පාරාදීසය අත ළඟ ඇති ශ්‍රී ලංකාවේ කඳුකරය


ඉතාලි පත්තරයක පිටුවක් පුරා විස්තරය

 

ඉතාලියේ වැඩියෙන් ම අලෙවි වන පුවත්පත වන “ඉල් මැසෙජ්ජෙරෝ” පුවත්පතේ 2018 නොවැම්බර් මස අටවැනිදා කලාපයේ දහනවවැනි පිටුව මුළුමනින් ම ශ්‍රී ලංකාවේ කඳුකර සිරියාව පිළිබඳ ලිපියකට වෙන්ව ඇත. මීට මාස කීපයකට පෙර, එනම් පසුගිය ජුලි මස දොළොස්වැනිදා ද මෙම පුවත්පත ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ අසිරිය ලොවට කියා පෑවේය. මෙවර අපේ කඳුකරයේ අසිරිමත් බව කියාපෑම සඳහා ලියුම්කරු තෝරාගෙන ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේදී සංචාරකයකුට දැකගත හැකි දර්ශනයන් ය.   


කොළඹ බදුල්ල දුම්රිය සේවය පිළිබඳව ලියුම්කරු මෙසේ කියයි.  


“ගල් අඟුරු දුම්රිය ඇන්ජිම විශ්‍රාම යවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නවීන දුම්රිය ඇන්ජින් භාවිතා කළ ද ඒවා තවමත් ධාවනය වෙන්නේ මීට වසර එකසිය පනහකට පමණ පෙර ඉංග්‍රීසීන් විසින් තනන ලද දුම්රිය මාර්ගය ඔස්සේම ය. කොළඹ සිට මහනුවර දක්වා වික්ටරි ස්පෙෂල් නම් වූ පැරණි ගල් අඟුරු දුම්රියෙන් ගමන් කළ හැකිය. එහි ආසන කලින් වෙන්කරවා ගත යුතුය. එහෙත් බදුල්ල දක්වා යාමට එවන් සුඛෝපභෝගී දුම්රියක් නැත.”   


මහමාර්ගය ඔස්සේ බස්රථයෙන් පැය පහකින් පමණ යා හැකි කොළඹ බදුල්ල ගමන සඳහා දුම්රිය පැය දහයක් ගැනීමේ වරදක් තමන් නොදකින බව ලියුම්කරු කියයි. ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ කඳුකර අසිරිය නැරඹීම සඳහා සුදුසුම මග දුම්රිය ගමන බව ය. කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ගමන් ප්‍රවේශපත්වල මිල ගණන්, පංති අනුව ආසනවල පහසුකම්, කලින් වෙන්කරවාගත යුතු නිරීක්ෂණ මැදිරි ආසන පමණක් නොව, සෑම දුම්රියපොළකදීම දක්නට ලැබෙන විවිධ ආහාර සහ පලතුරු වෙළෙඳුන් ගැන ද ලියුම්කරු පූර්ණ විස්තරයක් සපයයි.   


තේ වගාව අතරින් දුම්රිය ගමන් කිරීමේදී දක්නට ලැබෙන දර්ශන පිළිබඳව ලියුම්කරු මෙසේ විස්තර කරයි. 

 
 “කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ බිම්ගෙවල් හැටක් පමණ ඇත. දුම්රිය ගමන මන්දගාමී ය. තේ වගාව මැදින් ගමන් කිරීමේදී තේ දළු නෙළන්නියන් දැකගත හැකිය. ඔවුන් ඉන්දියානු හෝ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ සම්භවයක් ඇත්තියෝ ය. තද බෑවුම් සහිත බිමක කර ඇති තේ වගාවේ දළු නෙළීම පහසු නැත. තේ පේළි අතර ගමන් කිරීමට තරම් පැහැදිලි ඉඩක් නැත. බිම මඩ සහිත බැවින් ලෙස්සන සුළු ය. එහෙත් මෙම කාන්තාවෝ කඩිසරව එහා මෙහා යමින් දළු නෙළති. දෛනික වැටුපකට සේවය කරන බැවින් ඔවුන් දිනකට තේ දළු කිලෝ විස්සක් අවම වශයෙන් නෙළිය යුතු ය.”   


ඉංග්‍රීසි තේ වගාකරුවෝ තම විවේකය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණු නුවරඑළිය පිළිබඳව, ලිපියේ මෙසේ වර්ණනා කර ඇත.   


 “මුහුදු මට්ටමින් මීටර් එක්දහස් අටසීයක් පමණ උසින් පිහිටි නුවරඑළිය සංචාරකයකු විසින් නැරඹිය යුතු ම නගරයකි. ඉංග්‍රීසීන් විසින් වික්ටෝරියා රැජින නමින් කර ඇති මල් උයන, 1875 දී විවෘත වුණු තුරඟ තරග පිටිය සහ එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශයේ ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන රතු ගඩොලින් කළ නුවරඑළියේ තැපැල් කාර්යාලය සහ ප්‍රදේශයේ දේශගුණය සංචාරකයා කුල්මත් කරවන සුළු ය. ”   


උඩරට තේ වගාව සහ ඉංග්‍රීසි තේ වගාකරුවන් පිළිබඳව ඓතිහාසික විස්තරයක් ද සපයන මෙම ලිපියේ මෙසේ ද සඳහන් ය.   


 “උඩරට දුම්රිය මාර්ගය දෙපස ඇති කඳු මිටියාවත් වසා සිටින හරිත වර්ණ තේ වගාව මනරම් ය. එහිදී ආග්‍රාණය කිරීමට ලැබෙන වාතයේ මිශ්‍රව ඇති සුවඳ ලොව කොතැනකදීවත් ආග්‍රාණය කිරීමට ලැබෙන්නේ නැත. මන්දගාමීව ඇදෙන දුම්රිය කවුළුව තුළින් දුරින් සහ ළඟින් පෙනෙන විවිධ ප්‍රමාණයේ දිය ඇළි සිහිනයක් බඳු ය. ඇල්ල නගරය ආසන්නයේ ඇති ආරුක්කු නවයේ පාලම නොදුටු දෑස අවාසනාවන්තය. තුනී මීදුමකින් කඳු මිටියාවත් වැසී යද්දී දැනෙන චමත්කාරය, උණු තේ කෝප්පයකින් දෙගුණ තෙගුණ වෙයි. කොටින්ම ශ්‍රී ලංකාවේ කඳුකරයට පාරාදීසය අත ළඟ ය.”   

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.