පාස්කු ඉරිදා මියගිය අය සිහිකර ශාක්‍යමුණි විහාරයේ පින්කම්


 

 

පාස්කු ඉරිදා දේවස්ථා කිහිපයක ආගමික කටයුතු වල නිරත වී සිටි පිරිසට ද හෝටල් කිහිපයකට ද එල්ල වුණු අන්තවාදී ප්‍රහාරයන්ගෙන් මිය ගිය අසරණ අය උදෙසා පිං අනුමෝදන් කිරීමේ පිංකමක් සහ තුවාල ලැබූ අසරණ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ද දුක් ගිනි උහුලන අසරණ ජනතාවගේ දුක් ගිනි නිවී සැනසීම සිතට ලැබේවා යන ප්‍රාර්ථනයෙන් රෝම ශාක්‍ය මුනි විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම මස 28 වැනි ඉරු දින සවස රෝම ශාක්‍ය මුණි විහාරයේ සෙත් පිරිත් සජ්ඣායනා කරමින් අට විසි බුද්ධ වන්දනාවක් සිදු කර සියලුම මිය ගිය ජනතාවට පින් අනුමෝ‍දන් කළ අතර තුවාල ලැබූ ජනතාවට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කළහ. නොසිතූ නොපැතූ මෙම ඛේදවාචකයෙන් විදේශික බොහෝ පිරිසක් ද මිය ගිය බව දැන ගන්නට ලැබුණි. එම අයට ද අප පින් අනුමෝදන් කළ අතර ඉතාමත් දුක්බරව අපේ කණගාටුව පුද කර සිටිමි.   


මෙවන් දුක් ගිනි මින් මතු උහුලන්නට කිසිම සත්වයෙකුට සිදු නොවේවා කියා අප උදේ හවා බුදුන් වඳිමින් ප්‍රාර්ථනා කරමු.   


මෙදින රෝමයේ විහාරස්ථාන කිහිපයක දන්සැල් දෙමින් බුද්ධ පූජා පිංකම් සිදු කරමින් මෙම මිය ගිය පිරිසට පින් අනුමෝදන් කළ අතර තුවාල ලැබුවන්ට සෙත් පැතූහ. අප පිට රටක සිටිය ද අපේ ලක් භූමියට, ලක් ජනතාවට කිසිඳු අනතුරක් නොවේවා යනු අපගේ ප්‍රාර්ථනයයි. 

 

 


ප්‍රේමා කංකානම්ගේ
රෝමය 
ඡායාරූප - 
නෙත්මී අමේශා