පැරිසිය උඩුයටිකුරු කළ ප්‍රංශ කහ ජැකට්ටුව


 

2019 ජනවාරි 01 වෙනිදා සිට ඉන්ධන මිල යුරෝ සෙන්ටිම් 7 කින් ඉහළ දැමීමට ප්‍රංශ රජය තීරණය කරයි. වර්තමාන ප්‍රංශ රජය විසින් මෙම ප්‍රකාශය සිදු කළේ, පසුගිය ඔක්තෝබර් මස පළමු සතියේය. ඒ අතරතුර විශ්‍රාමිකයන්ගේ මාසික වැටුපට අනුබද්ධ දැනට අය කර ගන්නා බදු ප්‍රතිශතය (සාමාන්‍ය සමාජ දායකත්ව බදු) සියයට 1.7 කින් ඉහළ දැමීමටද තීරණය කළේය. ඒ වගේම ඔක්තෝබර් 01 වැනිදාා සිට ගෑස් මිල හා විදුලි බිල ඉහළ දැමීය. පසුගිය ජුලි මස සියයට 7.45 කින් ඉහළ ගිය ගෑස් මිල ඔක්තෝබර් මස තවත් සියයට 3.25 කින් ඉහළ දැමීය. අවසානයේ නොවැම්බර් 01 වැනිදාා සිට එම මිල නැවතත් සියයට 5.79 කින් ඉහළ දැමීය. මේ අනුව එක වසරක් තුළ පමණක් ගෑස් මිල සියයට 20 කින් ඉහළ ගියේය.   


ඊට අමතරව මහජනයාට බලපාන වෙනත් බදු කිහිපයක්ද ඉහළ දැමීය. වාහනයක් පාවිච්චි කරන කෙනෙකුගේ තාක්ෂණ පාලන බදු වැඩි වූයේය. වාහන නැවැත්වීමේ ගාස්තු වැඩි කළේය. අධිවේගී මාර්ග පිවිසුම් ගාස්තු වැඩි කළේය. සාමාන්‍ය ජනයාගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගියේය. මේ හේතුවෙන් ප්‍රංශ ජනයාගේ ජීවන බර නොදැනුවත්වම ඉහළ ගියේය. ඒ සමගම ධනවතුන්ට බදු සහන ලබා දුන්නේය. යුරෝපයේ රටවල් අතර විවිධ ක්‍රම හරහා මහජනතාවගෙන් වැඩිපුරම බදු අය කරන රට ප්‍රංශයයි.   
ප්‍රංශයේ ගොවියා, ගුරුවරයා, හෙදිය, රාජ්‍ය සේවකයා විශ්‍රාමිකයා ආදි ලෙස ප්‍රංශ ජනගහනයෙන් වැඩි කොටසකට ඉහළ මිල සමීකරණය ඔරොත්තු දුන්නේ නැත. එය පරම සත්‍යයයි. එම හේතුවෙන් ප්‍රංශ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශාල විරෝධයක් නිර්මාණය වූයේය. මෙම තත්ත්වය විශාල නගරබද හා ඒ අවට ජනතාවට එතරම් තදබල නොවුණත් ඈත පිටිසර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවට එය ඉතා තදින්ම දැනුන කරුණක් වූයේය. එහිදී විශේෂයෙන් සඳහන් කළයුතු සාධකයක් වෙන්නේ ජීවන බර දරා ගැනීම අසීරු ලෙස බලපෑ ඈත පිටිසර ප්‍රංශ ජනතාව ආණ්ඩුවට එරෙහිව මහ මගට බැසීමට තීරණය කිරීමයි. මෙහිදී සැලකිල්ලට ගතයුතු අනෙක් සාධකය වෙන්නේ මෙම විරෝධතාකරුවන්ගෙන් බහුතරයක් ගොවියෝ වීමයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනි විරෝධතාවකට එක්වෙන්නේ ප්‍රථම වතාවටයි. එහි ප්‍රතිපලයක් ලෙස කිසිම සංවිධාන එකමුතුවකින් තොරව දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති සංවිධාන නොමැතිව අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලා ඔස්සේ වාද විවාද කරමින් එකිනෙකා හඳුනා ගනිමින් මේ වෙනවිට ප්‍රංශය පුරා ව්‍යාප්ත කහ ජැකට් උද්ඝෝෂණය ආරම්භ වූයේය.   


“ජනාධිපති මැක්රොන් එලවනු”, “මැක්රොන් බොනපාට්”, “ධනවතුන්ගේ ජනාධිපති ගෙදර යවනු”, උඹට ප්‍රංශය භාර දුන්නේ විකුණන්න නොවේ” ආදී සටන් පාඨ සමස්ථයක් ලෙස මේ වෙනවිට කහ ජැකට්කරුවන්ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්වී ඇත්තේය. පසුගිය නොවැම්බර් 17 වැනි සෙනසුරාදාා ප්‍රංශය පුරා ස්ථාන 2500 කදී දියත් කළ විරෝධතාවට 2,87,710ක් සහභාගි වී ඇත්තේය.   


එහිදී වැඩි පුරම ප්‍රධාන ගමනාගමන මරමස්ථාන බාධක යොදාා අවහිර කොට තිබූ හෙයින් ආර්ථික කටයුතු බොහෝමයක් අඩපණ වූයේය. අධිවේගී මාර්ගවලට මුදල් ගෙවා ඇතුළුවෙන දොරටු සියල්ල විරෝධතාකරුවන් විසින් නොමිලේ ඇතුලුවීමට සැලැස්සුවේය. මෙම උද්ඝෝෂණයේදී ඇතිවූ විවිධ හේතූන් මත 795 දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඉන් 190 නිදහස් කළේය. උද්ඝෝෂණය හේතුවෙන් මරණ දෙකක් සිදු වූයේය. තුවාලකරුවන් 606 ක් අතරින් ආරක්ෂක භටයන් 134කි. එදින උද්ඝෝෂණයට ආණ්ඩුව නිසි ප්‍රතික්‍රියා නොදැක්වීම හේතු කොට උද්ඝෝෂණය ඉදිරියට ගෙන යෑමට උද්ඝෝෂකයෝ තීරණය කළ හෙයින් පසුගිය 24 වැනි සෙනසුරාදාා පැරීසිය වටලන බවට මුලින් අනතුරු හඟවා එදින පැරීසියේ උද්ඝෝෂණ පැවැත්වූයේය.   

 

 


ලෝකයේ ලස්සනම මාවත හෙවත් ඇවනිව් ෂොම් ශෙලිසේ, කොන්කෝඩ් චතුරශ්‍රය අවට හා ජනාධිපති මන්දිරය අවට හා ඒ හා සමාන්තර ප්‍රධාන මාර්ග වසා දමා දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ ආරක්ෂාව යොදාා එම ප්‍රදේශ උද්ඝෝෂණකරුවනට තහනම් ප්‍රදේශ බවට දැනුම් දී තිබුණ ද එදින දහවල් 11 පමණ වෙනවිට තහනම් ප්‍රදේශයක් වූ ෂොම් ශෙලිසේ මාවත උද්ඝෝෂකයන් ගේ පාරාදීසයක් බවට පත් වීමට එතරම් වේලාවක් ගත නොවීය. කෙසේ නමුදු මේ වෙනවිට කිසිදු සංවිධායකයෙක් නොමැති උද්ඝෝෂකයන් අතරට රාජ්‍ය දේපළ විනාශ කරන්නන් කණ්ඩායම් ලෙස රිංගා ගැනීමට ඔවුන් දක්ෂයෝ වූයේය. අවසානයේ කහ ජැකට්කරුවන්ද මවිතයට පත් කරමින් රාජ්‍ය විරෝධීන් විසින් ලස්සන මාවත දෙපස කඩ සාප්පු කඩා කුඩු පට්ටම් කිරීමටත් මාවතේ විවිධ ස්ථාන කිහිපයක ටයර් දමා ගිනි අවුළුවා මහා විනාශයකට මුල පිරුවේය. කලහකාරී ලෙස හැසිරුණු හා මහජන දේපළවලට හානි කළ කැරලිකරුවන් 123 දෙනෙකු අත්අත්අඩංගුවට ගෙන 23 දෙනෙකු රඳවා නඩු පවරා මේ වෙනවිට තිදෙනෙකුට යුරෝ 15000 ක දඩයක් හා මාස හයක සිර දඬුවම් ලබා දීමට කටයුතු කර ඇත්තේය.   


කෙසේ නමුදු 24 වැනි සෙනසුරාදා මුළු ප්‍රංශය පුරා 106301 කට ආසන්න ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේය. පැරීසියට 20000ක් පමණ කහ ජැකට්කරුවන් ප්‍රමාණයක් පැමිණ සිටියේය. ප්‍රංශය පුරා ඇති අධිවේගී මාර්ග අතරින් අධිවේගී 12ක් දකුණු දිග ප්‍රංශයේ මාර්ග බාධක යොදාා අවහිර කර තිබුණි. 24 වෙනි සෙනසුරාදාා උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ඇතිවූ ගැටුම්වලින් තුවාලකරුවන් වූ 138ක් අතුරින් 24 දෙනෙක් අග නගරයේය. ඔවුන් අතරින් හය දෙනෙකු පොලිස් භටයන්ය. 24 වෙනි සෙනසුරාදාා උද්ඝෝෂණය හේතුවෙන් වාහනයක් නොමැති කාන්තාරයක් බවට පැරීසිය පත් වූයේය. මාවත දෙපස කඩ සාප්පු සම්පූර්ණයෙන්ම වසා දැමීය. නොනිදන නගරයේ නොනිදන මාවත ලෙස ප්‍රසිද්ධ වසර මුලුල්ලේ පැය විසි හතර පුරාවට මහජනයාගෙන් හා සංචාරකයන්ගෙන් පිරී ඉතිරී පවතින ලෝකයේ ලස්සනම මාවත එදින සුසාන භූමියක සිරිය ගත්තේය.   


ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් ශෙලිසේ මාවත ලෝකයේ ලස්සනම මාවත ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රංශයට හිමි සුවිශේෂි අවස්ථාවන් සමරන්නේ මෙම මාවත කේන්ද්‍ර කොට ගෙනය. ඒ අතරින් ප්‍රංශ ජාතික දිනය විශේෂ වෙන්නේය. පසුගියදාා පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සහභාගීවූ රාජ්‍ය නායකයන් 70ක් පමණ පයින් ගමන් කළේ මෙම මාවත දිගේය. ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ සයිකල් සවාරියේ අවසාන වට දහය ගමන් කරන්නේ මෙම මාවතේය. නත්තල් සමයේ උදාවත් සමග මෙම මාවත ඉතාමත් වර්ණවත් විදුලි බුබුලුවලින් ආලෝකමත් වී ඇති අයුරු දැක බලා ගැනීමට බොහෝ සංචාරකයෝ පැමිණෙති. වසර පුරා පැය විසි හතරම ජනයා ගෙන් පිරි මෙම මාවත ප්‍රංශයට අති තීරණාත්මක වැදගත් රාජ්‍ය සංකේතයක් ලෙස සලකනු ලබයි. එවැනි ස්ථානයක් ගිනි ජාලාවක් බවට පත් වෙනවා දැකීමට ප්‍රංශ ජනතාව කොහෙත්ම කැමති වෙන්නේ හෝ අනුමත කරන්නේද නැත. නමුත් පසුගිය නොවැම්බර් මස 24 වැනි සෙනසුරාදා එම සිහින බොඳ කරමින් ලෝකයේ ලස්සනම මාවත කළු දුමාරයෙන් පිරි අමු සොහොනක් බවට පත්වීමට එතරම් වේලාවක් ගත නොවුනේය.   


කෙසේ නමුදු ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ජනතාව බලාපොරොත්තු වෙන සහන නොලැබුණොත් මීටත් වඩා දැවැන්ත උද්ඝෝෂණයකට දෙසැම්බර් මස 01 වැනි සෙනසුරාදා සූදාානම් බව කහ ජැකට්කරුවෝ ආණ්ඩුවට අනතුරු හඟවා සිටියෝය . එබැවින් කහ ජැකට්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට තමන් සුදානම් බව ප්‍රංශ ජනාධිපති ප්‍රකාශ කර සිටියේය. එසේ නමුදු උද්ඝෝෂකකරුවන් අතර සංවිධානයක් හෝ නායකත්වයක් නොමැති තත්ත්වයන් තුළ ​ෙදපාර්ශ්වය අතර සාකච්ඡාවක් සිදු නොවුනේය. මෙම පරිසරය තුළ 27 වැනි අඟහරුවාදාා ජනාධිපති විසින් ජාතිය අමතමින් ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය ගැන විග්‍රහයක් කළේය. එහිදී ලබන වසර ආරම්භයේ ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු වෙනසක් සිදු නොවන බවද කීවේය. මෙයින් කෝපයට පත් කහ ජැකට් කණ්ඩායම් දෙසැම්බර් 01 වැනිදාා නැවතත් පැරීසියේ උද්ඝෝෂණ පවත්වන බවට රජයට දැනුම් දීමක් කළේය.   


ඒ අනුව 01 වැනිදාා උද්ඝෝෂකකරුවන් පැරීසියට පැමිණියෝය. එදින ලස්සනම මාවතට ඇතුළුවීම සම්පූර්ණ ආරක්ෂාව යොදාා අවහිර කොට තිබූ හෙයින් උදේ 10ට පමණ නන්දෙසින් පැමිණි උද්ඝෝෂකයෝ පැරීසියේ සුවිශේෂි ස්ථානයක් වූ චාර්ල්ස් ඩිගෝල් චතුරශ්‍රයේ පිහිටි නොහඳුනන සොල්දාාදුවන්ගේ ඓතිහාසික ස්මාරකය වටා රොක් වෙමින් විරෝධතාවේ යෙදුනු අතර ඊට පෙර සෙනසුරාදා මෙන් උද්ඝෝෂකයන් අතරට රිංගා ගත් රාජ්‍ය දේපළ විනාශ කරන්නන් විසින් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීම හේතුවෙන් ආරක්ෂක පොලිස් භටයන් හා ඔවුන් අතර සටන් ඇවිලීම ආරම්භ වූයේය. ඒ අතරතුර ස්මාරකය තුළ ඇති කුඩා කෞතුකාගාරය හා වෙනත් ඵෙතිහාසික වටිනා දෑ විනාශ කළේය. ස්මාරකයේ වටා ඇති බිත්තිය විවිධ සටන් පාඨ වැකි වලින් වැසී ගියේය. උදේ 10ට පමණ ආරම්භවූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා රාත්‍රී 09 පමණ වෙනතුරු පැවැති අතර ස්මාරකය පිහිටි චතුරශ්‍රයෙන් විහිදෙන වෙනත් මං මාවත්වලට රොක්වූ උද්ඝෝෂකයෝ එහි නවතා තිබූ වාහන, කඩ සාප්පු, බැංකු ශාඛා, ආපන ශාලා, ෆාමසි, බස් නැවතුම් ආදිය කඩා බිඳ දමමින් ගිනි තබමින් විශාල විනාශයකට මුල පිරුවෝය. එදින පැමිණි විරෝධතාකරුවන් සංඛ්‍යාත්මකව ඊට පෙරට වඩා අඩු වුවද සිදුවූ විනාශය පෙරට වඩා පස් ගුණයකින් වැඩිවී තිබු බව බලධාරීන් පවසන්නේය.   


දෙසැම්බර් 01 වැනිදාා උද්ඝෝෂණයට 6000ක් පමණ සහභාගි වී ඇති අතර කැරලි මර්දන පොලිස් භටයන් 5000ක් ද පැරීසියේ ආරක්ෂාවට විවිධ ස්ථානවල රඳවා සිටියේය. එදින කලහකාරී තත්ත්වයන් තුළ 412 දෙනෙකු අත්අඩංගුවට ගෙන 378 දෙනෙකු රඳවා ගෙන සිටී. 133 දෙනෙකු තුවාලකරුවන් අතර 20 දෙනෙකු පොලිස් භටයන්ය. ප්‍රංශයේ ප්‍රධාන නගර වන මාර්සෙයි, ලීල්, බොර්ඩෝ, නන්ත්, තුලුස්, ලියෝන් යන නගර වලද සැලකිය යුතු අලභහානි හා එක් මරණයක් සිදුවී ඇති බව අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදයන්හි සඳහන් වෙන්නේය.   

 

 


මෙම කලබලකාරී දිනයේ ප්‍රංශ ජනාධිපති ආර්ජන්ටිනාවේ ජී 20 සමුළුවට සහභාගි වෙමින් සිටියේය. දෙසැම්බර් 02 වැනි ඉරිදාා සියරට පැමිණි ජනාධිපති සිදුවීම් නැරඹීමට පැරීසියේ සංචාරය කළේය. ඒ අතරතුර මග දෙපස ජනයා සමහරක් හූ කීවෝය. මේ වෙනවිට ප්‍රධාන ඇමතිවරු ප්‍රධාන පක්ෂ නායකයන් අගමැති සමග ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් සඳුදා පැවැත්වීය. මේ වෙනවිට රජයත් ජනාධිපතිත් දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. එය අවබෝධ කරගත් රජය විවිධ විසඳුම් සොයමින් සිටී.   


අවසාන වශයෙන් මෙම ලියුම්කරු දැනට දශක තුනකට ආසන්නව පැරීසියේ ජීවත්වුවද මෙවැනි කලහකාරී තත්ත්වයක් පැරීසිය තුළදී දැකපු ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කර තැබීම යෝග්‍යවේ. එබැවින් ප්‍රංශයේ ඉදිරි අනාගතය බොහෝසෙයින් අනතුරට පත්වී ඇති බව පැරණි ප්‍රංශ ජාතිකයෝ පවසති.   


වසර 1789 දී සිදුවූ ඵෙතිහාසික ප්‍රංශ විප්ලවයේ ආරම්භය ද මේ හා සමාන බව පැරණි ප්‍රංශ පුරවැසියෝ අතීතය සිහිපත් කරමින් පවසති. එබැවින් කහ ජැකට් උද්ඝෝෂණය විශේෂ සැලකිල්ලකට භාජනය වීම නොවැළැක්විය හැකිය. ඉදිරියේදී ප්‍රංශ කහ ජැකට්ටුව ඉතිහාසයට එක්වීමද නොවැළැක්විය හැක.   

 


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට