ප‍්‍රංශ ශ‍්‍රී ලංකා සුභසාධක සංවිධානයෙන් ශ්‍රී ලංකාවට මෙවරත් පරිත්‍යාග රැසක්


 

පැරීසිය ප‍්‍රධාන කොට ක‍්‍රියාත්මක ප‍්‍රංශ - ලංකා සුභසාධක සංවිධානය මෙවරත් විශාල සමාජ සත්කාරක ක‍්‍රියාවලි රැසකට දාායකවූ බව එහි සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා කීවේය. මෙම වසර ආරම්භයේ ප‍්‍රංශ - ලංකා සුභසාධක සංවිධානයේ ප‍්‍රධානත්වයෙන් පැරීසියේ පැවැත්වූ දඹුලු ගලේ සංගීත ප‍්‍රසංගයෙන් හා පැරීසියේ හා ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග ඉහත සත්කාරයන් සිදු කිරීමට යොදාා ගත් බවත් එයට දාායකවූ සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටින බවත් සනත් මහතා කීවේය. 


ඉහත පරිත්‍යාග මූලික කොට මීගමුව රෝහලේ ඩෙංගු රෝගය වැළඳුනු රෝගීන්ගේ විශේෂ වාට්ටුව සඳහා නවීන රෝද පුටු 6ක් ද ඇඳන් 6ක් ද මහනුවර මහ රෝහලේ පිළිකා අංශයට රෝද පුටු 17ක් ද යක්කල පිහිටි යුද හමුදා ආබාධිත සෙබළ ඇපරල් කර්මාන්ත ශාලාවට වතුර පෙරණ යන්ත‍්‍ර දෙකක් ද සිසුන් 550ක් පමණ ඉගෙනුම ලබන කැකිරාවේ නිමල්සිරි කනිෂ්ඨ විදුහලට වතුර පෙරණ යන්ත‍්‍රයක් ද අනුරාධපුර මහා රෝහලේ 22 වැනි වාට්ටුවට වතුර පෙරණ යන්ත‍්‍රයක් ද කුරුණෑගල වැහැර යුද හමුදාා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයට අවශ්‍ය පුස්තකාලයක් සෑදීමට සිමෙන්ති කොට්ට 100ක් ද එය විවෘත කිරීමෙන් පසු අවශ්‍ය පොත් පත් ප‍්‍රදානය කිරීම, සූරියවැව ගමේ දරුවන්ට පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ද දරුවන් තිදෙනෙකුට ශිෂ්‍යත්වයන් ද පිරිනැමීය. 


පානදුරේ ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඉංගිරියේ හඳපාන්ගොඩ ආරණ්‍යය සේනාසනයට අඩු පාඩුවක්ව පැවැති බණ භාවනාවේ යෙදෙන ගිලන්වූ භික්ෂූන්ට උපස්ථානය කළ හැකි ගිලන් ශාලාවක් සාදා නිම කොට ගිලන් ඇඳක් හා රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම හා වෙනත් රෝද පුටු ප‍්‍රමාණයක් වෙන වෙනම ආබාධිත පිරිස් වෙත ලබා දීම ද මෙවර වසන්ත නිවාඩු සමයේ සිදුවූ ප‍්‍රධාන පරිත්‍යාග අතරට එක්වේ. 


දානමය පිංකමට ආගම, ජාතිය, කුලය, වර්ණය යනුවෙන් බේදයක් නොවේ. නැති බැරි අගහිඟකම් ඇතිව අසරණ වෙන්නෝ ජාතිය, ආගම, භාෂාව ලෙස වෙන් නොකොට සෑම දෙනාටම එකසේ පිහිට වීම මහත්ඵල මහානිසංශ ලැබෙන පුණ්‍යකර්මයකි. පැරීසියේ ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානය එම සත්කාරය සෑම වසරකම මනා ලෙස ඉටු කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබේ. 


හිමකැට, හිරු රෂ්මිය, වැසි, අධික ශීතල නොතකා දුක් මහන්සියෙන් එකතු කර ගත් සොච්චම වංචාවෙන් සොරා කන සක්විති ගනයේ පිරිමි ගැහැනුත් පැරීසියේ වෙසෙති. විවිධ විසිතුරු සරුව පිත්තල වැඩ ප‍්‍රදර්ශනය කරමින් මිනිසුන්ගෙන් කඩා වඩා ගන්නෝ ද සිටිති. ප‍්‍රංශය වැනි ලෝකයේ දියුණුම රටක ජීවත් වෙමින් එහි වාතය ආශ්වාස ප‍්‍රශ්වාස කරමින් ලොව පහළවූ ආගමික ශාන්තුවරුන් කිසි දිනක කිසි තැනක දේශනා නොකළ අපූරු ගනයේ පුද පූජාවන්ට මහා පරිමාණයෙන් මුදල් ද වියදම් කරති. එයට අසුවෙන හා රැවටෙන මෝඩ පිරිස් ද සිටිති. අද පින් දහමත් ශ්‍රේණි ගත කොට ආගම ද විකුණා ගෙන බුදින සමාජයක් බිහි වෙමින් ඇති පරිසරයක හොරුන් රැක ගැනීමට පින්ඩපාතයේ යමින් මුදල් රැස් කරන භික්ෂූන් වහන්සේලා ජීවත් වෙන සමාජයක පැරීසියේ ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානයේ ඉහත පුණ්‍යකර්මයන් අපි කවුරුත් අගය කළ යුතුය. 


එනයින් පැරීසියේ ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානය ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන්හි අසරණයන්ට පිහිටවීම ඉතා ඉහළින් අගය කළයුතු කරුණක්ම වන්නේය. පැරීසියේ වෙනත් සමහර සංවිධාන හා පින්වත් පිරිස් ද මෙවැනි පිංකම් සිදුකරති. එම කටයුතු ද සමාජයේ ඇගයීමට භාජනය වෙති. කෙසේ නමුදු ඉහත පුණ්‍යකර්මයන් සඳහා දාායකවූ සැමටත් පැරීසියෙන් ලැබුණු ආධාර නොමිලේ නැව්ගත කිරීමට දාායකවූ ජෙගනාදන් මහතාටත් ප‍්‍රංශ ලංකා සුභසාධක සංවිධානයේ විශේෂ ස්තුතිය පිරිනමන බව එහි සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා නැවත නැවතත් පැවසීය. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට