පැරීසියේ පැවති 70 වැනි නිදහස් සමරු උළෙල


 

ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2018 පෙබරවාරි 04 වැනිදාට වසර 70කි. ඒ වෙනුවෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි කේ. ආතවුද මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා තානාපති කාර්යමණ්ඩලය ද සියලුම ආගම් හි පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක‍්‍රියාශීලී සංවිධානයන්හි නිලධාරීන්, ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් පසුගිය 04 වැනිදා පැරීසියේදී පැවැත්වුණි.   


ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් විසින් සිදුකළ බෞද්ධාගමික වතාවත්වලින් පසු අනෙක් ආගම්හි පූජා මෙහෙයන් එම පූජකවරුන් විසින් ගෞරවනීය ලෙස සිදු කළහ. ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, පැරීසියේ ධම්ම චක්ක දහම් පාසලේ සිසු දරුවන් හා පැරීසියේ දෙමළ පාසලේ සිසු දරුවන් විසින් සිංහල දෙමළ භාෂාවෙන් ගායනය කළ ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, විදේශ ඇමතිතුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂාවලින් සභාවට දැන්වීය.   


ඉන්පසු බොන්ඩි හි දෙමළ සංස්කෘතික සංවිධානය, පැරීසියේ ජයමිණි, සරසවි හා තිසරාවි රංග කලායතනයන් දමිළ හා මුස්ලිම් ප‍්‍රජාවගේ කලායතනයන්හි ශ්‍රී ලාංකික දරුවන්ගේ නර්තන ප‍්‍රසංගයක් ද අනතුරුව භෝජන සංග‍්‍රහයක් ද පැවැත් වූයේය. විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මෙවර 70 වැනි නිදහස් උත්සවය සැමරීම විශේෂ වන්නේය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙවර නිදහස් දින උත්සවයට සහභාගී වූහ. ඉන්පසු තානාපති බුද්ධි කේ. ආතවුද මහතා සමඟ කෙටි පුවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වීය.   


ප‍්‍රශ්නය: මෙවර පැවැත්වෙන 70 වැනි නිදහස් සැමරුම් උත්සවය ඔබතුමා ප‍්‍රංශයේ තානාපති තනතුර භාර ගැනීමෙන් පසු පැවැත්වෙන ප‍්‍රථම රාජ්‍ය උත්සවයයි. ඒ ගැන ඔබතුමාට පැවැසීමට ඇත්තේ කුමක්ද? 


පිළිතුර: ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩයේත් සඳහන් පරිදි අපේ රට තව තවත් ඉදිරියට ගෙන යෑමට අනෙක් සෑම දෙයකින් වගේම ආර්ථික වශයෙන් ද හොඳ දියුණුවක් ලැබිය යුතු වෙනවා. එබැවින් අපේ තාක්ෂණය, නව තරුණ පරම්පරාව, විදේශ ආයෝජන හා ව්‍යාපාර ඉතා දියුණු නවීන තත්ත්වයකට පත් කළයුතු වෙනවා. ඒ සඳහා මේ වෙන විටත් ශ්‍රී ලංකාව චීනය හා ඉන්දියාව සමඟ හොඳ ආර්ථික ගිවිසුම් ඇති කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. නමුත් යුරෝපා වෙළඳපොළ සමඟ අපේ ඇති සබඳතා දියුණු කරමින් මීට වඩා ආයෝජන රටට ලබා ගැනීමට කටයුතු කළයුතු වෙනවා. නව තානාපතිවරුන්ගේ විශේෂ කාර්යභාරය විය යුත්තේ එයයි. එසේ වූවොත් රට ආර්ථික ලෙස ඉහළට ඔසවා තැබීමට අපට හැකියාව ලැබේවි. ඒ සඳහා උපරිම මට්ටමෙන් මම කටයුතු කරමින් ඉන්නවා.   

 


ඒ වගේම ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් හදිසි අවස්ථාවකදී කටයුතු සිදුකර ගැනීම සඳහා දින හතේම පැය 24 තුළම ක‍්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. තානාපති කාර්යාලයෙන් සිදුකර ගැනීමට අවශ්‍ය හදිසි කටයුත්තක් සඳහා තානාපති කාර්යාල සේවා කාලයෙන් පසු එම දුරකථන අංකය අමතා එම කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම අද මෙම නිදහස් උත්සවයට පැමිණි සියලුම ශ්‍රී ලාංකිකයන්ට මම ස්තූතිවන්ත වෙනවා.   

 

 


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට