නවම් පොහොය නිමිති කරගෙන පිංකම් රැසක් රෝම ශාක්‍යමුණි විහාරයේදී


දෙදහස් දහඅට වසරේ නවම්පුර පසළොස්වක පොහොය සුපුරුදු පරිදි පෙබරවාරි මාසයේ උදාවූයේ නැති වුවත් ජනවාරි මස අන්තිම දින උදාවී තිබුණ පුර පසළොස්වක පොහොය නවම් පොහොය ලෙස සලකා 11 වැනි ඉරුදින දවස පුරා රෝම ශාක්‍යමුණි විහාරයේ පිංකම් රැසක් සිදු කළහ.  


නවම්පුර පසළොස්වක පොහොය දින ලෝකවාසී බෞද්ධ ජනතාවට බොහෝ වැදගත් කරුණු කාරණා සිදුවුණ දිනයකි. අප ති​ෙලා්ගුරු බුදු පියාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග සවු තනතුර පිරි නැමීම, බුදු පියාණන් වහන්සේ ආයු සංස්කරණය අතහැරීම, ප්‍රථම සංඝසන්නිපාතය වැනි කරුණු කාරණා රාශියක් මුල් වූ හෙයින් නවම් පුර පසළොස්වක පුන් පොහොය දිනය ඉතාම වැදගත් පොහෝ දිනයකි.  
රෝම ශාක්‍යමුණි විහාරයේදී නවම් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන එකොළොස්වැනි ඉරුදින දවස පුරා ශීලභාවනා වැඩ සටහනක් ද පැවැත්වුණු අතර එයට අමතරව එදින ශාක්‍යමුණි විහාරයේ දායක දායිකාවන්ට ඉතාමත් විශේෂිත දිනයක් විය. ශාක්‍යමුණි විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ එම විහාරසථානයෙන් නික්ම යෑමත් සමග ඉතා විශාල අඩුපාඩුවක්ව තිබූ විහාරාධිපතිධුරය දායක දායිකාවන්ගේ ඉල්ලීම පරිදි ශාක්‍යමුණි විහාරයේ වැඩ විසූ ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේට පිරිනැමීම එයට හේතු විය.  


ඉතාමත් චාම් උත්සවයකින් විහාරාධිපති ධුරයට අදාළ සන්නස් පත්‍රය රෝම ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන් කිහිප දෙනෙකු විසින් පිළිගන්වන ලදී. 2018.2.11 වැනි ඉරිදින සිට ශාක්‍ය මුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ව ස්වාමීන් වහන්සේ බව සියලු පින්වතුන් වෙත දන්වා සිටිමි.  


මේ සියලු කටයුතු මුල් කරගෙන දවසස පුරා පිංකම් රාශියක් පැවැත්විණි. ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතෙකු වූ ප්‍රේමදාස ද සිල්වා මහත්මා ජීවිතයෙන් සමුගෙන තෙමසක් ගතවීම නිමිති කරගෙන එම මහත්මාගේ බිරිඳ ඇතුළු දූ දරුවන් ඒකරාශි වී සම්බුදු බුදු පියාණන් වහන්සේට බුද්ධ ප්‍රණාම පූජා කිරීම මහා සංඝරත්නයට දහවල් දානය පිරිනැමීම එදින සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ට දහවල් දානය පිරිනැමීම සහ සන්ධ්‍යාවේ ගිලන්පස බුද්ධ පූජා පිංකමක් සිදුකර තම පියාණන්ට පින් අනුමෝදන් කළහ. අපද ප්‍රේමදාස සිල්වා මහත්මාට සසර මග කෙටිව නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමු.  

 

 

 


ප්‍රේමා කංකානම්ගේ  
රෝමය