දරුවන්ට පෙනෙන ලෙස පොතපත කියවා බාල වියේ සිටම ඔවුන්ට කියවීම දායාද කරන්න


 

තවත් සාහිත්‍ය මාසයක් නිමාවට පත්විය. එම මාසය තුළ පැවැත්වුණු පොත් ප‍්‍රදර්ශන ඉතාම සාර්ථක වූ බව, පොත් ප‍්‍රකාශකයෝ මෙන් ම පොත් අලෙවිකරුවෝ ද කියති. මෙයින් අදහස් කෙරෙන්නේ කියවීම පිණිස පොතපත මිලට ගත්තවුන්ගේ සංඛ්‍යාව පෙර වසරට වඩා මේ වසරේ ඉහළ ගොස් ඇති බව ය. එය සමාජයේ සුබවාදී පෙරනිමිත්තකි. පෙරනිමිත්තක් යැයි කියන්නේ පොතපත මිලට ගත් පමණින් බුද්ධියට එය අඩංගු නොවෙන බැවිනි. ඒවා කියවිය යුතු වේ. මෙවර සාහිත්‍ය මාසය තුළ විකුණුනු පොත්පත්වල බුද්ධිමය ප‍්‍රතිඵලය අපට දැකගැනීමට හැකි වෙන්නේ තව මාස කීපයකින් ය. 


සමාජය සාර්ථකව ජයග‍්‍රාහීව ඉදිරියට යාම සඳහා බුද්ධිමත් ජනතාවක් අත්‍යවශ්‍ය ය. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. පොතපතින් ලබන පූර්ණත්වය ඇතිකරගත යුත්තේ අප තුළ පමණක් නොවේ. එය අපේ දරුවන්ට ද දායාද කළ යුතු ය. කියවීමේ සම්පත දරුවන්ට දායාද කිරීම එතරම් අපහසු නැත. මේ සම්බන්ධව පහත දැක්වෙන උදාහරණය මා විසින් කරනු ලබන ආත්ම වර්ණනාවක් ලෙස නොසලකන ලෙස පාඨක ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පොතපත කියවීම ඉදිරි පරම්පරාවට දායාද කිරීම පිළිබඳව මා හොඳින්ම දන්නා උදාහරණය මෙය බැවින් ලියා තබමි. 


අපේ මහගෙදර මා උපත ලබනවිට විදුහල්පතිවරයකු වූ මගේ සීයා මියගොස් වසර පහක් පමණ ගතවී තිබුණි. සීයා පොතපතට මොනතරම් ලැදිව සිටින්නට ඇත් ද යත්, මගේ මව් පාර්ශ්වයේ මහගෙදර එක් කාමරයක වීදුරු අල්මාරි තුනක් පිරුණු පුස්තකාලයක් විය. මගේ සීයාගේ කියවීමේ රුචිය කෙතරම් වෙන්නට ඇද්දැයි සිතාගැනීමට එය හොඳටම ප‍්‍රමාණවත් ය. මා දණ-බඩගාන කාලයේ සිට ම සීයාගේ පුස්තකාලයට වැදී පොතපත අතපත ගෑමට කැමැත්තක් දැක්වූ බව කියන්නෝ මගේ වැඩිහිටියෝ ය. 


මගේ මව ද විශ‍්‍රාම යනතුරු ම වෘත්තීය කඩඉම් සඳහා අධ්‍යාපන පොතපත කියවන අතරම වෙනත් පොතපත ද කියවීම අප දුටුවේ බාල වයසේ සිට ම ය. නංගී ද මම ද පොතපතට නැඹුරුවීමට එය බලපෑ බව මට සහතික ය. මගේ නැගනිය තවම පොතපත කියවන්නේ ද ඒවා සුරකින්නේ ද පූජා භාණ්ඩ පරිහරණය කරන්නා ලෙස ය. 


මගේ පිය පාර්ශ්වයේ මහගෙදර තිබුණු සරු පුස්තකාලය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ ගත්කතුවරයකු වරෙක පුවත්පත් සාකච්ඡාවකදී ද සඳහන් කර තිබුණි. 


උගත් පාසලෙන් ලද අධ්‍යාපනය හා එහි වූ සරු පුස්තකාලය හේතුවෙන්, මා ඉංග‍්‍රීසි සිංහල පොත්පත් ගුල්ලකු වූවේ ඉතාම අඩු වයසේ දී ය. ඒ සිරිත තවමත් එසේ ම ය. 


මා ඇඳේ මුනින්තලා වී පොතපත කියවනවිට එවකට අතදරුවකු වූ මගේ වැඩිමහල් පුතු මගේ පිට මත සතපා, ඒ අසලට වී සිටීම මගේ බිරිඳගේ සිරිත විය. ඒ සම්ප‍්‍රදාය මගේ දෙවැනි පුතු සම්බන්ධයෙන් ද ඇය අනුගමනය කළා ය. මගේ පුතුන් දෙදෙනා ද වැදගත්කමකින් යුතු පොතපත කියවීමට නිරායාසයෙන් ම ඇබ්බැහි වූවෝ බාල වයසේදී ම ය. 


දැන් ලොකු පුතා පියෙකි. ඔහු පොතපත කියවනවිට දැනට වයස අවුරුදු දෙක ඉක්ම වූ මගේ මුණුබුරා ද ඒ අසලම දැවටෙමින් පොතපත ඉල්ලයි. ඒ නිසාම ළමා පොත් කීපයක් දැනටමත් මුණුබුරා සතු ය. කියවීමක් නොදන්නවා වුව ද පිංතූර බැලීම සඳහා ඒ පොත් නිතර පෙරළා බැලීම පුංචි මුණුබුරාගේ සිරිත වී ඇත. 


මේ අනුව බලන කල අපේ පවුලේ ඇත්තේ ශතවර්ෂය ඉක්ම වූ කියවීමේ සම්ප‍්‍රදායකි. පරම්පරා පහක් පුරා මෙම සම්ප‍්‍රදාය අඛණ්ඩව එකිනෙකාට දායාද වූවේ කිසිවකුගේ බලකිරීමකින් නොවේ. අනුකරණය කිරීමෙන් පොතපතේ රසය වටහා ගැනීමෙනි. අර්ථවත් පොතපත දෙමාපියන් විසින් කියවනු ලැබීම හා දරුවන්ට ඇස ගැසෙන තැන්වල පොතපත තැබීම දරුවන් ද කියවීම කෙරෙහි යොමු කිරීමේ පහසුම මාර්ගයයි. පොතපත කියවීම පුරුද්දක් කරගත් පසුව එයින් මිදීම අසීරුය. මෙම ඇබ්බැහි වීම යහපතක් මිස අයහපතක් ගෙන දෙන්නේ නැත. 


බිරිඳට සාරි මිලට ගැනීමට ගොස් ඒ මුදලින් පොත් ගොඩක් මිලට ගෙන පැමිණි සැමියකු පිළිබඳව ලියැවුණු සුප‍්‍රසිද්ධ කෙටිකතාවක් අපේ කෙටිකතා සාහිත්‍යයේ ඇත. බුද්ධි පිපාසයට සිහිල් දිය බඳුන පොතපත ය. සාර්ථක පොතකින් ඉටුවෙන යහපත එක් පරම්පරාවකට පමණක් සීමා කළ නොහැකිය. අපේ ඉපැරණි වටිනා පොතපත අද ද පරිශීලනය කරනු ලැබීමෙන් ඒ බව පැහැදිලි වේ. කියවීමේ පුරුද්ද දරුවකුට හෝ වෙනත් කිසිවකුට දායාද කිරීම යනු මිල කළ නොහැකි සම්පතක් දානය කිරීමකි. අපි කියවමු. ඒ අතරම කියවීම අපේ දරුවන්ට ද දායාද කරමු. සොරාගත නුහුණු ලොකු ම සම්පත බුද්ධියයි. 


කල්ප ගුරුගේ. 
මිලානෝ, ඉතාලිය.