පැරිසියේ ප‍්‍රංශ ශ්‍රී ලංකා මිත‍්‍ර සංගමයේ සාමාජිකයන්ගෙන් දිගන පුනරුත්ථාපන රෝහලට රෝද පුටු පරිත්‍යාගය


 

ප‍්‍රංශයේ පැරිස් නුවර මූලිකව ක‍්‍රියාත්මක ප‍්‍රංශ - ශ්‍රී ලාංකා සුභසාධක සංවිධානය මගින් වාර්ෂිකව සිදු කරන සමාජ සත්කාරක සේවාවන්ගේ එක් අංගයක් වශයෙන් මෙවර මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ දිගන පිහිටි රජයේ පුනරුත්ථාපන රෝහලේ ආබාධිත රෝගීන්ගේ ප‍්‍රයෝජනය පිණිස රෝද පුටු දෙකක් පරිත්‍යාග කරන ලදී. ඉහත සංවිධානයේ උප සභාපති ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ සේවා ස්ථානයේ ප‍්‍රධානී, ප‍්‍රංශයේ යුනිවර්සල් සංගීත සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පැස්කල් ​ෙනග්රේ මහතාගේ පියාට පින් පිණිස එම මහතා විසින් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම විශේෂ වෙන්නේය.   


එවැනි රෝද පුටු කිහිපයක් ඉදිරියේදී දිගන රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙන බව එම සංගමයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා පැවසීය.   


එම පරිත්‍යාගය දිගන පුනරුත්ථාපන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඊ.එම්.සී. ඒකනායන මහතා විසින් නියෝජිතයකු අතින් භාරගන්නා ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. රෝහලේ ප‍්‍රධාන හෙද නිලධාරිනියන්ද ඒ සමඟ සිටී.   


ප‍්‍රංශ ශ්‍රී ලංකා මිත‍්‍ර සංගමය වාර්ෂිකව සිදු කරනු ලබන මෙම සද්ක‍්‍රියාවන් රැසක් අතර පසුගිය කාලයේ අනුරාධපුර පොළොන්නරු ප‍්‍රදේශවල දරුණුලෙස වකුගඩු රෝගය බලපා තිබු ගම්මානවල ජනයාගේ පානීය ජල අවශ්‍යතා සපුරාගැනීම පිණිස ජලපෙරණ යන්ත‍්‍ර රැසක් පරිත්‍යාග කිරීම, දුෂ්කර ගම්මානවල දු දරුවන් සඳහා පාසල් පොත් හා උපකරණ පිරිනැමිම, මහනුවර මහරෝහල ආශ‍්‍රිතව ඉදිකෙරෙන පිළිකා වාට්ටුවට අවශ්‍ය උපකරණ ලබා දීම ආදිය ඒ අතරින් කිහිපයක් ලෙස සඳහන් කළ හැක.   


එමෙන්ම ප‍්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පෞද්ගලිකවද නෙයෙකුත් අන්දමින් උපන් බිමේ අසරණ ජනයාට උදවු උපකාර කරන අවස්ථාද එමට ඇත. දැනට පැරිසියේ පදිංචි, කෝට්ටේ ප‍්‍රමුඛ පුරවැසියෙකු වු අජිත් රණසිංහ මහතා පසුගිය වසරේ දිගන පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබු ආබාධිත පුද්ගලයින් හතළිස් දෙනකුට ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම එවැනි එක් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කිසියම් අනතුරක් නිසා කොඳු ඇට පෙළට හානි වී හෝ දෙපා අහිමී වී හෝ සයනයට හෝ රෝද පුටුවට සීමාවී සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කරන පුද්ගලයින්ට ලෝකය දැකීමට අවස්ථාව ලැබෙන්නේ පොතපතින් හා රූපවාහිනිය මගින් පමණි, ඒ සඳහා ඇස් කාණ්ණාඩි යුගලකින් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අගනේය.   


- කේසර