දරුවන් වෙනුවෙන් රාගයේ දංගෙඩිය මත බිළිවෙන අම්මලා


අද තරගකාරී බව සියල්ල වසා පැතිර ඇත. එය බිළි නොගත් දෙයක් නැති තරම්ය. එම රටාව තුළ තරගකාරී වෙළෙඳපොළ නිෂ්පාදන ද්‍රව්‍ය මිල පහත වැටෙන්නා සේ ම, තරගකාරී සමාජය තුළ මිනිස් සාරධර්ම වටිනාකම් ද පහත වැටී ඇත. මෙය ඛේදනීය තත්ත්වයකි. මෙම තරගකාරී සමාජය තුළ එකාට එකා දෙවැනි වීමට කැමති නැත. යන්නේ කොහේදැයි නොදැන වුවද ඉදිරියෙන් යන එකා පසුකළ යුතු ම ය. ඒ සඳහා ඇතැමෙකු විසින් යොදාගනු ලබන නින්දිත ක්‍රමවේදයන්, තරගය තුළ කිසියම් ගෞරවනීය බවක් ඇත්නම් එය කෙළෙසා දමයි. මෙම තරගකාරී ජීවන රටාව තුළ වැඩිහිටියන් තරග වදිනවා පමණක් නොව, හයක් හතරක් නොදන්නා පොඩිවුන් ද මෙම තරගයට ඇද දමා ඇත. මෙයට වගකිවයුත්තෝ දෙමාපියෝය. වැඩිහිටියෝය. බොහෝ විටෙක මෙහි වන්දිය ගෙවීමට සිදුවෙන්නේ දෙපාර්ශ්වයටමය. 


තරගකාරී සමාජය තුළ ජීවිතය ගැටගසා ගැනීමට කරන සටනේදී, ඇතැම් අවස්ථාවක පවුලේ කටයුතු සඳහා වෙන් කළ යුතු කාලය පියවරුන්ට අහිමිවී ඇත. මෙම හිස්තැන නිරායාසයෙන්ම පිරවෙන්නේ අම්මාවරුන්ගෙන්ය. ගෙදර දොර කටයුතු මෙන්ම දරුවන්ගේ කටයුතුවල බර ද මෙකී අවස්ථාවල කරට ගන්නා අම්මාවරුන් හට පැවරෙන්නේ සුළුපටු වගකීමක් නොවේ. තරගයේදී පරාජය භාරගැනීමට ඇති අකමැත්ත මිනිසාට පොදු ධර්මතාවයකි. තමන් වෙත පැවරෙන කටයුතු කෙසේ හෝ ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ මේනියාව අද අම්මලා තුළ පැලපදියම් වී ඇති මානසික තත්ත්වයකි. මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමට සැදී පැහැදී ගත් පිරිසක් ද දැන් නිර්මාණය වී ඇත. 


ඇය තවමත් බාලවයස්කාර දැරියකි. ගායනයට දක්වන්නේ සහජ දක්ෂතාවයකි. මේ බව වටහාගත් ඇගේ දෙමාපියෝ ඇය ඒ මගෙහි ඉදිරියටම යැවීමට නොකරනා දෙයක් නැත. තරගකාරී සමාජය තුළ පවුල නඩත්තුව සඳහා පියා සතු කාර්යභාරය අධික බැවින්, දරුවාගේ ඉතිරි සියලු කටයුතු කෙරෙන්නේ අම්මා අතිනි. වේදිකාවක් නිර්මාණය වෙන්නේ කොතැන ද, තම දියණිය එහි නංවා ඇගේ දක්ෂකම් ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා වඩාත් උනන්දු වෙන්නේ අම්මා ය. 


තරගකාරී සමාජය තුළ වේදිකාව නිර්මාණය කරන්නෝ කලාකරුවන්ට වඩා වෙළෙන්දෝ ය. වෙළෙන්දා සැමවිටම වැඩි ලාභ ලබන ගනුදෙනුවලට කැමතිය. සටකපට ය. ප්‍රයෝගකාරී ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දක්ෂයෙකි. 


තරගකාරී සමාජ රටාව තුළ පසුබැසීමට අම්මා කැමති නැත. දරුවා කෙසේ හෝ වේදිකාවට නැංවිය යුතුමය. ඒ සඳහා ඕනෑම දෙයක් කිරීමට අම්මා සූදානම් ය. අවසානයේ සිදුවෙන්නේ දරුවා වේදිකාවට නැංවීම සඳහා ඇතැමුන්ගේ නොදැමි හැඟීම් සන්තර්පනය කිරීම සඳහා බිළිවීමට අම්මා කැමැත්තෙන්ම ඉදිරිපත් වීම ය. වේදිකාව මත දරුවාගේ ගායනය මිහිරි වුවද, දරුවා එතැනට ගෙනඒම සඳහා තිරයෙන් පිටුපස අම්මාගේ කාර්යය අමිහිරිය. මේ එක් සත්‍ය කතාවක් පමණි. 


දරුවකු වේදිකාවට නැංවීමට පමණක් නොව පාසලකට ඇතුලත් කරගැනීමට ද, රැකියා ස්ථානයේ ද, රූපවාහිනියේ ද, සිනමාවේ ද, මෙවැනි දේ සිදුවීම අද මවිතයට කරුණක් නොවේ. එය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙය ඛේදනීය තත්ත්වයකි. අද ඇතැම් අවස්ථාවල දරුවකු පාසලකට ඇතුළත් කිරීමේදී මෙන්ම ඉන්පසුව දරුවාගේ ආරක්ෂාව සඳහා යයි කියමින් පාසල් දොරකොඩ මුරකරමින් සිටින අම්මලා බොහෝ දෙනෙකු ද, මෙම ඛේදවාචකයට ගොදුරුවී හමාරය. මේවා මෙසේ සිදු නොවෙතැයි කිසිවකු කියන්නේ නම්, එය අමූලික බොරුවක් බව සහතික කිරීමට ශාක්ෂි සපයා ගැනීම අපහසු නැත. 


අද ලිංගික අල්ලස පිළිලයක් බවට පත්ව ඇත. මෙය සෑම ක්ෂේත්‍රයක් පුරාම පැතිරගොස් හමාරය. එම අල්ලස ගැනීමට හා දීමට ඇබ්බැහි වූවෝ ඉන්කිසිදා මිදෙන්නේ නැත. මේ පඬුරු පූජා කරන්නෝ මෙන්ම ඒ පඬුරු ලබන්නෝ ද, දෙපාර්ෂ්වයම වරදකරුවෝය. දරුවන් වෙනුවෙන් දෙමාපියෝ නොකරන දෙයක් නැතැයි කීම නිදහසට කරුණක් ලෙස මෙතැනදී වලංගුවෙන්නේ නැත. කාට බොරු කළත් තම හෘදසාක්ෂියට කොකා පෙන්වීමට කිසිවකුටත් බැරිය. තවත් යමකින් පිරවිය යුත්තේ කිසියම් තැනක අඩුපාඩුවක් ඇතොත් පමණි. අඩුපාඩු සහිත දෙයට ද හිමි තැනක් ඇත. මේවා නිවැරදිව තේරුම් ගත යුතුය. 

 

 


කල්ප ගුරුගේ
මිලානෝ.