ප්‍රංශයේ අයිෆල් කුලුන විකුණයි !


ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටා ඇති අයිෆල් කුලුන පුදුම හතේ දැවැන්තයෙකි. මෙම කුලුන ප්‍රංශයේ හදවත ලෙස ප්‍රංශ ජනතාව සලකනු ලබයි. යකඩ ටොන් 7300 ක් භාවිතයට ගෙන මීටර් 324 ක් උස යකඩ කුලුන සිටුවා ඇති අතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස මෙම නිර්මාණය බිහිවූ 1889 දී ප්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප්‍රදර්ශනය භූමියට ඇතුලුවන දොරටුව වූයේය.   


ප්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක් වූ මෙම දැවැන්ත සුන්දර යකඩ කුලුන දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක් වූ මෙම කුලුනු පරිශ්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. දෙඅත් පිරිමදිමින්, සිපවැළඳ ගනිමින්, ආදර බස් දොඩමින් යකඩ කුලුනේ පියගැට පෙළ තරණය කරන ආදරවන්තයින්ය. අසලින් ගලා බැස යන සේන් නදියෙන් හමා එන සිසිල් සුළං රැළි ඔවුනගේ විඩාව සංසිඳුවයි.   


ආදරයින් පිරීගිය අයිෆල් කුලුනේ යකඩ පඩිපෙළේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදී ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණුවේය. දෙවැනි හා තෙවැනි මහල අතර පියගැට පෙළට අයත් පියගැට පෙළවල් විසිපහකින් සමන්විත මීටර් 4.3 දිග මෙම කොටස වසර 1889 දී ආරම්භක ඉදිකිරීම් වලට අයත් වසර 129 ක් පැරණි වටිනා කෞතුක සිහිවටනයකි. පැරීසියේ පිහිටි ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන ආර්ට් කුරයල් හී වෙන්දේසියේදී යුරෝ 1,69000 කට (රුපියල් තුන් කෝටි තිස්අට ලක්ෂයක් පමණ) මැද පෙරදිග ඓතිහාසික භාණ්ඩ එකතු කරන ධනවතෙකු විසින් මිලදී ගන්නා ලදී.   


1983 වසරේ අයිෆල් කුලුනේ සිදුකළ නඩත්තු හා අලුත්වැඩියා ව්‍යාපෘති සිදුකෙරුනු අවස්ථාවක අයිෆල් කුලුන මුදුනට ගමන් කිරීමට විදුලි සෝපානයක් සවි කළේය. එහිදී දෙවැනි හා තෙවැනි මහල අතර ඇති පියගැට පෙළේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කිරීමට සිදු වූයේය. එහිදී දිග මීටර් 2 ත් 9 ත් අතර කොටස් 24 ක් කපා ඉවත් කළ අතර වර්තමානයේ අයිෆල් කුලුන මුදුනට සෝපානය ගමන් කරන්නේ එසේ කපා ඉවත් කළ කොටසේ කුහරය තුළය.   


මෙසේ ඉවත් කළ කොටස් කිහිපයක් ලෝකයේ විවිධ රටවල ධනවතුන් මිලදී ගෙන ඇති අතර සමහරක් මහජන ප්‍රදර්ශන සඳහා තබා ඇත්තේය. ඒ අතර ජපානයේ යමන්සහායි හි යොයිෂි උද්භිද උද්‍යානය, නිව්යොර්ක් නුවර නිදහස් ස්මාරකය අසල හා ඇමෙරිකාවේ ඩිස්නිලන්තය එයින් සමහරක් ප්‍රසිද්ධ ස්ථානයන්ය.   


අද ලෝකයේ වැඩිම නරඹන්නන් පැමිණෙන ඓතිහාසික ස්ථාන අතරින් අයිෆල් කුලුන පෙරමුණේ සිටී. වසර 2017 දී ලක්ෂ 70 ක් නරඹන්නෝ පැමිණ ඇති බව ප්‍රංශ සංචාරක ආයතන දත්තයන් සඳහන් කරන්නේය. විවිධ අයුරින් හැඩ වැඩවී වසර මුළුල්ලේ මහජනයාට විවෘතව ඇති මෙම කුලුන පසුගියදා ප්‍රංශයේ හා පැරීසියේ පැවැති කහ ජැකට් වි​ෙරා්ධය හේතුවෙන් එක් දිනක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූයේය. 

 

සේන් නදිය අසබඩ අයිෆල් කුලුන

කපා ඉවත් කළ පියගැට පෙළේ කොටසක්

 

 


  
සුනිල් ආනන්ද  
පැරිසියේ සිට