ප්‍රංශයේ පස්වැනි ජනාධිපති දිවි ගමන නිමකරයි


 

 

ප්‍රංශයේ පස්වැනි ජන රජයේ පස්වැනි ජනාධිපති වූ වසර 12ක් ජනාධිපති ධූරය හෙබවූ ජැක් සිරාක් මහතා සැප්තැම්බර් 26 වැනි දින උදේ පැරිස් කලාප අංක 06 හී පිහිටි ඔහුගේ නිවෙසේදී අභාවප්‍රාප්ත විය. එදින දහවල් ඔහුගේ බෑනා වන (කොලෝඩ් සිරාක් දියණියගේ සැමියා) ෆ්‍රෙඩ්රික් සලාත් බාරූක්ස් විසින් ජනාධිපති මන්දිරයට ඔහුගේ අභාවය ගැන දැන්වීමෙන් පසු මාධ්‍යයට දැනුම් දුන්නේය. ඔහුගේ අභාවය සැලවූ වහාම හරියටම දහවල් 12ට පාර්ලිමේන්තුවේ ඒ වනවිට පැවැති විශේෂ විවාදයක් අතරමග නවතා කතානායකවරයා විසින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පවත්වා ශෝකය ප්‍රකාශ කොට සිටියේය. සෙනට් සභාවත් එම වේලාවටම ශෝකය ප්‍රකාශ කළේය. ඔහුගේ අභාවය පිළිබඳව ජනාධිපති මැක්රොන් විසින් 26 වැනිදා රාත්‍රී 08 ට ජාතිය අමතා ශෝකය ප්‍රකාශ කළේය. වර්ෂ 1996 දී ප්‍රංශුවා මිතොරොන් ජනාධිපතිගේ අභාවය සැලවූ වහාම එකල ජනාධිපති ජැක් සිරාක් විසින් එදින රාත්‍රියේ ජනතාව අමතා ඔහුට ශෝකය ප්‍රකාශ කළේය.   


එතුමා මිය යන විට ජීවත් වූයේ ඔහුගේ දුර්වල සෞඛ්‍යය තත්ත්වයට සරිලනසේ සැකසූ පැරිස් කලාප අංක 06 හී පිහිටි නිවෙසකය. එම නිවෙස ඔහුගේ ළඟම මිතුරෙකු වන ප්‍රංශයේ දෙවැනි කෝටිපතියා වෙන ප්‍රංශුවා පිනෝල්ට් ට හිමි නිවෙසකි. ඔහුගේ අභාවය දැනගත් ප්‍රංශුවා පිනෝල්ට් ඔහුගේ නිවසට පැමිණියේය. අභාවය ජනාධිපතිතුමාට සැලකර සිටියේ ඉන් පසුවය. ඉන්පසු මාධ්‍ය වෙත පැමිණි ඔහු සිරාක් ප්‍රංශ ආත්මය උපරිමයෙන් මූර්තිමත් කළ බව ප්‍රකාශ කළේය.   


2010 වසරින් පසු තුන් වරක් ඔහු රෝහල් ගත කළේය. ඒ 2010, 2015 දෙසැම්බර් හා 2016 සැප්තැම්බර් වලදීය. 2014 නොවැම්බර් 21 වෙනිදා ඔහු විසින් ආරම්භ කළ ජැක් ෂිරාක් පදනමේ රැස්වීමකට එවකට ජනාධිපති ඔලොන්ද් මහතාගේ ආරාධනාවකට අනුව සහභාගි වූයේද තරමක් අසාධ්‍ය තත්ත්වයෙන්ය. එය ඔහුගේ අවසාන ජන හමුවයි.   
30 වැනි සඳුදා එතුමාගේ අවසන් කටයුතු සියලු රාජ්‍ය ගෞරව ඇතිව සිදු කළේය. එදින ප්‍රංශයේ ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කොට තිබුණේය. උදේ 10 ට නැපෝලියන් බොනපාට් කෞතුකාගාර මැද මිදුලේදී ප්‍රංශ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හමුදා ආචාර ඇතුළත් රාජ්‍ය ගෞරව දැක්වීමෙන් පසු දහවල් 11.45 ට පැරිස් කලාප 06 හි පිහිටි සෙන්ට් සල්පිස් කතෝලික දේවස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීම ආරම්භ වුයේය. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ එම කලාපයේ නගර සභා ශාලාවට නුදුරින්ය. වර්ෂ 1956 දී ජැක් ෂිරාක් මහතා විවාහ ගිවිස ගත්තේ ඉහත නගර ශාලාවේදී වීමද විශේෂිතය.   


ආරාධිතයන් 200කට දේවස්ථානයේ පහසුකම් යොදා තිබූ අතර රාජ්‍ය නායකයින්, පැරණි රාජ්‍ය නායකයින් රජ පවුල් සමාජිකයින්, ලෙස රාජ්‍ය නායකයින් 80 දෙනෙක් පමණ සහභාගිවී සිටියෝය. ඔවුන් අතර රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්, හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, ලෙබනනයේ අගමැති සාඩ් හරිරි, ජෝර්දානයේ අබ්දුල්ලා රජු, එංගලන්තයේ ඇන්ඩෘ කුමරු, මොන්ටිකාලෝහි ඇල්බට් කුමරු, කටාරයේ සවුදි අරාබියේ රජවරු, යුරෝපා සංගමයේ සභාපති ජෝන් ක්ලෝඩ් ජන්කර් ආදී ලෙස රාජ්‍ය නායකයින්, හිටපු ප්‍රංශ ජනාධිපතිවරුන් වන වැලරි ගිස්කාඩ්, නිකොලා සාර්කෝසි, ප්‍රංශුවා ඔලෝන්ද් හිටපු ප්‍රංශ අගමැතිවරු 12 දෙනෙක්ද හිටපු හා වර්තමාන මැති ඇමතිවරුද විශාල පිරිසක් සහභාගි වූවෝය. දේවස්ථානයේ ආගමික කටයුතු වලින් පසු දිවංගත ජනාධිපතිතුමාගේ දේහය 25 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුලේ හා ළඟම හිත මිතුරන්ගේ සහභාගිත්වයෙන් පැරිසියේ මොන්ට්පරනාස් සුසාන භූමියේදී, වර්ෂ 2016 දී හදිසි අනතුරකින් මියගිය ඔහුගේ අනෙක් දියණිය වන ලෝරන්ස් ෂිරාක් මිහිදන් කළ ස්ථානය අසලම ජනාධිපතිතුමාගේ දේහයද මිහිදන් කළේය. පැරීසියේ දෙවැනි විශාලතම සුසාන භූමිය ලෙස සැලකෙන මෙහි මිහිදන් වෙන ප්‍රථම ප්‍රංශ ජනාධිපති ලෙසද ඉතිහාසයට එක් වන්නේය.   


සවස 03 ට සියලුම රාජ්‍ය ආයතන, පාසල් හා පාර්ලිමේන්තුවේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා එතුමාට ගෞරව දැක්වීය.   


පැරීසියේ ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ හිටපු සභාපති පුෂ්පසිරි ද අල්විස් මහතා විසින් ඉතාමත් අනර්ග මල් වඩමක් එතුමාගේ දේහයට තබා ශෝකය ප්‍රකාශ කොට තිබූ බව ප්‍රංශ පුවත් පත් වල පවා පළවූයේය.   

 

ජනාධිපති ජැක් සිරාක් සිය බිරිඳ සමඟ

 


වර්ෂ 1932 දී පැරිස් කලාප අංක 05 හී දී ඉපැදුන ජැක් රෙනේ සිරාක් පවුලේ සිටි එකම පිරිමි දරුවාය. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරමින් උපාධි රැසක් හිමි කරගත් දීප්තිමත් ශිෂ්‍යයෙකි. 1954 දී ප්‍රංශයේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වූ සයන්ස් ෆෝ (Science-po) හී දේශපාලන විද්‍යාව හැදෑරුවේය. 1959 දී රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රංශයේ පිළිගත් විද්‍යා ඇකඩමියේ (ENA) දීප්තිමත් සිසුවෙක් විය. 1965 දී දේශපාලනයට එක්වෙන ඔහු දශක පහක දේශපාලන පන්නරයක් ඇති දශක දෙකක් පමණ පැරීසියේ නගරාධිපති වූ ඇමති, අගමැති තනතුරු වලින් පසු වසර 12ක් ප්‍රංශයේ පස්වැනි ජනරජයේ පස්වැනි ජනාධිපති වූ ඔහු වර්ෂ 2007 දී දෙවැනි වර ජනාධිපතිධූරයෙන් නික්ම යන තුරු දේශපාලන ජීවිතයක් ගත කළ ප්‍රංශ ගොවියන් අතර ජනප්‍රියම හා කලක් ප්‍රංශයේ ජනප්‍රියම ජනාධිපතිවරයාය.   


ජැක් සිරාක් අනෙක් සාමාන්‍ය අය මෙන් හොඳ නරක දෙකම මුසු වූ පුද්ගල චරිතයකි. ඔහුගේ පාලන කාලය තුළ නරකට වඩා බොහෝ හොඳ දේ ප්‍රංශයට කර ඇත. වර්ෂ 2003 දී ඉරාකයට පහරදීම ප්‍රතික්ෂේප කරමින් නොබියව විරුද්ධ වූ ඔහු ඇමෙරිකානු ජනාධිපති දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ඒ තුළින් පැන නැගුනු අර්බුද හමුවේ ඇමෙරිකානු ප්‍රංශ මිතුදහම විනාශ වෙන තරමට කටයුතු සිදු වුවත් ඒ සියලු දේ බුද්ධිමත් ලෙස හසුරුවාගැනීමට ඔහු දක්ෂයෙක් විය. ප්‍රංශයේ ගොවියන් අතර ජනප්‍රියම ජනාධිපති ඔහුය. ඔහුගේ ප්‍රථම වසර හතක ධුර කාලයේ ප්‍රංශ ජනතාව අතර ඉතාම ජනප්‍රිය පුද්ගලයා විය. එය සියයට හැත්තෑ දෙකක් පමණ වුයේය. දෙවැනි ධුර කාලයේදී සමාජවාදී ආණ්ඩුව විසින් සම්මත කළ ජනාධිපතිධුර කාලය වසර පහ දක්වා අඩු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනයට ඔහු අත්සන් තැබීය. එවැනි ගුණ හිමි ඔහුට විරුද්ධව එල්ලවූ චෝදනාවකට අනුව 2011 දෙසැම්බර් මස 15 වැනිදා මහජන මුදල් අයුතු ලෙස පරිහරණය කිරීම හා මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වී වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් ප්‍රංශයේ ඉහළ අධිකරණයේ ඩොමිනික් පෝත් (Dominique Pauthe) විනිසුරුතුමා නියම කළේය. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට සිර දඬුවමක් නියම වූ ප්‍රථම අවස්ථාව ද එයවේ.   

 


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට