පැරීසියේ අපේම සිනමාකරුවකුගෙන් සැබෑ මනුෂ්‍යකමේ අගය ගැන කියැවෙන කාලීන කෙටි චිත්‍රපටයක්


ඉරිදා ලංකාදීප සයුරෙන් එතෙර තීරයෙන් කීපවරක් හඳුන්වා දුන් ප්‍රංශයේ වෙසෙන පුංචි සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටි චිත්‍රපටය වන 'Be a Buddy not a Bully' හෙවත් වෙමු මිතුරු නොව හතුරු ලෙසින් පසුගිය දින පැරීසියේ පැවැත්වූ මංගල දර්ශනයේ ආරාධිතයෙකු වශයෙන් මට ද සහභාගිවීමට වාසනාව ලැබුණි. එමෙන්ම එහි ප්‍රධාන චරිතවලට පණ පොවන ප්‍රංශ ජාතික ළමා නිළි රෙෂාන් විසින්ම හඳුන්වා දුන් මාර්ලෝ ත්‍රොපේ (Marlo Troipee) හා මෙම චිත්‍රපටයෙන් තිරයට හඳුන්වාදෙන මලෝ කටියෝ (Malo Cattiaux) ප්‍රංශ ජාතික ළමා නළුවා හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමගයි.  


මෙරට සිට ජාත්‍යන්තර සිනමා උළෙලවල් කීපයක් නියෝජනය කර ජයග්‍රහණ ලබාගනිමින් රෙෂාන් ප්‍රනාන්දු කීර්තියක් මව්බිමට ලබා දුන් ලාබාලතම සිනමා අධ්‍යක්ෂකවරයා වශයෙන් අප සැමට ආඩම්බරයකි.   


සෑම රටකම පිරිහී යන මනුෂ්‍යකමේ සමගිය ළමුන් අතර ඇතිවන 'Bullying' හෙවත් අරියාදු කිරීම නැතහොත් සමච්චල් කිරීම හොඳ නැති දෙයක් බව ළමුන්ට කියාදෙන අපූරු නිර්මාණයක්. මෙම ගැටලුව පාසල් හරහා සිදුවීමෙන් ලොව විවිධ රටවල සියදිවි හානි කරගත් ළමුන් හා ඒ ආසන්න ක්‍රියා කළ ළමුන් වාර්තා වනවා. කෙසේ නමුත් ළමුන් හරහා දෙන මේ පණිවිඩය වැඩිහිටියන්ට වඩාත් උචිත බවයි මගේ හැඟීම. 


සම්මානලාභී සිනමාකරුවාගේ මෙම අපූරු පණිවිඩය රැගත් කෙටි සිනමාපටය නවතම මාදිලියේ අයිෆෝන් (iPhone) ජංගම දුරකතනයකින් නිමවීම නිසාම තවත් සුවිශේෂී වන අතර දැනටමත් ඇමෙරිකාවේ නිව්යොක් හි වාර්ෂික අයිෆෝන් චිත්‍රපට උළෙල (iPhone Film Festival) සඳහා හා ඇමෙරිකාවේ ඕඩියන්ස් අවොර්ඩ්ස් (Audience Awards) සඳහා ද තේරී පත්වී අවසන්. 


ළඟඳීම රෙෂාන් ප්‍රනාන්දුගේ 10 වැනි කෙටි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර අවසන් වූ පසු සියලු නිර්මාණ සමඟින් කෙටි චිත්‍රපට උළෙලක් ලෙස තිරගත කිරීමට හා ඉන්පසු ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් (feature film) කිරීමට සූදානම් වන බවත් ඔහු මා හා සමග වැඩිදුරටත් පැවැසීය. 

 

 


හේමා කටුකුරුන්ද 
පැරීසිය