ප්‍රංශයේ සිට එංගලන්තයට මිනිසෙකු පියාඹා යයි


 

 

ග්‍රීසියේ ක්‍රීට් දූපතේ සිර අඩස්සියේ සිටි ඩෙඩලෝ සහ ඔහුගේ පුත් ඉකරස් කුරුළු පිහාටු ඉටි වලින් එකට සිටින සේ අලවා තනාගත් පියාපත් දෙඅතට සවිකරගෙන නිදහස සොයා පියඹා යන්නට විය. තද හිරු රශ්මියට ඉටි දියවෙන බැවින් වඩාත් ඉහළට පියඹා නොයන ලෙස පියා විසින් ඉකරස්ට අවවාද දී තිබුණ ද, එම අවවාදය නොතැකූ ඉකරස් අහසේ ඉහළට පියඹා ගිය අවස්ථාවේ හිරු රශ්මියෙන් ඉටි උණුවී පියාපත් ගැලවී මුහුදට වැටී මියගියේය. එහෙත් ඔහුගේ පියා නිසි පරිදි පහතින් පියඹා නිරුපද්‍රිතව ඉතාලියේ සිසිලි දූපතට සේන්දුවී තම මියගිය පුත්‍රයා වෙනුවෙන් ඇපලෝ දෙවියන්ට දෙවොලක් එහි තැනීය. මිනිසකු ප්‍රථම වරට අහසේ පියාසර කිරීමක් පිළිබඳව ග්‍රීක වීරකතා පුරාණයේ සඳහන් වෙන්නේ එසේය. ඒ ක්‍රි.පූ. දෙවැනි සියවසේදීය. 


ඇමෙරිකාවේ රයිට් සහෝදරයින් විසින් 1901 වසරේ කැරොලිනා ප්‍රාන්තයේදී තමන් විසින්ම සැලසුම්කර තනාගත් යානයක් මගින් පෘථිවියේ සිට මීටර් හතළිහක් ඉහළ අහසේ තත්පර දොළසක් පියාසර කළේය. රයිට් සහෝදරයන්ගේ ඒ ගමන ප්‍රථම ගුවන් ගමන ලෙස ඉතිහාසගතවී ඇත. 


ගුවන් ගමන් ඉතිහාසයට අලුත්ම වාර්තාව ලෙස එකතුවී ඇත්තේ පසුගියදා ප්‍රංශ ජාතික ෆ්‍රැන්කි ශපතා තමන් විසින්ම සැලසුම්කර තනාගත් මෙවලමකින්, ප්‍රංශයත් එංගලන්තයත් වෙන් කෙරෙන කි.මී. 35 ක් වූ සමුද්‍ර සංධිය (ඉංග්‍රීසි ඕඩය) මුහුදු මට්ටමේ සිට මීටර් 15 ත් විස්සත් අතර ඉහළකින් ගුවනින් තරණය කිරීම ය. 

 

 


ෆ්‍රැන්කි ශපතා විසින් ප්‍රංශයේ සිට එංගලන්තයට පියාසර කිරීම සඳහා යොදාගන්නා ලද මෙවලම “ෆ්ලයිබෝඞ්” (Flyboard) ලෙස හැඳින්වෙන අතර, එය කුඩා ප්‍රමාණයේ ටර්බයින පහකින් බලගැන්වේ. භූමිතෙල් දහනයෙන් ටර්බයින සඳහා බලය සැපයෙන අතර, ඉන්ධන ටැන්කිය පියාසර කරන්නාගේ පිටේ එල්ලාගෙන යා යුතු ය. පියාසර කිරීමේ සහ මෙවලම මත සමබරතාව රැකගැනීමේ පහසුව තකා පියාසර විනාඩි දහයකට පමණක් ප්‍රමාණවත් ඉන්ධන රැගෙන යාමට දැනට සිදුව ඇත. දීර්ඝ ගමනකදී සෑම පියාසර විනාඩි දහයකට වරක් ඉන්ධන සපයාගත යුතු ය. නියමුවා සමබරතාව රැකෙන පරිදි මෙවලම මත දෙපයින් සිටගෙන පියාසර කළ යුතු අතර, ෆ්ලයිබෝඩ් මෙවලමේ ක්‍රියාකාරිත්වය “ප්ලේ ස්ටේෂන්” ක්‍රිඩාව සඳහා යොදාගන්නා “ජෝස්ටික්” උපකරණයක් මගින් පාලනය කෙරේ. ගුවනේදී මෙවලමේ හැසිරවීම කෙරෙන්නේ ශරීර චලනය මගිනි. මෙම මෙවලමේ උපරිම ගමන් වේගය පැයට කි.මී. එකසිය ූනුවකි. 


ප්‍රංශයත් එංගලන්තයත් වෙන් කෙරෙන සමුද්‍ර සංධිය ගුවනින් තරණය කිරීම සඳහා ෆ්‍රැන්කි ශපතාට ගතවී ඇත්තේ විනාඩි විස්සක පමණ කාලයකි. ගමන අතරතුරදී ශපතා බොට්ටුවක් මතට ගොඩබැස ඉන්ධන පිරවූ වෙනත් ටැංකියක් සපයාගෙන ඇත. 


ෆ්‍රැන්කි ශපතා වෝටර්ජෙට් ක්‍රීඩාවේ ප්‍රංශ ශූරයාය. ජූලි මස දාහතරවැනිදාට යෙදුණු ප්‍රංශ ජාතික දින උත්සව සැමරීමේදී ෆ්‍රෑන්ක් ශපතා ෆ්ලයිබෝඩ් මෙවලම මගින් ගුවනින් පියාසර කර, චම්ප් එලිසේ හි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකරොන් සහ විශේෂ අමුත්තන් සිටි වේදිකාව ඉදිරිපිට නිෂ්චිත ස්ථානයකට ගොඩබැස සියල්ලන් මවිතයට පත්කළේය. 
ප්‍රංශයත් එංගලන්තයත් වෙන් කෙරෙන සමුද්‍ර සන්ධිය ගුවන් යානයකින් තරණය කර වසර එකසිය දහයක් පිරුණු පසුගිය ජූලි මස විසිපස්වැනිදා ෆ්‍රෑන්කි ශපතා තම ෆ්ලයිබෝඩ් යානයෙන් උක්ත සමුද්‍ර සංධිය තරණය කිරීමට උත්සහ කළ ද, ගමන අතරමැදදී ඉන්ධන පුරවාගැනීම සඳහා නියමිතව තිබුණු බෝට්ටුවක් මතට ගොඩබැසීමේදී සිදුවූ අත්වැරදීමකින් මුහුදට වැටී සුළු තුවාල ලබා එම උත්සාහය අතහැර දැමීය. එහෙත් මෙවර සියල්ල සැලසුම් පරිදි ක්‍රියාත්මක වූ බව ඔහු කියයි. ෆ්‍රැන්කි ශපතාගේ මීළඟ ඉලක්කය මීටර් දෙදහසක් ඉහළ අහසේ පියාසර කිරීමය. 


ෆ්ලයිබෝඩ් මෙවලම පොලිස් සහ ආරක්ෂක හමුදා රාජකාරි සඳහා යොදවා ගැනීමට ප්‍රංශ රජය දැනටමත් තීරණය කර ඇත. 

 

 


කල්ප ගුරුගේ. 
මිලානෝ.