පැරිස් විහාරයේ බක්මහ සිරි


පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් 2018 අප්‍රේල් මස 15 වැනි ඉරු දින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේය.  


පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පවරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඥානිස්සර හිමි, ප්‍රංශයේ ශ්‍රී ලාංකික දේවස්ථානයේ ගුරු ප්‍රභාත් තමෙල් පියතුමන්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි කේ. අතාවුද මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි ඇතුළු ගෞරවණීය අමුත්තෝ රැසකගේ හා පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සභාපතිත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ සහ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලුත් අවුරුදු චරිත්‍රානුකූලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග්‍රහවලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වූයේය.  


ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දූ දරුවන් සඳහා විශේෂ තරගවලින් සමන්විත වූයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමර කුමරියන් සඳහා දහම් පාසලේ දූ දරුවන් බොහොමයක් සහභාගි වූහ. බක්මහ උළෙල අවසානයේ ඉතාමත් අලංකාර සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වූයේය.  


පැරීසියේ ජයමිණි රංග කලායතනයේ ආචාරිණි සුජීවා විජේසූරිය ඇතුළු එහි දූ දරුවන්ගේ අලංකාර නර්තනවලින් සංස්කෘත ප්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් විය. පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි ඇතුළු ගෞරවණීය අමුත්තන් රැසකගෙන් සංස්කෘත ප්‍රසංගයට අනුග්‍රහය ලැබුණේය.  

 

 

 

 

 

 

 


සුනිල් ආනන්ද - පැරිසියේ සිට