නත්තලට සෞදියත් සැණකෙළි සිරි ගනී


 

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා විදේශගතවූවන්ගේ සංස්කෘතික සංසදය මගින් නත්තල් සැමරුම් උළෙලක් පසුගිය බ්‍රහස්පතින්ද‌ා (21) ද‌ා සන්ද්‍යා භාගයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.   


විදෙස් ගතවූවන්ගේ සන්සදය මගින් පැවැත්වූ මෙම නත්තල් උත්සවය අල්කොබර් රසයාද් උත්සව ශාලාවේ මධ්‍යම රාත්‍රිය පසුවෙන තෙක් පැවති අතර ශ්‍රී ලාංකිකයින් මෙන්ම විවිධ ජාතීන්ට අයත් ප්‍රේක්ෂකයින් විශාල පිරිසක්ද පැමිණ සිටිනු දක්නට ලැබිණ.   


විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මහතා සමග ඇරැබ් නැෂනල් බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත මොහොමද් උවයිස් මහතා ඇතුළු එම බැංකුවේ සෞදි ජාතික නිලධාරීන් පිරිසක් ද සහභාගි වීම කැපී පෙනින. නත්තල් කැරොල් ගායනා සමග ජේසු සමිද‌ාණන් වෙනුවෙන් භක්ති ගීත සහ විවිධ නර්තනයන්ද ඉදිරිපත් කිරීමද නත්තල් සීයාගේ පැමිණීමද දැක ගන්නට හැකිවිය.   


ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ නිල සංගීත කණ්ඩායම වන සෙරන්ඩිබ් වාදක මඩුල්ල විසින් මෙම ප්‍රසංගය සඳහා මනමෝහනීය සංගීතය සපයන ලදී.   


ශ්‍රී ලාංකික ප්‍රණීත ආහාර පානාදියෙන් පැමිණ සිටි සියල්ලන්ට සංග්‍රහ කිරීමට සංසදය මගින් කටයුතු යොද‌ා තිබූ අතර කුසපත් ඇදීම මගින් තෝරාගත් ප්‍රේක්ෂකයින් වෙත වටිනා ත්‍යාග පිරිනැමීමද සිදුවූයේ තානාපතිතුමා ඇතුළු අනුග්‍රාහකභවතුන් විසිනි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් ප්‍රථම ත්‍යාගය ලෙස සෞදියේ සිට ශ්‍රී ලංකාවට යාමට සහ නැවත පැමිණීමට වටිනා ගුවන් ටිකට් පතක්ද පිරිනමන ලදී.   


විශේෂ අනුග්‍රාහකභවතුන් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුන් අතර සම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද පීසී කාර්ගෝ ආයතනය සහ ඇරැබ් නැෂනල් බැංකුවේ ටෙලි මනි ආයතනයද ද‌ායකත්වය ලබා දී තිබිණ.   

 

 

 


ලලිත් ප්‍රේමලාල්   
දමාම් සිට