පියාඹන ටැක්සි සේවයක් ළඟදීම ඇමෙරිකාවේ


 

 

ලොව ප්‍රධාන නගරවල දිනෙන් දින උග්‍රවෙන මහා මාර්ග තදබදයට පිළියමක් ලෙස පියාඹන ටැක්සි සේවයක් හඳුන්වා දීමට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි ඌබර් සමාගම ඉදිරිපත්ව සිටී. පසුගියදා ලස්වේගාස් හා පැවති ‘‘ අනාගත නගරය’’ නම් වූ මහා ප්‍රදර්ශනය සඳහා කොරියාවේ හුන්ඩායි සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු පියාඹන මෝටර් රථය උක්ත තීරණය ගැනීමට ඌබර් සමාගම පොළඹවා ඇත. මේ අනුව ඌබර් සමාගම දැනටමත් කොරියාවේ හුන්ඩායි සමාගම සමග පියාඹන ටැක්සි සේවයක් සඳහා ගිවිසුමකට එළෙඹ ඇත.  


ඌබර්- හුන්ඩායි සමූහ ව්‍යාපාරයක් ලෙස පළමු පියාඹන ටැක්සි සේවය මේ වසර අවසාන වෙන විට ලොස්ඇන්ජලීස් නගරයේ අත්හදාබැලීමේ තත්ත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර, නිල වශ​යෙන් පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක වෙන්නේ 2023 වසරේ සිටය. PERSONAL AIR VEHICLE ලේබලය යටතේ සේවය සඳහා​ යෙදවෙන මෙම ටැක්සියක නියමුවාට අමතරව මගීන් පස්දෙනෙකුට ගමන් කළ හැකිය. ධාවන පථයකින් තොරව තිරස් අතර ගුවන්ගත වීමේ සහ ගොඩබැසීමේ පහසුතාව මෙම යානයට ඇත. පෘතුවි මට්ටමේ සිට අඩි හයසීයක් ඉහළ ගුවනේ පැයට කි.මි. 290ක වේගයකින් යාත්‍රා කෙරෙන මෙම ටැක්සිය කි.මී. සීයක ඉන්ධන ධාරිතාවකින් යුක්තය. මෙම පියාඹන රථය නියමුවෙකුගෙන් තොරව යාත්‍රා කරවීමේ පර්යේෂණයකට ද හුන්ඩායි සමාගම අතගසා ඇත.  

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.