පාප්තුමාගේ ස්විස් ආරක්ෂක බලඇණියට අලුතින් තරුණයන්


 

ලොව කුඩාම රාජ්‍යය ලෙස සැලකෙන වතිකානය තුළදී පාප්තුමාට නිරායුධව ආරක්ෂාව සපයන ස්විස් ආරක්ෂක බලඇණියට අලුතින් බඳවා ගන්නා ලද විසිතුන්දෙනෙකු මැයි මස හය වැනි සඳුදා සවස පහට වතිකානයේ සාන්ත දමස්කෝ චතුරශ්‍රයේ පැවති උත්සවයකදී දිවුරුම් දුන්හ. මෙම පිරිස පසුගිය වසරේ මෙම බලඇණිය සඳහා බඳවා ගන්නා ලද පිරිසට වඩා 30% ප්‍රතිශතයකින් අඩු පිරිසකි. පාප්තුමාගේ ස්විස් ආරක්ෂක බලඇණිය සඳහා බඳවා ගනු ලබන්නේ ස්විස් ජාතික, කතෝලික, වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසේ තරුණයන් පමණි. 


පාප්තුමාට ස්විට්සර්ලන්තයෙන් පිදෙන ගෞරවයක් ලෙස 1506 ජනවාරි මස විසිදෙවැනිදා සිට මෙම ආරක්ෂක බලඇණිය සේවය කරයි. 1527 මැයි මස හයවැනිදා රෝමයට එල්ල කරන ලද ප්‍රහාරයකදී පාප්තුමාගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වූ ස්විස් ආරක්ෂක බලඇණියේ එකසිය හතළිස්හත් දෙනෙකු මිය ගියහ. සෑම වසරකම මැයි මස හයවැනිදා වතිකානය මෙම ඛේදවාචකය අනුස්මරණය කරයි. 


දැනට මෙම ආරක්ෂක බල පිරිස එකසිය දහදෙනෙකි. ස්විට්සර්ලන්ත නව පරපුර පාප්තුමාගේ ආරක්ෂක සේවයට බැඳෙන්නට කැමැත්තක් දක්වන්නේ නැත. මෙම බලඇණියට කාන්තාවන් බඳවා ගැනීමේ සූදානමක් ඇති බවට රාවයක් පැතිර ගියද වතිකානය එම ආරංචි ප්‍රතික්ෂේප කරයි. 


අලුතින් බඳවා ගන්නා ලද ස්විස් ආරක්ෂක බලඇණියේ නව සාමාජිකයන් විසිතුන්දෙනා මැයි මස හයවැනිදා වතිකානයේදී දිවුරුම් දුන් අවස්ථාව ඡායාරූපයන්ගෙන් දැක්වේ. 

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය