පළමු ලෝක යුද්ධයේ සාම ගිවිසුමේ සියවස රාජ්‍ය නායකයෝ එක්ව පැරීසියේදී සමරති


 

 

 

වර්ෂ 1914 සිට 1918 දක්වා පැවැති පළමු ලෝක යුද්ධයේදී සිදුවූ යුද සංහාරය සහ වර්ෂ 1918 නොවැම්බර් මස 11 වැනිදා අත්සන් කළ සාම ගිවිසුමට වසර සියයක් පිරීමත් මෙම යුද්ධයේදී ජීවිත අහිමි වූ යුද විරුවන් සිහි කිරීමත් උදෙසා පවත්වන අභිමානවත් යුද සැමරුම් උත්සවය ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටාරෙස් ඇතුළු වෙනත් විවිධ රටවල රාජ්‍ය නායකයන් 70 දෙනකුගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 11 වැනි ඉරු දින පැරිසියේ පිහිටි නොහඳුනන සොල්දාදුවන්ගේ යුද ස්මාරකය වූ අාර්ක් ඩේ ට්‍රිඕම්ෆ් අභියසදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වූයේය.   


ප්‍රංශයේ උතුරු හා ගිනිකොන දිග අතර බෙල්ජියම හා ජර්මනිය දේශසීමාවන්ට ආසන්න භූමි භාගය පළමු ලෝක යුද සමයේ දරුණු සටන් පැවැති ප්‍රදේශයන්ය. ඒ අතරින් බා රයින්, මොසෙල්, මොර්ත් ඒ මොසෙල්, මූස්, ආර්ඩෙන්ස්, මාර්න්, ඒන්, පත් කැලේ, සොමේ, ඔවාස් යන නගර එවැනි දරුණු සටන් පැවැති ප්‍රංශයේ පිහිටි නගරයන්ය. යුද්ධයේදී මියගිය සම්පූර්ණ ප්‍රමාණය ලක්ෂ 180ක් පමණ යැයි වාර්තාවල සඳහන් වේ. ප්‍රංශයේ පමණක් මියගිය ප්‍රමාණය ලක්ෂ 40ක් පමණ වේ. මේ හේතු කොට යුද පාර්ශ්වකරුවන් වූ ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව එක්ව සටන් නැවතීමේ සාම ගිවිසුමක් අත්සන් කළෝය. එම තීන්දුව ගනු ලැබුවේ 1918 නොවැම්බර් මස 11 වැනිදා උදේ 11ටය.   


පැරසියේ සිට කිලෝමීටර් 90ක් පමණ උතුරු ප්‍රංශයේ පිහිටි කොම්පියන් නම් ප්‍රදේශයේ කැලෑවක නවතා තිබූ ප්‍රංශ ජාතික පාර්ෂල් ෆර්ඩිනැඩ්ඩ් පෝශ් පැමිණි දුම්රියේ විශේෂයෙන් සකසන ලද කාර්යාල මැදිරියක් තුළදී එදිනම සවස 5.15ට සාම ගිවිසුමට සියල්ලෝ අත්සන් තැබුවෝය. මේ සඳහා එවකට ප්‍රංශ හමුදාවේ ප්‍රධාන අනදෙන නිලධාරි මාර්ෂල් ෆර්ඩිනැඩ් පෝශ්, බ්‍රිතාන්‍යයේ අද්මිරාල් රූස්ලින් වේමීස්, ඇමෙරිකාවේ අද්මිරාල් ජෝර්ජ් හෝප් යන ඉහළ හමුදා නිලධාරීන් තිදෙනා පෙරමුණ ගෙන කටයුතු කර ඇත. පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශය බේරා ගැනීමට පෙරමුණ ගත් ප්‍රධානීන් අතර මාර්ෂල් ෆර්ඩිනැන්ඩ් පෝශ්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. එබැවින් පැරිසියේ ඉහත යුද ස්මාරකය පිහිටි චතුරශ්‍රයේ සිට විහිදෙන ප්‍රධාන මාවත් අතරින් එක මාවතක් ඔහුගේ නමින් නම් කර ඇත්තේය. මෙම මාවත දෙපස ප්‍රංශයේ බොහෝ ධනවත් පිරිස් ජීවත් වෙන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධය. ප්‍රංශයට හිමි යුද නැව්වලින් එකක් මාර්ෂල් ගේ නමින් ද නම් කර ඇත්තේය.   

 


පළමු ලෝක යුද්ධයේ මෙම ඓතිහාසික දිනය ප්‍රංශය විසින් සෑම වසරකම සමරන අතර, මෙවර එහි සියවස සැමරීම පසුගිය සතිය පුරාවටම ප්‍රංශයේ විවිධ නගරවලදී සිදු කරන ලදී. ඊට සමගාමීව 09 වැනි සිකුරාදා සවස 01ට උතුරු ප්‍රංශයේ සොමේ නම් නගරයේ ඇල්බර්ටා ලෙස හඳුන්වන ස්ථානයේ පිහිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ස්මාරකය අසලදී බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ මැතිනිය, ප්‍රංශ ජනාධිපති විසින් පිළිගෙන ස්මරණ උත්සවයක් පැවැත්වූයේය. ස්මාරකය අසල පිහිටි සුසාන භූමිය යුද විරුවන්ගේ වර්තමාන පවුල් සාමාජිකයන්ගෙන් පිරී ඉතිරී තිබුණි. 10 වැනි සෙනසුරාදා සවස 3ට ප්‍රංශ ජනාධිපති හා ජර්මන් චාන්සලවරිය ඇන්ජෙලා මේර්කල් සහභාගි වූ උත්සවයක් උතුරු ප්‍රංශයේ පත් කැලේ ප්‍රදේශයේදී පැවැත්වූ අතර, එම ඓතිහාසික ස්ථානයේ පිහිටි 1918 ගිවිසුම අත්සන් තැබූ දුම්රිය මැදුරේ තබා ඇති සමරු පොතේ මෙම රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් අත්සන් තැබීම ද විශේෂ සිදුවීමකි.   


ඊට පසු දින එනම් 11 වැනි ඉරු දින රාජ්‍ය නායකයන් 70 දෙනකු සහභාගි වූ උත්සවය හරියටම උදේ 11ට ආරම්භ කළේය. සහභාගි වූ රාජ්‍ය නායකයෝ සියලු දෙනාම ලෝකයේ ලස්සනම මාවත ලෙස හඳුන්වන ඇවනිව් ෂොම් සෙලිසේ මාවත දිගේ පයින් ගමන් කොට ආර්ක් ඩේ ට්‍රයම්ප් සාමාරකය අසල අසුන් ගත්තෝය. එසේ නමුදු ආරක්ෂක හේතු මත ඇමෙරිකානු ජනාධිපති තම නිල රථයෙන් උත්සව සභාවට පැමිණියේය. එසේ වුවත් ඇමෙරිකානු ජනාධිපති පැමිණි නිල රථයට කඩා පැනීමට සටන් පාඨ රැගත් උඩුකය නිරුවත් කාන්තාවන් තිදෙනෙක් උත්සාහ කළ ද, ඉක්මනින් ක්‍රියාත්මක වූ පොලිස් භටයන් විසින් එම කාන්තාවෝ තිදෙනා මෙල්ල කර ගැනීමට සමත්වූවෝය. කාලගුණ තත්ත්වයන් හේතු කොට රුසියානු ජනාධිපති පුටින් පැමිණි ගුවන්යානය ප්‍රමාදවීම හේතුවෙන් විනාඩි 18ක් ප්‍රමාදවී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්  උත්සව සභාවට පැමිණියේය. උත්සව සභාව පැයක් පමණ පැවැති අතර, එහිදී ගිනී ජාතික ඇන්ජලික් කිඩ්ජෝ විසින් සාමය සඳහා ගීතයක් ගායනා කළේය. උත්සවය අවසානයේ රාජ්‍ය නායකයෝ ප්‍රංශ ජනාධිපති මන්දිරයේ දිවා භෝජනයකට සහභාගි වූ අතර, රාජ්‍ය නායක බිරින්දෑවරුන් ප්‍රංශ ජනාධිපති බිරිඳ සමග 16 වැනි ලුවී රජුගේ වර්සයිල් මාලිගාවේ පිළියෙළ කළ දිවා භෝජනයකට සහභාගි වූවෝය. ඉන් අනතුරුව උතුරු පැරිසියේ ලා විලෙට් හිදී සාමය සඳහා පැරිස් සමුළුවක් පැවැත්වූ අතර, ඇමෙරිකානු ජනාධිපති හැර අනෙක් සියලුම රාජ්‍ය නායකයෝ එයට සහභාගි වීම විශේෂත්වයකි.   


මෙම උත්සවය පැවැති සම්පූර්ණ දිනය තුළ ප්‍රංශ පොලිසිය විසින් 10000ක් පමණ පොලිස් භටයන් ප්‍රමාණයක් රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවට යොදවා තිබුණි. උත්සවය පැවැති ප්‍රදේශය අවට උමං දුම්රිය ස්ථාන වසා දමා අවට ප්‍රධාන මං මාවත් කිහිපයක්ද වසා දැමීමට පියවර ගෙන තිබුණි.   

 

 

 

 

 


සුනිල් ආනන්ද   
පැරිසියේ සිට.