පැරිසියේ සැඳෑව


 

මෙය ප‍්‍රබන්ධයක් දැයි ඔබ මගෙන් ඇසුවහොත් මම ‘‘නැසේය’’ යයි පිළිතුරු දෙමි. ඒ වචනය ඔබට නොතේරෙන බව මම දනිමි. ඇත්තෙන්ම එවැනි වචනයක් සිංහල භාෂාවේ නැත. නැත යන්නත් එසේය යන්තත් ආදේශ කර එම වචනය නිර්මාණය කරන ලද්දේ මා විසින් ම ය. ඒ, ඔබට කූට පිළිතුරක් දීමට ය. මට අවශ්‍යව ඇත්තේ මොනයම් අයුරකින් හෝ මෙය ඔබට කීමට ය.   


විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන යුගයේ මම මළ හිඟන්නෙක්මි. අතමිට මුදලක් ගැවසුනේ ඉතාම මඳ වශයෙනි. අවශ්‍යතාවක් සඳහා කිසියම් මුදලක් ඉල්ලා සිටියේ නම්, එය ලබාදීමට නොහැකි තරමට අප පවුලේ ආර්ථික දුෂ්කරතාවක් තිබුණේ නැත. එහෙත්, එකල ප‍්‍රතිපත්තියක් ලෙස මම ගෙදරින් මුදල් ඉල්ලුවේ ඉතාම අඩුවෙනි.   


බස් රථවල ටිකට්පත් නොගෙන ගමන් කිරීම එවකට මගේ විනෝදාංශය විය. මහනුවර ක‍්‍රිෂ්ණ භවන් තෝසෙ කඩයෙන් මසාල වඩේ දෙකක් කා එකකට මුදල් ගෙවා මාරුවෙන අවස්ථාවන් ද එමට ය. එකක් ගන්නා අයුරු පෙන්වමින් දෙකක් අතට ගැනීමේ කලාව මම ප‍්‍රගුණ කර තිබුණෙමි. පේරාදෙණියේ සිට කටුගස්තොට බෝඩිමට පයින්ම පැමිණි අවස්ථා දෙක තුනක් ද විය. මේවා දන්නා විමලේ කීවේ පිස්සු බල්ලාට හැතැම්ම නැති බව ය.   
අතමිට මුදල් නැති වුවද මම ජැන්ඩියට අැඳුම් ඇන්දෙමි. පේරාදෙණියේ අප්පුහාමි ටේලර්ස්ලා විසින් රුපියල් විස්සකට චීන කාකි රෙද්දෙන් මසා දෙන ලද සාක්කු කීපයකින් යුත් කලිසම, අද ඩෙනිම් කලිසම තරමටම හොඳය. හයිඩ‍්‍රාමනී සමාගම විසින් පිටරටට නිෂ්පාදනය කර, පියවි ඇසට නොපෙනෙන කිසියම් පළුද්දක් හේතුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් නොවී, හොර පාරෙන් ලබාගත හැකිව තිබුණු කමිසයක උපරිම මිල රුපියල් පහළොවකි. මේ අයුරින් සපයා ගත් ඇඳුම් කීපය නිතර සෝදා වේළා, අම්මා විසින් දී තිබුණු ‘‘රෙඩ්හාට්’’ ඉස්ත‍්‍රික්කයෙන් මැදගෙන, මම නළුවා සේ දේශනවලට ගියෙමි.   


මා වඩාත්ම ප‍්‍රිය කළ සාක්කු දෙකේ ලා අළු පැහැති කමිසය ඉරීගියේ එය සෝදා වතුර මිරිකා ගැනීමේදී ය. එය මගේ ජැන්ඩි ඇඳුමට බලවත් පාඩුවක් විය. ඒ සමඟම එම කමිසයට ගැලපෙන ලෙස අඳින ලද තද අළු පැහැති කලිසම ද තනිවිය. ලා අළු පැහැති කමිසයේ අඩුව මට මෙන්ම මගේ ගජයන්ට ද දැනී ඇති බව මට තේරුම් ගියේ, ‘කොහෙද බං උඹේ ඩබල් පොකට් ෂර්ට් එක’ යයි සිරිපාලයා ඇසූ විට ය. කමිසයට සිදුවූ දෙය විස්තර කළ විට, එතැන සිටි කුමාරි කීවේ ඒ කමිසය මට ලස්සනට ගැලපුණු බවය.   


කුමාරි අපේ කල්ලියේ සිටිය ද ඇගේ පියාගේ සංස්ථා සභාපති ධුරයත්, පවුලේ ආශිර්වාදය මැද ඇසුරු කළ පෙම්වතාගේ බෙන්ස් රථයත්, ඇය අප අතරින් මඳක් හෝ ඉහළින් තැබීය. කුමාරිගේ ඇතැම් ඉරියව්වක් අධ්‍යයනය කළ විමලේ කීවේ, හොර රහසේ හෝ මා පිළිබඳ සිතක් කුමාරි තුළ නැතුවාම නොවිය හැකි බව ය. එහෙත් එවැන්නක් කිසි දිනෙක ප‍්‍රකාශ වූයේ නැත. ඊළඟ සතියේ සාක්කු දෙකේ ලා අළු පැහැති කමිසයක් කුමාරි මට තෑගි කළාය.   


මහනුවර රජ වීදියේ ෆැෂන් හවුස් සාප්පුවේ ප‍්‍රදර්ශනය සඳහා තබා තිබුණු ‘‘ඊවිනින් ඉන් පැරිස්’’ සුවඳ විලවුන් බෝතලය (බෝතලයක් යයි කීමට වඩා එයට නිවැරදි වචනය කුප්පියක් යන්නය) මා නෙත ගැටුනේ ඒ දිනවල ය. ඒ සුවඳ විලවුන් වර්ගය මම හඳුනමි. අම්මා විසින් පාවිච්චි කරන ලද්දේ ද ඒවා ය. එම සුවඳ විලවුන් කුප්පිය මිලට ගෙන කුමාරිට තෑගි කළ යුතුය යන සිතුවිල්ල හදිසියේ මා සිත තුළ පහළ විය. එවන් ත්‍යාගයක් ඇයට දීමේ වරදක් නැත. ඇය ද මට කමිසයක් තෑගි දී ඇත.   


ෆැෂන් හවුස් වෙළෙඳසැලෙන් විමසූ විට ඊවිනින් ඉන් පැරිස් සුවඳ විලවුන් කුප්පියේ මිල රුපියල් හතළිහකි. ඒ වර්ගයේ නොවිකිණී ඉතිරිව තිබුුණු එකම කුප්පිය ද එය විය.   


දැන් මට නිවනක් නැත. මගේ ඒකායන අරමුණ ඊවිනින් ඉන් පැරිස් සුවඳ විලවුන් කුප්පිය මිලට ගෙන, කුමාරිට තෑගි දීමය. එවකට මගේ අත ගැවසුණු මුදල් ප‍්‍රමාණය අනුව රුපියල් හතළිහක් යනු බරපතළ කාරණාවකි. මා හදාරමින් සිටි ආර්ථික විද්‍යාවේ පිළිගත් කිසිම න්‍යායයක් එම මුදල ලබාගනු සඳහා ගුරුකොට ගත නොහැකි විය. කොටින්ම කිසියම් ආකාරයකින් ප‍්‍රතිලාභයක් ලැබීම සඳහා ආයෝජනයක යෙදවීමට තරම් ප‍්‍රාග්ධනයක් ද මා සතු නොවීය. එහෙත් රුපියල් හතළිහක් කෙසේ හෝ සොයාගත යුතුය. 

 
බෝඩිමෙන් ලැබුණු ආහාරයත් ටැප් වතුරත් මා නේවාසිකව සිටි වීරකෝන් උයනේ වතුවල පාර අයිනේ ගස්වල හැදුණු අඹ ගැටත් හැරුණු විට අමතර කෑමක් දැන් මගේ බඩට වැටෙන්නේ නැති තරම් ය. ක‍්‍රිෂ්ණ භවන් තෝසෙ කඩයට පිංසිදු වෙන්නට ඉඳහිට හෝ මසාල වඩ දෙකක් කා එකකට ගෙවීම නම් නොනවත්වාම කෙරුණි. බස්වල ටිකට් නැතිව යන ගමන දැන් එන්න එන්නම වැඩිය. ඒ දිනවල පයින් ගිය තරමට දෙපා ගෙවුනා නම්, දණහිසින් ඉහළට තරම් ඒවා ගෙවී යාමට ඉඩ තිබුණි. කකුල් නොගෙවුන ද සපත්තු අඩි පැත්තට ගෙවී ගියේය. මේ දුෂ්කර ක‍්‍රියා අතරතුර, ඉඳහිට හෝ ෆැෂන් හවුස් සාප්පුව වෙත ගොස් සුවඳ විලවුන් කුප්පිය තවමත් නොවිකිණී ඇද්දැයි විමසා බැලීමට ද සිදුවිය. දැන් සාප්පුවේ වෙළෙඳ සේවකයෝ ද මා හොඳින් හඳුනති. බඩුව තවමත් නොවිකිණී ඇති බව ඔවුන් කියන්නේ මා කඩයට ගොඩවීමටත් පෙර ය. අවසානයේ රුපියල් හතළිහ මා අත ඉතිරිවෙන විට, දළදා මාලිගාව අසල පාරේ වැටී තිබී අහුලාගත් රුපියලක් ද ඒ අතර විය.   


සුවඳ විලවුන් කුප්පිය මිලට ගත්විට සියල්ල අවසානයයි මම සිතුවෙමි. එහෙත් සැබෑ කල්වාරිය ආරම්භ වූවේ එතැන් සිට ය. සුවඳ විලවුන් කුප්පිය අඩංගු පෙට්ටිය කඩදාසි බෑගයක දමාගෙන දේශනවලට යන විට ගෙන ගිය ද එය කුමාරිට දීමට සිත හදාගැනීමට බැරිය. විටෙක කුමාරි දේශනවලට එන්නේ පියා සමග මෝටර් රථයෙනි. තවත් වරෙක පෙම්වතා සමඟ බෙන්ස් එකෙන් ය. ඒවා දකින මගේ සිත පසුබායි. හෙට නම් දේශන ආරම්භයට පෙර තෑග්ග කුමාරි අතට දෙමියි සිතමි. දේශනවලින් පසුව දෙමි යයි ඊළග මොහොතක සිතමි. දැන් තෑග්ග ඔතාගත් කඩදාසි බෑගය ද අතටම දියවෙමින් ඇත. පොත්වලට අමතරව මෑතක සිට අතේ ගැවසෙන කුඩා පාර්සලය දැන් ගජයන්ගේ අවධානයට ද යොමුවෙමින් ඇත. දිනපතා කුමාරි හමුවුවද කතාබහ කළ ද සුවඳ විලවුන් කුප්පිය ඇයට දීමට සිත එකඟ කරගැනීමට කිසිසේත්ම නොහැකිය. මෙය නොකෙරෙන දීගයකි. සුවඳ විලවුන් කුප්පිය මට දැන් බරකි. අවසානයේ තීරණයකට එළෙඹුනෙමි.   


මහනුවර බාටා පාවහන් වෙළෙඳසැලේ ‘‘එයාරි’’ මොඩලයේ පාවහන් යුගලක් රුපියල් දහනවයයි ශත අනූවකි. පේරාදෙණියේ අප්පුහාමි ටේලර්ස් වෙතින් රුපියල් විස්සකට තවත් කලිසමක් මසාගත හැකිය. සුවඳ විලවුන් කුප්පිය ආපසු ෆැෂන් හවුස් සාප්පුවට දී රුපියල් හතළිහ නැවත ලබාගත යුතුය. ඒ හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත. සියල්ල සිතූ පරිදි කෙරුණොත්, ශත දහයක් අතේ ඉතුරුය. ඒ මසාල වඩ දෙකක මුදල ය. මට නම්, ක‍්‍රිෂ්ණ භවන් තෝස කඩයෙන් වඩේ හතරකි.   


සුවඳ විලවුන් වැනි දේ විකුණූ පසුව යළි භාර නොගන්නා බව ෆැෂන් හවුස් කාරයා කී විට, ඊවිනින් ඉන් පැරිස් දෙවැනි සිහිනය ද බිඳ වැටුණි.   


ඔතා තිබුණු දවටනය ඉවත් කරමින් සුවඳ විලවුන් කුප්පිය අතට ගත් අම්මා විමතියෙන් මෙන් මා දෙස බැලුවා ය. ඇගේ නෙත අග කඳුළක් රැඳී තිබුණි. ඇය එම සුවඳ විලවුන් වර්ගයේ මිල දනී. එය ගැනීමට මට සල්ලි කෙසේ ලැබෙන්නට ඇද්දැයි ඇය සිතන්නට ඇත.   

 

 

 

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ රෝමය ඉතාලිය.