නව වසරට සෙත් පතා ශාක්‍යමුණි විහාරයේ පිංකම්


 

උදා වූ දෙදහස් දහ නවය නව වසර ලෝකවාසී සැමටම සුබ වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ උදෙසා කිරිපිඬු දානයක් පූජා කරමින් සත් බුදු බෝධි වන්දනාමය පින්කමක් ද සිදු කළහ. 


ශාක්‍යමුණි විහාරයේ දායක දායිකාවන් මහත් භක්තියෙන් කැපවීමෙන් විහාරස්ථානයේම සකස් කළ කිරිපිඬු දානය ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ට පූජා කර නව වසරට ආශිර්වාද කළහ. නව වසර උදාවීමත් සමග පැමිණ සිටි විශාල පින්වතුන් පිරිසට ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ කොටපොළ මංගල ස්වාමීන් වහන්සේ ද කිරම මහානාම ස්වාමීන් වහන්සේ ද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූල් බැඳ ආශිර්වාද කර සෙත් පැතූහ. ඒ අතර කිරි උතුරවා උදා වූ නව වසර ලෝකවාසී සැමට සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කළහ. 


 ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දුවා දරුවන් ඒකරාශී කරගෙන බුලත් හුරුලු දී මා පිය වන්දනාව සිදු කළේ මවු පිය වන්දනා ගාථා කියමින් ඉතාමත් හැඟුම්බරවය. ඒ අතරේ වැඩිහිටි උදවිය එකිනෙකාට බුලත් අතක් දී වැන්දේ පෙර චාරිත්‍රවලට ගරු කරමිනි. අද සමාජය තුළ පෙර සිට පැවත එන හෙළ සිරිත් විරිත් ඉදිරියට පවත්වාගෙන යන්නට මහා රුකුලක් වූ මා පිය වන්දනාමය පිංකම ඉතාම අගය කළ යුතුය. 


ඒ සඳහා පන්සල කදිම තෝතැන්නකි. 


විහාරස්ථානය මූලික කරගෙන මෙවන් හෙළ සිරිත් විරිත් දුවා දරුවන් මගින් පෙළ ගැස්සීම පිළිබඳව ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේට නමස්කාර කර ගෞරවයෙන් යුතුව පින්දෙමි. 


නව වසර උදා වීමත් සමගම විහාරස්ථානයට ආශිර්වාද ලබා ගන්නට පිරිත් ඇසීමට පිරිත් නූල් බැඳ ගැනීමට ආගමික වතාවත්වල යෙදීමට බොහෝ ​බෞද්ධ පින්වතුන් පිරිසක් ඒකරාශී වී සිටියහ. ශ්‍රී ලක් බිමේ මෙන්ම කිරි බත් කැවුම් කොකිස් මුංකැවුම් ආදී රස කැවිලි රාශියකින් අලුත් අවුරුදු කෑම මේසය පිරී ඉතිරී තිබෙනු දක්නට ලැබුණි. ශ්‍රී ලාංකික සියලු දෙනාම එකිනෙකාට සුබ ප්‍රාර්ථනා කර ගනිමින් නව අවුරුද්දේ සතුට බෙදා හදා ගන්නා අයුරු දක්නට ලැබුණි. 


මේ කලාතුරකින් දැක ගන්නට ලැබෙන සුන්දර වූ අවස්ථාවකි.  


මේ එහි ඡායාරූප කිහිපයකි. 

 


ප්‍රේමා කාංකානම්ගේ 
රෝමය 
ඡායාරූප: අනුරුද්දි සහ අමීශා.