සිංහල භාෂාව රැක ගැනීමට කරන සේවය අතිි විශිෂ්ඨයි. උඩරට නර්තන, සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර, සිංහල භාෂා දිනය වැනි දේවල් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කැප කරන දායකත්වය මම සියැසින් දැක තිබෙනවා. ඊට අමතරව සියලුම ජාතීන් එක්ව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත්වීමේ ප‍්‍රයෝගික වැඩසටහන් පැරීසියේ ශ්‍රී ලාංකික සමාජ ක‍්‍රියාකාරීන් තුළ ක‍්‍රියාත්මක වෙනවා. අපි එය අගය කළ යුතුයි. හැබැයි ඒ අතරට මොනම දෙයක් කළත් එහි වැරදි කියන සුළු පිරිසකුත් ඉන්නවා. එවැන්නෝ හැම තැනකම ඉන්නවා. ඔවුන් පිරිසක් ලෙස අල්පයි. එබැවින් ඔවුන් සාධකයක් කර නොගෙන තම කටයුතු සිදු කිරීම සමාජයට යහපතක්ම වේ. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට